තොල් ආලේපනයක් නොවෙනස්ව පැවතීමේ රහස

කර හා බෙල්ලත් හොඳින් මේකප් කරන්න. නැත්නම් මනාලියගේ මුහුණ විතරක් කැපී පේනවා. මුහුණේ නියම ලස්සන පේන්නේ නෑ..'
අප්‍රේල් 4, 2022

 

කර හා බෙල්ලත් හොඳින් මේකප් කරන්න. නැත්නම් මනාලියගේ මුහුණ විතරක් කැපී පේනවා. මුහුණේ නියම ලස්සන පේන්නේ නෑ..'

 

මනාලියක් නිරූපිකාවක් ලෙස දිස් වනවාට ඔබත් අකැමැති ද? එහෙම නම් ස්වභාවික සුන්දරත්වය ඉස්මතු වන සේ මනාලිය හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියකු ඒ සඳහා සොයා ගත යුතුයි.

 

ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පියා ලෙසින් හැඳින්වෙන හැරිස් විජේසිංහයන්ගේ හැඩගැන්වීමේ සුවිශේෂත්වය වන්නේ ද තරුණියක සතු ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය හැඩගැන්වීමේ හැකියාවයි.

හැරිස් විජේසිංහයන්ගේ දෑතින් හැඩ ගැන්වූ මනාලියක් අප ඔබට ගෙන එන්නේ ඔහුගේ හැඩගැන්වීමේ රහස් ඔබට ද හෙළි කිරීමේ අරමුණෙනි. පසුගිය සතිවල දී මනාලියට සාරිය අන්දවා මූලිකව මුහුණ මේකප් කරන ආකාරය ඔබට පැහැදිලි කළෙමු.

එහිදී අයි මේකප් එක නිසියාකාරව සිදු කරන ආකාරය හොඳින් පැහැදිලි කළෙමු. මේකප් කිරීමේ දී දෙතොල් අලංකරණය හෙවත් ලිප් මේකප් එක හොඳින් කළ යුතුය. මනාලියගේ තොල් ආලේපන ගල්වන්නේ කෙසේදැයි අපි දැන් ඔහුගෙන් ම අසා දැනගනිමු.

'ලිප්ස්ටික් ගානවිටත් බේස් එකක් ගාන එක වැදගත්. මෙහිදී මම දම් පැහැති ලිප්ස්ටික් එකක් මේ සඳහා තෝරා ගත්තා. මොකද අපේ තළෙළු හමට බේස් එකක් ලෙසින් වඩාත් ගැළපෙන්නේ ඒ වර්ණය නිසා. ලිප්ස්ටික් ගාන විටත් මම උපයෝගී කරගන්නේ ඇඟිල්ලයි. මනාලියගේ සාරියේ ඇති අයිවරි (ඇත්දළ පැහැය) වර්ණයට ගැළපෙන ලෙසින් තොල් ආලේපන ගැල්වීම වැදගත්.. වර්ණ කිහිපයක ලිප්ස්ටික් මිශ්‍ර කිරීමෙන් තමාට අවශ්‍ය වර්ණය සාදා ගත හැකියි.

කර හා බෙල්ලත් හොඳින් මේකප් කරන්න. නැත්නම් මනාලියගේ මුහුණ විතරක් කැපී පේනවා. මුහුණේ නියම ලස්සන පේන්නේ නෑ..'

මෙසේ මනාලිය හැඩගන්වන ආකාරය අපට පැහැදිලි කරන ඔහු ක්ෂේත්‍රයේ සිටින අයට වැදගත්වන කරුණු ද විටින් විට අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

' මම නිතරම අත්හදා බැලීම් කරන කෙනෙක්. ඒ වගේම අනෙක් අයට සවන්දෙන කෙනෙක්.

සාමාන්‍යයෙන් බ්ලෂර් එකකින් මුහුණේ අනවශ්‍යව පේන තැන් කට් කිරීමක් කරනවා. ඒකෙන් ම නහය ළඟ පොඩි ටච් එකක් කරනවා. අවසානයේ දී ට්‍රාන්ස්ලූෂන් පවුඩර් එකක් ආලේප කිරීමෙන් මේක්අප් එකට හොඳ නිමාවක් ලබා ගන්න පුළුවන්.

මේක්අප් එකේ අවසානයේ දී ටී සෝන් එක (නළල හා නහය ප්‍රදේශය) බ්ලෂර්වලින් ටච් කිරීමෙන් මුහුණේ ත්‍රිමාණ බව පේනවා.'

මේ මේක්අප් එකට දහදිය දාන්නේ නැති වීමත් විශේෂත්වයක්.

'අයි ලෑෂ් වතුර දැමූ පේපර් සර්වියට් එකකින් තෙත මාත්තුකර එහි ඇති පවුඩර් ඉවත්කර කළු පැහැයෙන් ඇසි පිහාටු වර්ණ ගන්වන්න. ඇහි පිහාටු ඇති ෆ්‍රේම් එක විතරක් කළු පැහැයෙන් ලයින් එකක් අඳින්න.'

මේ ආකාරයට මනාලියගේ මේක්අප් එක නිමාකර ගන්න. අප භාවිත කරන වර්ණවලින් මනාලියගේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කරගැනීමට උත්සාහ කළ යුතුයි.

ඔබටත් මේ ප්‍රවීණයාගේ හැඩගැන්වීමේ රහස් මේ ලිපි මාලාවෙන් ලබා ගත හැකියි. ලබන සතියේ දී මනාලියගේ කෙස් කළබ උපයෝගී කරගනිමින් සරල කොණ්ඩා මෝස්තරයක් දමන ආකාරය ඉගෙන ගනිමු.

 

නිරූපණය - මල්කි චන්දිමා

 

ඡායා - නිලන්ත අනුරුද්ධ