කෙස් අග පැලෙනවා නම් ප්‍රතිකාරයට පෙර හේතුව දැනගන්න

දෙසැම්බර් 16, 2020

කෙස් කලඹ ළඳකගේ සොඳුරුබව කියාපාන එක් අංගයකි. ඒ නිසාම හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. අපේ මේ මඟ පෙන්වීම ඒ වෙනුවෙන්මයි.

අද බොහෝ කාන්තාවන් ට තිබෙන ප්‍රශ්නයක් වන්නේ හිස් කෙස් අවපැහැ විම් හා කෙස් අග පැලීමයි.

නිරෝගීමත් සුන්දර කෙස් කලඹක් හිමිකර ගැනීමට නම් හිසකෙස් අග පැලීම කෙසේ හෝ වළක්වා ගත යුතුයි.

ඒ සඳහා ඔබ කෙතරම් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කළත්, හිස කෙස් අගින් කපා දැමුවත් ඒවායින් විසඳුමක් නොලැබෙන්නේ නම් එහි යම් අඩුවක් තිබිය යුතුයි.

ඒ නිසා අපි පළමුව කෙස් ගසට හානි වීමට බලපාන හේතූන් විමසා බලමු.

හිසකෙස් හිරු රශ්මිය ට නිරන්තරයෙන් වැඩි වෙලාවක් නිරාවරණය වී සිටීම, තෙත කොණ්ඩය වියළා ගැනීමට හෙයා ඩ්‍රයරය උණුසුම වැඩිකර භාවිත කිරීම, නිතර හිසකෙස් මෝස්තර දැමීමේ දී භාවිත කරන රසායන ද්‍රව්‍ය වර්ග, රත්කිරීමේ උපකරණ (heating equipment) වර්ග මේ සඳහා ප්‍රබල ලෙසින් බලපායි.

හිසකෙස් පීරීම සඳහා භාවිත කරන පනාව ප්‍රමිතියෙන් තොරවීම.

හොඳ නින්දක් නොමැති වීම, ආහාර රටාවේ දුර්වලකම්. නිදන්ගත රෝග, විවිධ බෙහෙත්, විටමින් වර්ග පාලනයකින් තොරව භාවිත කිරිම වැනි කරුණ ද ඊට හේතු වේ.

මෙයින් කුමන කරුණක් ඔබේ කෙස් කලඹ දුර්වල කරනවා ද කියා තේරුම් ගැනීමෙන් අවශ්‍ය ප්‍රතිකාර කළ හැකියි.

ඒ වගේම ඒ වැරැදි පුරුදුවලින් දුරස්ව සිටීමට උත්සාහ කරන්න.

අසාමාන්‍ය ලෙස බාත් රූම් එකේ, පනාවෙ, කොට්ටය මත කෙස් ගැලවී තිබෙනවා නම් වෛද්‍යවරයකු මුණ ගැසීම ඉක්මනින් කළ යුතුයි. සමහර අවස්ථාවල දී රුධිර සංඝටකවල තියෙන සංකූලතා නිසා කොණ්ඩය අව පැහැවීම, අග පැලීම, දුර්වල වීම සිදු විය හැකියි. ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාර එක්කර ගැනීම වැදගත්. පලතුරු, එළවළු ආහාරයට එකතු කර ගත යුතුයි. පලා වර්ගවලින් හිසකෙස් වර්ධනයට වගේම කෙස් අග පැලීම වළක්වාලීමට ද අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක කොටස් ලැබෙනවා.

කොණ්ඩය සඳහා භාවිත කරන ආලේපන වර්ග ඵඩචථනධධ, ජධදඤඪබඪධදඥප, තධබඪධද, ඩචඪප ඨඥත ආදිය මිලදී ගැනීමේ දී මිල ගැන වගේම එහි ප්‍රමිතිය ගැන ද සැලකිලිමත් වීමෙන් ඔබට ඔබේ හිසකෙස් ආරක්ෂා කර ගැනීමට පුළුවන්.

