යොවුන් දියණියන්ට ටසල් කරාබු

ජුනි 2, 2021

 

අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යොවුන් දියණියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පළඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.

අද අප මේ ගෙන එන්නේ එලෙසින් හැඩවෙන්නට කැමැති යොවුන් ඔබ වෙනුවෙන් හරිම පහසුවෛන් නිර්මාණය කරගත හැකි කරාබු කිහිපයකි. මේ කරාබු හරිම අගෙයි නේද කියලා බලන්න.

කොරෝනා නිසා නිවෙසට වී සිටින විට කාලය නිකරුණේ ගෙවී යනවා කියා බොහෝ දෙනෙක් මැසිවිලි නඟති. එහෙත් තමන්ගේ නිර්මාණශීලි බවත් එකතු කරලා මේ වගේ අත්කම් කරන එක එයට හොඳම විසඳුමක්.

මේ අත්කම් තමන්ට නැතිනම් දියණියට වගේම මිතුරු මිතුරියන් වෙනුවෙන් තෑගි දෙන්නත් කදිමයි.

ඒ වගේම නිවෙසට වී සිටින අතරේ පුංචි ස්වයං රැකියාවක් ලෙස මුදලක් උපයා ගන්නත් හැකියාව තිබෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කාඩ්බෝඩ් කොටසක්

කොට්න් හෝ සිල්ක් නූල්

කරාබු හුක්ස් දෙකක්

පබළු දෙකක්

ඉඳි කටුවක්

එන්ඩ් කප් දෙකක්

හෙඩ් පින් දෙකක්

උල් අඬුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

පළමුව අඟල් 3 1/2 ක් පමණ උස කාඩ්බෝඩ් කොටසක් කපා ගන්න. ඉන්පසුව කොට්න් නූල ගෙන කාඩ්බෝඩ් එක වටා රවුමට වාර 225 පමණ ඔතා ගන්න. එසේ ඔතා ගත් පසු කාඩ්බෝඩ් එකෙන් ගලවාගෙන හරි මැදින් වෙනත් නූල් කොටසකින් ගැට කීපයක් දමාගන්න. පසුව එහි යටින් එක සමානව නූල් සිටින සේ කතුරකින් කපා ගන්න. මේ ආකාරයට කැමැති වර්ණ නූල් භාවිත කරමින් ඔබට අවශ්‍ය පරිදි මෙය තට්ටු දෙකට හෝ තුනකට නිර්මාණය කරගත හැකිය.

මෙලෙසින් සාදාගත් කොටස් තුන ඉඳිකටුවකට නූල් දෙපොට දමා එකකට එකක් සම්බන්ධ කර ගන්න. අවසානයේ උඩ කොටසේ හරි මැදින් හෙඩ් පින් එක සම්බන්ධකර එයට එන්ඩ් කප් එක හා පබළුද දමා ගන්න. පසුව ‍උල් අඬුව ආධාරයෙන් හෙඩ් පින් එකෙහි ‍උඩින් රවුමට නමා එය තුළට කරාබු හුක් එක දමා ගන්න. මෙයට සිල්ක් නූල් භාවිත කරන්නේ නම් ඔතා ගත යුතු රවුම් ප්‍රමාණය වැඩිකර ගන්න.

 

 

උපදෙස් -

මහරගම ප්‍රා. ලේ. කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චුලනී ජයසිංහ