වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදරයේ ආයු කාලය වැඩි කර ගනිමු
නො ගැළපෙන්නන් නයාට අඳු කොළ මෙන් පෙනීම සාමාන්‍යය.
එහෙත් ගසට පොත්ත මෙන් වෙන් කළ නො හැකි සේ බැඳුණු ආදරණීයයනුත් එසේ වූ විට ....ප්‍රේමයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් කියා සිතීම සාධාරණද ? සැබෑ ප්‍රේමයක් වෛරයට පෙරළෙන්නේ නැත. එය එසේ වුව ද ආදරණීයයන් අතර ඇතිවන ගැටුම් වේදනාකාරී අවසානයකට මඟ පාදන අවස්ථා එමටය. ආදරය යනු තවත් ජීවිතයක් සෙනෙහසින් පෝෂණය කිරීමකි. කිසිදු ආත්මාර්ථකාමීබවක් එහි සැඟව නැත.
පවුලක් වශයෙන් ජීවත් වන විට අපට අපේ ජීවිතය ගැන පවා ආදරණීයයා පවසන අදහස්වලට යෝජනාවලට සවන් යොමු කිරීමට සිදු වෙයි.
අප මෙය දරා ගන්නේ කෙසේද ? සවිමත් සබඳතාව දරා ගැනීමේ පදනමයි. කිසිදු අවස්ථාවක හැඟීම්බර නො විය යුතුය. හැඟීම් යනු අප වින්දනය කරන දෙයකි. ක්‍රියාවට නැඟිය යුතු දෙයක් නො වෙයි. එහෙත් අප කරන්නේ ම නො කළ යුතු දේය. සැමියාට උපන් දිනය අමතක වුවහොත් හැඟීම්බරවී දබරයකට මුල පුරන්නේ ඔබ ම නො වේද ? සැමියා වැඩි කාලයක් ජංගම දුරකථනයේ රැඳී සිටියොත් බිරියට හැඟීම් බර නො වී සිටිය හැකිද ? බිරියට මෙන් ම සැමියාට ද මේ තත්ත්වය පොදුය. පතිපතිනියන් ගේ හැඟීම්බර වීම දික්කසාදය දක්වා දුරදිග යන අවස්ථා ඕනෑතරම්ය.
සොඳුරු හැඟීම් ඉදුණු රස පලතුරක යුෂ වැනිය. එය අපේ ජීවිතය රස කරයි. අසුන්දර හැඟීම් ඉවසීමෙන් දරා ගත යුතුය. මිහිරි අඔ යුෂ වීදුරුවක්, තිත්ත කොහොඹ කොළ යුෂ කෝප්පයක් පානය කළා සේ අප ඒවා අමතක කළ යුතුය. අප ක්‍රියාත්මක කළ යුත්තේ සිතා මතා බුද්ධිමත්ව ගන්නා තීරණය. හැඟීම් හිසේ ගසන මලක් වැනිය. මලක් ක්‍රියාත්මක කරන්නක් නො වෙයි. කළ යුත්තේ මලේ හැඩ බැලීම පමණි.
වැඩියෙන් ම හැඟීම්බර වන්නේ කාන්තාවන්ය. එහි අවසානය යුග දිවිය අවලස්සන කරයි. සැම විට ම මොළය ක්‍රියාත්මක කරන්න. කෙනකු මොළය ක්‍රියාත්මක නො කරන විට හැඟීම් මත ක්‍රියාත්මක වීමට පටන් ගනියි.
ජීවිතය අසුන්දර කරන්නේ සතුරන් පමණක් ම නො වෙයි. ආදරණීයයන් නිසා ද අපේ ජීවිතය අසුන්දර විය හැකිය.
ආදරයට මුල පුරන්නෙක් නම් හැඟීම් බර නො වන්න. ආදරයේ අරුත අනෙකාව ආදරයෙන් පෝෂණය කිරීමයි. හැඟීම්වලට මෙන්ම තමන් ගේ මතවාදවලට එහි ඉඩක් නැත.