යුවතියක් සරල සුන්දර මනාලියක් ලෙස හැඩ ගන්වන්න රහස හැරිස් විජේසිංහයන්ගෙන් දැනගනිමු.

ෆවුන්ඩේෂන් එක ගාන්නේ හම සුදු කරන්න නෙවෙයි
මාර්තු 14, 2022

 

යුවතියකට ජීවිතයේ වඩාත් ම වැදගත් දිනය වන්නේ ඇගේ මංගල දිනයයි. ඒ දිනය එනතුරු ඇඟිලි ගණින ඇය සුන්දර මනාලියක ලෙස හැඩවෙන්නට දහසක් සිහින දකිනවා. ස්වභාවයෙන්ම තමන්ට ලැබුණු රුව ඔප්නැංවෙන අයුරින් හැඩ වීමට ඇති ඒ සිහිනයට පණ පොවන්නට ඔබට අත්වැල් සපයන්නයි අපේ මේ සූදානම.

මංගල දිනයේ දී තමා හැඩ වැඩ වෙන්නේ කුමන රූපලාවණ්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ දෑතින්දැයි හැම තරුණියක්ම සිතන්නේ බොහෝ විට විවාහය තීන්දු වීමටත් පෙර සිටයි. හැරිස් විජේසිංහයන්ගේ දෑතින් තමා මනාලියක ලෙස හැඩ වැඩ කරවා ගැනීමට සිහිනයක් බොහෝ තරුණියන්ගේ සිතේ පවතී. වැඩි වශයෙන් ම තමා, තමා ලෙසින්ම පෙනෙන ඒ හැඩ වැඩ ගැන්වීමට කැමැති වන්නේ චාම් බව අගයන යුවතියන් වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය ශිල්පයේ පියා ලෙසින් හැඳින්විය හැකි හැරිස් විජේසිංහයන්ගේ හැඩ වැඩ කලාවේ ඇති සුවිශේෂත්වය වන්නේ යුවතියක තමා තමා ලෙසින්ම පෙනෙන ලෙස හැඩගැන්වීමයි. ඒ නිසාම ඔහු මනාලියක් හැඩ ගන්වන ආකාරය පියවරෙන් පියවර අපි ඔබට ඉදිරිපත් කරන්නේ එය, හැඩ වැඩ කලාවේ හැරිස් විජේසිංහයන්ගේ අනන්‍යතාව තහවුරු කරන බැවිනි.

පළමුවෙන් ම මනාලියට ගැළපෙන වර්ණයකින් හා වර්ගයකින් සාරියක් තෝරා ගත යුතු අතර ඉන් මනාලියගේ සිරුරේ ප්‍රමාණයට සාරි හැට්ටය හා සාය මසා ගත යුතුය.

සාරිය ඇඳීමේ දී සාමාන්‍ය ආකාරයට සාරිය ඇඳීම සිදු කළ ද උදරය පෙදෙස වැඩි වශයෙන් නිරාවරණය නොකිරීම විශේෂත්වයකි.

'මම කැමැති නෑ මනාලිය නිරූපිකාවක් වෙනවට. ඇය නැවුම්, පිවිතුරු, සුන්දරත්වයක් ඇති මනාලියක් ලෙස දිස්වීම තමයි මගේ කැමැත්ත. ඒ නිසාමයි මම නිරූපිකාවක් නැතිව සාමාන්‍ය ගෑනු ළමයෙක් මේ හැඩගැන්වීමට තෝරා ගත්තේ. නිරූපිකාවක් කොහොමත් තමන්ගේ රූපය නඩත්තු කරන කෙනෙක් නිසා කොහොමත් ලස්සනයි. අපි දක්ෂ වෙන්න ඕනේ සාමාන්‍ය යුවතියක් සුන්දර මනාලියක් බවට පත් කරන්න.

මම මේ වන විට මනාලියන් දහස් ගණනක් අන්දලා තියෙනවා. ඒ අතර මම මුල් කාලයේ හැඩගැන්වූ මනාලියන්ගේ දියණියන් ද මනාලියන් ලෙස හැඩගන්වලා තියෙනවා. එවැනි අම්මලා දූලා 500කට වඩා මනාලියන් ලෙස හැඩගන්වලා තියෙනවා. අම්මා සැරසූ නිසාම දුවත් මගේ අතින් මනාලියක් ලෙස හැඩවුණ අය වගේම අදටත් හැඩවෙන්න එන අය ඉන්නවා.

මම මේ විෂය තනියෙන් ඉගෙන ගත්තේ.. අදටත් මම ඉගෙන ගන්නවා. මගේ අඩුපාඩුවක් කවුරු හරි මට පෙන්නලා දෙනවා නම් මම කැමැතියි. ' ඔහු මෙලෙසින් පැවසුවේ මනාලියගේ සාරිය අන්දවන අතරයි. දැන් මනාලියගේ මේක්අප් එක දැමීමටයි සූදානම.

'ෆවුන්ඩේෂන් එක ගාන්නේ හම සුදු කරන්න නෙවෙයි. මේක යොදාගන්න ඕනේ හමේ වර්ණය අනුවයි. මෙයින් කරන්නේ හමේ ළප කැළැලි ආවරණය වී සමේ පැහැය එක් වර්ණයකට ගෙන හම පැහැපත් කිරීමක් විතරයි. මෙහිදී වෝටර් බේස් එකක් විතරයි පාවිච්චි කරන්නේ.. ක්‍රීම් වර්ග කිසි දෙයක් මම ගාන්නේ නෑ. මට අවශ්‍ය වෙන්නේ මනාලියගේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කිරීම විතරයි. ෆවුන්ඩේෂන් මුහුණේ විතරක් නෙවෙයි නිරාවරණය වී ඇති බෙල්ල, පිට, දෑත් වගේ ප්‍රෙද්ශවලත් ගාන්න ඕනේ..

මම මනාලියක් හැඩ ගැන්වීමේ දී වැඩියෙන් ක්‍රීම් වර්ග ආලේප කරන්නේ ඇයගේ මුහුණේ අඩුපාඩු තියෙනවා නම් විතරයි. මුහුණ බ්ලෂර් කිරීම වුණත් හැම අයෙකුට ම එකම ආකාරයට කිරීම සුදුසු නෑ. එක් එක් මුහුණුවල හැඩතල අනුවයි එය කළ යුත්තේ. අනිත් එක වුවමනාවට වඩා මුහුණේ හැඩය වෙනස්කර මුහුණට කෘත්‍රිම පෙනුමක් දෙන්න මම අකැමැති යි.'

මුහුණේ මේක් අප් එකේ වැදගත්ම අංගයක් වෙන්නේ අයි මේක්අප් එකයි. නැතිනම් ඇස් හැඩගැන්වීම. ඒ නිසා ඇස් හැඩගන්වන්නේ කොහොමද කියලා අපි ලබන සතියේ දී දැනගනිමු.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී - හැරිස් විජේසිංහ

නිරූපණය - මල්කි චන්දිමා

ස්තුතිය - නුගේගොඩ සැලෝන් සයිමන්ස්හි සුනෙත්ට

 

 

 

ඡායා - නිලන්ත අනුරුද්ධ