ආසාව නිසාම සුරතලුන් ගේන්න එපා

ආවට ගියාට සුරතලෙක් හදන්න බැහැ
මැයි 20, 2024

පසුගිය සතියේ සුරතල් සතුන් ඇති කිරීමේ වැදගත්කම ගැන කතා කළානෙ. ඔන්න ඉතින් සුරතල් සතෙක් නිවෙසට ගෙන ඒමට ඔබට දැන් කැමැත්තක් ඇති. එහෙත් සුරතල් සතෙක් එහෙම ආවාට ගියාට ගෙදරකට ගේන්න බැහැ. ඒ සඳහා ඔබ හොඳ සූදානමකින් පසුවිය යුතුයි.

ඇත්තෙන්ම සුරතල් සතකු ගෙදරට ගෙන එනවා කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුරතල් සතෙක් කියන්නෙම ලොකු වගකීමක්. අපි වගේම පණ නල ගැහෙන, කෑම කන, අනෙකුත් බාහිර පරිවෘත්තීය ක්‍රියාකාරකම් කරන, ආදරය බලාපොරොත්තු වෙන, සෙල්ලම් කරන ජීවියෙක්. හරියටම කිවුවොත් හැඟීම් දැනීම් දැනෙන ජීවියෙක්.

සෙල්ලම් ටෙඩි බෙයාර් කෙනෙක්. ප්ලාස්ටික් බෝනික්කෙක් වගේ හැඟීමක් දැනීමක් නැති, අපි කියන විදිහට, ඉන්න කෙනෙක් නොවෙයි සුරතල් සතෙක් කියන්නේ. ඉතිං ඒ නිසා සුරතල් සතෙක් ගෙදරට ගේන්න කලින් ඔබ සුරතලකු ඇති කරන්න සූදානම් ද කියන එක වතාවක් දෙවතාවක් නොව කිහිප සැරයක්ම හිතන එක හරිම වැදගත්.

මේ කාරණා අතරින් ඔබ සිතිය යුතු පළමුවැනිම දේ තමයි ඔබට සුරතල් සතෙක් එක්ක ගතකරන්න කාලය තිබේද කියන එක. අපේ ජීවන චර්යාව සහ කාර්ය බහුලත්වය මෙන්ම පවුලේ සාමාජිකයන්ට, සමාජයට දරන වගකීම් හේතුවෙන් සුරතලාව මඟ හැරෙන අවස්ථාව වැඩියි.

මෙහෙම හිතන්න, ඔබ ආස නිසා සුරතලාව ගෙදරට ගේනවා. ඒත් ඔබට තිබෙන වැඩ කටයුතුත් එක්ක සුරතලාට අවශ්‍ය කරන අවධානය, ආදරය සහ රැකවරණය දෙන්න බැහැ කියලා දැනෙනවා. අවසානයේ සුරතලා ඔබෙන් මඟ හැරෙනවා. එවිට එයා දුකට පත් වෙනවා. ඒ ඔස්සේ සුරතලා අසනීප වෙනවා. දිනෙන් දින ශාරීරිකව පිරිහෙනවා. දුර්වල වෙනවා. සරලව කිවුවොත් වැහැරෙනවා. මෙහෙම වෙනකොට ඔබටම එපා වෙන තත්ත්වයකට පත්වෙනවා. සුරතලාගේ ස්වභාවය අනුවත් මෙය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස මාළු ටැංකියක් නම් ඔබට මඟ හැරීම තුළින් එය අපවිත්‍ර වන්නට පුළුවන්. අවශ්‍ය කරන ඔක්සිජන්, ආලෝකය නැති වී සුරතලා මිය යා හැකියි.

ඒ වගේම ඔබ කැමැති වුණාට නිවැසියන් සුරතලාට දක්වන්නේ කොහොම ආකල්පයක් ද යන්නත් දැනගත යුතුයි. මක්නිසාදයත් ඔබේ තනි කැමැත්තට සුරතලා ගෙන ආවොත්, ඔබ කාර්යබහුල වනවිට නැතිනම් ඔබ නිවෙසේ නැති අවස්ථාවක සුරතලාට කිසිවකු ආදරය, කරුණාව සැලකිල්ල දක්වන්නේ නැති විය හැකියි. එබැවින් ඔහුව මඟ හැරීම හේතුවෙන් සුරතලාගේ පෝෂණය, සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට පුළුවන්. මේ නිසා හොඳම දේ ඔබ සුරතලකු ගෙන ඒමට සුදානම් වීමේදී නිවැසියන් ද ඒ සඳහා සුදානම්ව සිටිය යුතුයි.