කොණ්ඩයට විවිධ විලාසිතාවන් කිරීමට යෑමේ දී උදාහරණ හැටියට ස්ට්‍රේටිං, රීබොන්ඩිං, ෆර්මිං කිරීමේ දී භාවිත කරන ලෝෂන් වර්ග හා උෂ්ණත්ව පාලනය කරන උපකරණ වර්ග නිසි ආකාරයකින් දැනුම ඇති පුද්ගලයන් හරහා කර ගැනීමට සැලකිලිමත් වන්න.

මිල ගැන සැලකීමේ දී ප්‍රමිතියෙන් අඩු ලෝෂන් වර්ග භාවිත කිරීම නිසා කෙස් ගහේ වර්ධනයට බාධා ඇති වීමත් ඒවා දුර්වර්ණ වී, දුර්වල වී, කෙස් අග පැලීම නිසා අවලස්සන පෙනුමක් ලැබේ.

කෙස් ගසේ මුලට කරන සත්කාරයේ සාර්ථක බව කෙස් ගහේ මැද සහ අග ට ලැබෙන බවත් ඔබ දැන ගත යුතුයි.

හිස් කබලට සහ කෙස් ගහේ මුලට සත්කාර කිරීමේ දී ඒ ගැන දැනුමක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියන් තෝරාගන්න. ඔවුන් භාවිත කරන ද්‍රව්‍ය ගැන ද අවබෝධයක් ලබාගෙන ඔබට අවශ්‍ය ප්‍රතිකාර කිරීම වැදගත්.

කෝමාරිකා, පිරිසුදු පොල්තෙල්, කරපිංචා, පොල් කිරි, මී පැණි, බිත්තර, සුදුලූනු, කලුදුරු, එඬරු තෙල්, ඔලිව් තෙල් වැනි දේවල් භාවිතකර විවිධ තෙල් වර්ග නිවෙසේ දී සාදාගැනීමට උපදෙස් අන්තර්ජාලය හරහා මේ දිනවල ඔබට ලැබී තිබෙන්නට පුළුවන්.

ස්වාභාවික ද්‍රව්‍ය ලෙස හෝ රසායනික ද්‍රව්‍ය ලෙස විවිධ නම්වලින් ඔබේ අතට විවිධ නිෂ්පාදන ලැබීමට පුළුවන්.

ඔබ මේ ගැන හොඳීන් දැනුවත් වී නැත්නම් ඒ වගේම හිසකෙස් ගැන දන්නා ප්‍රවීණයකුගේ උපදෙසක් ඔබට ලැබී නැත්නම් මේ දේවල් හිසට භාවිත කිරීමට පෙර උපදෙස් ලබා ගැනීම වටිනවා.

හිස කෙස් සඳහා සත්කර කරන අතරතුර මාසයකට වරක්වත් ගෙස් අගින් අඟලක් පමණ කපා කෙස් කලඹේ සුන්දරත්වය රැකගන්න.

ඉතා පිරිසුදු පොල් තෙල් භාවිත කරමින් හිස කෙස් සම්බාහනය කිරීම, හොඳ නින්දක් ලබා ගැනීම, සමබල ආහාර වේලක් හැමවිටම ලබා ගැනීම, හිසකෙස් පීරීම සඳහා ප්‍රමිතියෙන් යුතු දැති ලොකු පනාවක් භාවිත කිරීම කෙස් කලඹ සුරක්ෂිත කරයි. තෙත කොණ්ඩය වේළීමට උපකරණ භාවිත කිරීම, අනවශ්‍ය ලෙස හිසට සුදුසු නැති මෝස්තර දැමීම ආදියෙන් වළකින්න. හිසකෙස් අග පැලීම වළක්වන ප්‍රමිතියෙන් යුතු සීරම් වර්ග වෙළෙඳපොළේ ඇත. ඒවා සොයා බලා, මිල දී ගෙන භාවිත කරන්න. මේ දේවල් ගැන අවධානය යොමු කිරීමෙන් ඉතාමත් ලස්සන දිදුළන, පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කීමට ඔබට හැකිවේවි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා