මේ දිනවල කෝමාරිකා ගැල්වීමෙන් සම ආරක්ෂාකර ගැනීමට පුළුවන්

පෙබරවාරි 28, 2022

 

 කෝමාරිකා නම කාන්තාවක ගේ නමක් වාගේ සුන්දරය. ඒ නම මේ ශාකයට ලැබී ඇත්තේ කාන්තා සෞඛ්‍යයට කාන්තා රුවට එය නැතිවම බැරි නිසා විය යුතුය.

විශේෂයෙන් සුන්දරව රූ සපුව හැඩ කර ගැනීමට කෝමාරිකා පැළයක් සෑම නිවෙසක ම වගා කර ගැනීමට තරම් වටියි.

තෙත සමක් තිබුණත් වියළි සමක් තිබුණත් තෙත් සහ වියළි සමක් තිබුණත් කෝමාරිකා සම පැහැපත් කිරීමට යොදා ගැනීමට පුළුවන. මේ ශාකයේ සියයට 95 ක්ම ඇත්තේ ජලය නිසා සමේ වියළි බව නැති කිරීමට උපකාරී වෙයි. මෙහි අඩංගු සැලිසිලික් අම්ලය සමේ දුර්වර්ණ තැන් පැහැපත් කිරීමට කුරුලෑවලට ප්‍රතිකාරයක් ලෙසින් යොදා ගනියි. සමට නැතිවම බැරි විටමින් E ද මෙහි අඩංගුය. ඒ නිසා සමට පෝෂණයක් ද ලබා දෙයි.

හිරු එළියෙන් සම පිලිස්සුණු විට සමට සිසිලසක් ලබා දීමට කෝමාරිකා ආලේපය කදිමය. ඒ නිසා මෙවැනි පායන කාලවල කෝමාරිකා ගැල්වීමෙන් සම ආරක්ෂාකර ගැනීමට පුළුවන.

සමට වාගේම කෙස් කළඹ නීරෝගිව තබා ගැනීමටත් කෝමාරිකා උපකාරී වෙයි. හිස් කබල පෝෂණයකර කෙස්වලට සවිමත් බවක් ගෙන දීමට කෝමාරිකා කදිමය. කෝමාරිකා හිස් කබලට, කෙස් කළඹට කෙතරම් ගුණදායකදැයි කිවහොත් බොහොමයක් ෂැම්පුවල කන්ඩිෂනර්වල කෝමාරිකා අඩංගුය. බැක්ටීරියානාශක, දිලීරනාශක ගුණයක් ඇති නිසා ප්‍රදාහයන් වළක්වන නිසා කෝමාරිකා ගැල්වීමෙන් හිසකේ සම්බන්ධ ගැටලු බොහොමයකට ආයුබෝවන් කීමට පුළුවන.

අන්තර්ජාලයෙනි