තව දෙයක් නම් ඔබ නිවෙසේ පූසකු ඇති කරමින් සිටින අතරතුර කුරුල්ලකු ලේනකු ඇති කිරීමේ කැමැත්තක් ඇති විය හැකියි. එතැනදී ඔවුන්ගේ ආහාරදාම සම්බන්ධතා හේතුවෙන් පූසා ඔබේ අනෙක් සුරතලාව දඩයම් කරන්න පුළුවන්. එවිට ඔබට වන්නේ දැනට ඇති කරන සුරතලා පිළිබඳ අප්‍රසන්න සිතුවිල්ලකි. එබැවින් සුරතලකු අලුතින් ගෙන ඒමට පෙර ගෙදර සිටින සුරතලාගේ හැසිරීම අනෙක් සතුන්ට ගැළපෙනවා දැයි සොයා බැලිය යුතුයි.

අනෙක් ප්‍රධාන කරුණ වන්නේ ඔබ ජීවත්වන පරිසරය සුරතලාට ගැළපෙනවාද යන්නයි. නිදසුනක් ලෙස ඔබ තට්ටු නිවාසයක ජීවත් වෙනවා නම්, ඉඩකඩ පිළිබඳ සැලකිලිමත් වන්න. තව ද සීතල, අධික උෂ්ණත්වය යන දේශගුණික විපර්යාසයන්ට අනුව ද ඔබ ඔබේ සුරතලා තෝරා ගත යුතුයි.

 

මේ කරුණු කාරණා හා සමානව අනෙක් වැදගත්ම දෙය තමයි ගෙන එන සුරතලා සමඟ ගතකරන්න ඔබට කාලයක් තිබේ ද යන්න. මාළු හදන්න තීරණය කරන ඔබ ඒ මාළු ටැංකිය මනා ලෙස පිරිසුදු කිරීමට කාලයක් වෙන්කර ගත යුතුයි. එබැවින් ඔබ ඇති කරනා සුරතලා ද කායිකව සහ මානසිකව යහපත්ව තබා ගැනීමට ඔබ හොඳ සැලකිල්ලක් දැක්විය යුතුයි.

 

අද ලෝකයේ බොහෝ දේ මුදල් මත සිදු වේ. එහිදී සුරතලාට විටමින් ලබා දීමේදී, පංශු වෛද්‍ය සේවා ලබා ගැනීමේදී, අතිරේක ආහාර ලබා දීමේදී ඔබ ආර්ථික අතින් ශක්තිමත් ද යන්න අනිවාර්යෙන් සැලකිලිමත් වන්න. සුරතලා ගෙන ඒමට පිරිවැයක් යෙදවූවා සේම ඔහුගේ නඩත්තුව පිළිබඳවත් හොඳට සිතිය යුතුයි.

 

ඉදිරි වසර පහ, දහය තුළ කුමන තත්ත්වයක සැලැස්මක් ද ඔබට තිබෙන්නේ කියන කාරණාව ද මෙතැනදී සැලකිල්ලට ගතයුතුයි. නිදසුනක් ලෙස ඔබ අ.පො.ස උසස් පෙළ හදාරා නිවෙසේ සිටින කාලය තුළ දී සුරතලකු ගෙන ආවත් ඉන් අනතුරුව ඔබ උසස් අධ්‍යාපනයේදී, රැකියාවකට යාමෙන් සුරතලා මඟ හැරී යයි.

 

ඇතැම් විට විදේශගත වන්නට වුව පුළුවන්. එවැනි තත්ත්වයකදී සුරතලා අතහැර යාම නොවන පරිදි හොඳ සැලසුමක් ඔබ තුළ තිබිය යුතුයි.

 

මේ සැලසුම් පිළිබඳ ඔබ ගැන හොඳ ස්වයං අධ්‍යයනයකින් පසුව සුරතලකු නිවෙසට ගෙන එන්නේ නම් ඔබත් සුරතලාත් දෙදෙනාමත් සතුටින්.

 

 

උපදෙස් -

පශු වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