තිත්තයි පැණි රසයි කුරුලෑවලට බෙහෙතයි

අගෝස්තු 26, 2024

 

ගොඩක් දෙනෙක්ට තියෙන සුලබ ප්‍රශ්නයක් තමයි කුරුලෑ. එහෙමත් නැතිනම් Pimples. මේ නිසා ඇතිවෙන තුවාල ලප කැළැල් ගොඩක් තරුණියන්ට සමාජයට විවෘත වෙන්න බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදු කරන වැඩ කටයුතුවලටත් විශාල මානසික, පසුබෑමක් ඇති කරලා තියෙනවා. මේ සඳහා ප්‍රතිකාර කිරීමට පෙර අපි බලමු කුරුලෑ කියන්නේ මොකක්ද? කොහොමද මේ කුරුලෑ ඇති වෙන්නේ? එමෙන්ම කුරුලෑ සඳහා කළ හැකි සත්කාර මොනවාද කියලා.

 

අපේ සමේ පිහිටලා තියෙනවා තෙල් නිපදවන ග්‍රන්ථි. මේ ග්‍රන්ථි සම මතට විවරවන නාල පිහිටා තිබෙනවා. එම නාල අවහිර වීමෙන් තමයි කුරුලෑවක් ඇතිවීම සිදුවන්නෙ. සමහර අවස්ථාවල මේ අවහිර වූ නාලවල බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා පැසවා සැරව පිරුණු කුරුලෑ ගෙඩි ඇතිවෙන්න පුළුවන්.

 

කුරුලෑවල මූලික අවස්ථා වයිට් හෙඩ්ස් හා බ්ලැක් හෙඩ්ස් ලෙස හඳුනාගත හැකියි.

 

මෙන්න මේ අයටයි කුරුලෑ හටගන්නේ

 

නව යොවුන් වියේ සිටින ගැහැනු දරුවන්ට, පිරිමි දරුවන්ට කුරුලෑ ඇතිවීම සුලබයි. එමෙන්ම කාන්තාවන්ට විවිධ හෝමෝන අසමතුලිතතා ඇතිවන විටත් කුරුලෑ හටගන්නවා. විවිධ තෙල් ගැල්වීමත් හේතුවන අවස්ථා තිබේ. මානසික ආතතිය ඇති කාලවලත් කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත.

 

ඔබ පසුගිය කාලයේ මාස්ක් වැඩිපුර පැලඳු අයෙක් නම් වක්‍රාකාරව එයත් කුරුලෑ හට ගැනීමට හේතුවකි. තව පැත්තකින් වයිට්නින් ක්‍රීම් නිසා වර්තමාන කාන්තාවන් බොහෝ දෙනෙක්ට කුරුලෑ ඇතිවෙනවා.

 

අධික මානසික පීඩනය කුරුලෑ හටගන්න හේතුවක්. එනම් කුරුලෑ ඇතිවී තිබුණු මුහුණක් කණ්ණාඩියකින් බලනකොට ලොකු කනගාටුවක් ඇතිවෙනවා, සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතෙනවා. මෙහෙම හටගන්න කුරුලෑ නැතිකර ගන්න එක හිතන තරම් පහසු නොවෙයි. චොකලට්, තෙල් සහිත කෑමවලින් ඈත්වීමෙන් කුරුලෑ අවම කරගන්න පුළුවන්. කුරුලෑ තියෙන අය නිතරම මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතුයි. එසේම කුරුලෑ කඩන එකත් හොඳ දෙයක් නම් නොවෙයි. මක්නිසාදයත් කුරුලෑ කැඩුණ තැන්වල තද කළු පාටට ඇතිවෙන්න පුළුවන්. එමෙන්ම කුරුලෑ තිබෙන මුහුණක් කිසිම අවස්ථාවක scrub කරන්න බැහැ. scrub කිරීමෙන් කුරුලෑ කැඩී තුවාල වී යා හැකියි.

 

ඒ වගේම බෙල්ලේ සහ උරහිස්වල කුරුලෑ තත්ත්වය ඇතිවී තිබේ නම් එයට හේතුව හිස්හොරි තත්ත්වයක් විය හැකියි. එවිට හිස්හොරි සුව නොකර මේ කුරුලෑ නැතිකර ගන්න පුළුවන්කමක් නැහැ.

 

එසේම ඔබ කිසිම විටෙක රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් භාවිතයෙන් කුරුලෑවලට විසඳුම් සොයන්න එපා.

 

ස්වභාවික ක්‍රම තමයි ඔබට ඇති එකම විසඳුම.

අපි බලමු මොනවද කුරුලෑ නැති කර ගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම කියලා.

 

ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි යුෂ මිශ්‍ර කළ වතුරෙන් මුහුණ සේදීම කරන්න. එම වතුර පිස දැමීමක් සිදු නොකර වියළෙන්නට හරින්න. මෙම සත්කාරය දිනපතා කිරීමෙන් කුරුලෑ සඳහා සාර්ථක විසඳුමක් ලැබිය හැකියි.

 

දිනපතාම පිරිසුදු ලේන්සුවකට අයිස් කැට ගෙන පොට්ටනියක් ආකාරයට සාදා මුහුණ මත අතුරා ගන්න.

 

කුරුඳු පිටි මේස හැඳි 2ක්, මී පැණි මේස හැඳි 2ක් ගෙන මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. තෙල් සහිත සමට ඉතා හොඳ ඖෂධයක්. අති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතී.

