රුව හැඩ කළත් බ්‍රෙසියර‍ෙයන් පියයුරේ සුවය නැති විය හැකියි

ජනවාරි 17, 2022

 

රුවැත්තියක ලෙස බොහෝ කාන්තාවන් ඉපදුණත් වැඩි දෙනෙක් තමන් ගේ රුව ගැන නම් සෑහීමකට පත් වන්නේ නැහැ. ඒ නිසා කෙතරම් කාර්ය බහුල වුණත් රුව වෙනුවෙනුත් කාලය වැය කරනවාමයි. එහෙත් කැපිලා පෙනෙන රුවකට කරන සමහර දේවල්වලින් සිරුර ලස්සන වෙද්දී අහිමි වී යන්නේ සුවයයි.

බ්‍රෙසියරය ට කාන්තා ඇඳුම් අල්මාරියේ විශේෂ ඉඩක් වෙන්වී තිබෙනවා. කාන්තා සිරුරේ හැඩකාර බව ඉස්මතු කරන්න නම් බ්‍රෙසියරයක් පැලඳිය යුතුමයි.

වැඩි දෙනෙක් බ්‍රෙෂියර අඳින්නේ සිරුර ට ආකර්ෂණීය ඉස්මතු කර පෙන්වීමේ පොදු අරමුණින් වුවත් විවිධාකාර බ්‍රෙසියර තෝරා ගන්නවා. සමහරු සිතන්නේ බ්‍රෙසියරයක් නො ඇන්දොත් පියයුරු එල්ලා වැටෙන බවයි. එහෙත් එහි සත්‍යයක් නැහැ. විවිධ හේතු මේ කෙරෙහි බලපානවා.

ජාන - පියයුරේ ප්‍රමාණයට, සමේ ඇදෙනසුලු බවට, පියයුරු පටක ධාරිතාවට, කාලයා ගේ ඇවෑමෙන් පියයුරේ ඇතිවන පෙනුමට ජාන බලපානවා. සිරුරේ ගුරුත්ව බලය ද එලෙස ම වෙනස්වෙනසුලුයි.

සිරුරේ බර වරින් වර අඩු වැඩි වීම තවත් හේතුවක්. එය ද ඇදෙනසුලු බවට බලපායි.

ආර්තවහරණය සිදුවන කාලයේ එනම් සම්පූර්ණයෙන් ම ආර්තවය නතර වෙන කාලයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩු වෙයි. එවිට පියයුරු පටකවල ප්‍රථ්‍යස්තථාව දුර්වල වෙනවා. ගර්භණී කාලයේදී හා කිරි දෙන කාලයේදී පියයුරු වර්ධනය වෙනවා. එවිට පියයුරු පටක ඇදීමට පියයුරු පටකවල සම්බන්ධක ලිහිල් වීමේ අවදානමක් පවතියි. අක්‍රීය දුම්පානය පියයුරු එල්ලා වැටීමට හේතුවක්.ක්‍රීඩා කිරීමේදී ගැළපෙන බ්‍රෙසියරයක් නො ඇන්දොත් පියයුරු ඉහළ, පහළට ගොස් ක්‍රමයෙන් පටක බන්ධන ලිහිල් වෙයි.

බ්‍රෙසියර ඇඳගෙන නිදා ගැනීම අහිතකර බවට සමාජයේ මතයක් පවතිනවා. එහෙත් එහි සත්‍යතාවක් නැහැ. රාත්‍රියට ලිහිල් බ්‍රෙසියරයක් ඇඳගෙන නින්දට යාම වඩාත් සුදුසුයි. විශේෂයෙන් විශාල පියයුරු ඇති අයට එයින් සහනයක් ලැබේවි. කිටි කිටියේ සිරවෙන ආකාරයේ ඒවා අඳින්න එපා. හොඳින් දහදිය උරා ගන්නා නිසා කපු රෙද්දෙන් මැසූ බ්‍රෙසියර වඩාත් සිරුරට වඩාත් සුදුසුයි. මේවා දිනපතා සේදිය යුතුයි. කාන්තා සිරුරේ වඩාත්ම සමට සමීප වන ඇඳුම බ්‍රෙසියරයයි. එනිසා වැඩිපුර දහදිය එකතු වන්නේ ද මෙහිය. පිරිසුදුව ඇන්දේ නැත්නම් දිලීර සෑදීමට ඇති ඉඩ කඩ වැඩි වෙනවා. සම දුර්වර්ණ වීමට, පලු මතු වීමට විවිධ අපහසුතා ඇති වීමට ඉඩ තිබෙනවා.

වයර යෙදූ බ්‍රෙසියර - underwire bras

ඇතමුන් වසර ගණනක් පරණ වුණත් සමහර බ්‍රෙසියර විසිකරන්නේ නැහැ. ඒ පහසුව නිසයි. ඒත් පහසුවට වඩා හැඩය ගැන සිතන්නියෝ කිටි කිටියේ පියයුරුවලට සිරවන අන්ඩර්වයර් බ්‍රෙසියර අඳිනවා. වයරයෙන් තෙරපෙන කොටසට රුධිරගමනය අඩුවී ඒ ස්ථානයේ සමේ පැහැය දුර්වර්ණ වෙනවා. එපමණක් නොව උදරයේ ඉහළ කොටසේ වේදනාවක් ඇති වීමට ද මෙය හේතු වෙනවා.

වයරය ඇනීමෙන් ද වේදනාවක් ඇතිවිය හැකියි. රාත්‍රියට බ්‍රෙසියර ඇඳ ගෙන නිදා ගැනීමෙන්, වයර් යෙදූ බ්‍රෙසියර ඇඳීමෙන් පිළිකා සෑදෙන බව ට පවතින මත නම් මිථ්‍යාවන්. සමට අසාත්මික බ්‍රෙසියර මාරු කළ යුතුයි.

බ්‍රෙසියරයක් නො ඇඳ නිදහසේ සිටීමට කැමැති කාන්තාවන් ද සිටිනවා. එය කිසිසේත් ම අහිතකර පුරුද්දක් නො වෙයි. එයින් පියයුරුවල හැඩයට බලපෑමක් සිදු වන්නේ ද නැහැ. පියයුරු විශාල නම් බ්‍රෙසියර ඇඳීමෙන් පහසුවක් දැනෙනවා. ක්‍රීඩා කරන වේලාවට ඇඳීමට සුදුසු බ්‍රෙසියර මේ අයට වඩාත් ගැළපෙනවා.

බර අඩු කරගත් කාන්තාවක් බර අඩු කිරීමට පෙර ඇඳි බ්‍රෙසියරය ඇඳීම සුදුසු නැහැ. නො ගැළපෙන බ්‍රෙසියර ඇඳීමෙන් කොන්දේ වේදනාව වැනි අපහසුතා ඇති වෙනවා.

 

 

උපදෙස් - පියයුරු පිළිකා පිළිබඳ විශේෂඥ

කැසාන් බ්ලේක්