 

කොහොඹ කුඩුත් අපිට බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් කොහොඹ කොළ සෝදා වේලා කුඩුකර ගන්නත් පුළුවන්. කොහොඹ කියන්නේ බැක්ටීරියා නාශක ගුණයක් සහිත දෙයක්. මේ කොහොඹ කුඩු සමඟ මී පැණි ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන් සමට පෝෂණීය සත්කාරයක් ලැබේ.

 

කුරුලෑ කරදරේ නම් ඉතින් නැති කෙනෙක් නැහැනේ. ඒ වගේම ඒකට ගැහැනු පිරිමි කියලා භේදයකුත් නැහැ. කුරුලෑ ඇති වෙන එක සාමාන්‍යයයි. හැබැයි අසාමාන්‍ය විදියට කුරුලෑ ඇති වෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා වගේම එය අපිට කරදරයක් වෙනවා. කුරුලෑ ඇති වෙන්න පෙර කී හේතුවලට අමතරව ප්‍රධාන වශයෙන්ම හේතු කිහිපයක්ම තියෙනවා.

 

ප්‍රධානම හේතුවක් වෙන්නේ ජානමය බලපෑම. ඊළඟට අපිරිසුදු සමක් පැවතීම, තෙල් සහිත සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාදන පැවතීම, උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුණත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය හේතු කර ගෙන කුරුලෑ ඇති වීම සිදු වෙන්න පුළුවන්.

 

කුරුලෑ ඇති වීම සාමාන්‍ය දෙයක් කියලා කිව්වට අසාමාන්‍ය විදිහට ඇති වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. ඒ හැරුණම ඔයා මේ කියන දේවල් ගැනත් අවධානය දෙනවා නම් කුරුලෑ ඔය තරමටම ඔයාට කරදරයක් වෙන්නේ නැහැ.

 

මුලින්ම දෛනික පුරුදු ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. සම මනාව රැක බලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට වැඩි අවදානයක් දෙන්න. මෙයට අමතරව සම පිරිසුදුව තියා ගැනීමෙන් කුරුලෑ ඇති වීම බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්. එහෙත් ඕනෑවට වඩා පිරිසුදු කරන්නටත් යන්න එපා. එහෙම කළොත් මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියළීමකට ලක්වෙන්නට පුළුවන්. එතකොට මුහුණට වයස්ගත පෙනුමක් එක්වෙනවා.

 

මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා ගන්නත් අමතක කරන්න එපා. මුහුණ පිරිසුදු කරද්දී cleanser එකක් භාවිතා කරන්නට පුළුවන්නම් වඩාත් හොඳයි. නිතරම වියළි පිරිසුදු තුවායක් මුහුණේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න. ගොඩක් තදින් මුහුණ අතුල්ලන්න එපා. ඒ වගේම සාමාන්‍ය ලෙස මුහුණ සේදීම ප්‍රමාණවත්.

 

කුරුලෑ අවමකර ගන්න තියෙන වඩාත් ප්‍රතිඵලදායක සත්කාරයක් විදියට හුමාලය ඇල්ලීම හඳුන්වන්න පුළුවන්. භාජනයකට උණු වතුර දමා ඊට උඩින් හිස යොමා මුහුණ හුමාලයට සෙමෙන් නිරාවරණය කරන්න. මුහුණේ රෝම කූප විවර වෙලා අපද්‍රව්‍ය ඉන් ඉවත් වී මුහුණ පිරිසුදු කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක. විනාඩි කිහිපයක් හුමාලය ඇල්ලීමෙන් පසුව ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. පිරිසුදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.

 

ඒ වගේම රාත්‍රී නින්දට පෙර දෙහි බින්දු කීපයක් දැමු උණු වතුරෙන් මුහුණ සෝදන්න. මුහුණ පිස දමන්නේ නැතිව එහෙමම වියළෙන්න දෙන්න. කුරුලෑ අවම කර ගන්න වගේම සම පැහැපත් කර ගන්නත් මෙය කදිම සත්කාරයක්.

 

මී පැණි කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. මුහුණේ ආලේප කර තියන්න පුළුවන්නම් විනාඩි 10-20 අතර කාලයක් කුරුලෑ මට්ටුවට එය සහයක් විය හැකියි. ඒ විතරක් නොවෙයි, පුළුවන්නම් කුරුඳු කුඩු ටිකක් දාන්න ඔය මීපැණි ටිකටම වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

මීපැණි හැඳි දෙකයි, කහ කුඩු ස්වල්පයයි, කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් එකට මිශ්‍ර කර මුහුණේ ගාන්න. පැක් එක මුහුණ වියළි ගියාට පසුව සෝදා හරින්න.

 

සමහර වෙලාවට මුහුණේ ඇති වන කුරුලෑ දැවිල්ල ගන්නවා. ඒ අපේ මුහුණේ තියෙන ඩහදිය, කුණු දූවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. ඒ වගේ වෙලාවකට කුරුලෑ මත පිරිසුදු රෙදි කැබැල්ලක ඔතා අයිස් කැටයක් තබන්න, ඒ කුරුලෑවල තියෙන වේදනාවයි ඉදිමුමයි දෙකම සමනය වේවි.

 

ඉතින් ඔබේ සඳවන් මුහුණට ආවාට මොකටද?

 

තිත්තයි පැණි රසයි එකතුවෙන් මේ අපූරු සත්කාරය කර ගෙන බලන්න.

 

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී

දිසෝජා හේරත්