වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
FB post මට අදාළ නැහැ මගේ ඉලක්කය තව දුරයි
පසුගිය සතියේ සමාජ මාධ්‍ය හරහා පාසල් දැරියකගේ වෙනස්ම ඡායාරූපයක් රට පුරාම ජනප්‍රිය විය. මේ දරුවා තම පාසල් ඇඳුමින් සැරසී තම කබාය පුරාම ඇය ලැබූ පදක්කම් රාශියක් පැලඳ සිටීම එයට හේතුවයි. මේ ඡායාරූපයට යටින් ඇයට සුබපැතුම් පණිවුඩයක් සටහන් කර තිබුණි.
“මාතර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. ටක්ෂිමා දියණිය ඩුබායි හී පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ මීටර් 400 x4 මිශ්‍ර සහාය දිවීමේ තරගයේ
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තුන්වැනි ස්ථානය ලබා අප පාසලට කීර්තියක් ගෙනදුන් ඔබට උණුසුම් සුබ පැතුම්! බුදු සරණයි ! "
මේ සටහන දකින බොහෝ පිරිසක් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් සටහන් එකතු කර තිබුණි. දකුණු පළාතට කීර්තියක් ගෙන දුන් දිරිය දියණියේ . . . ඔබට මෙවැනි ජයග්‍රහණ තවත් ලබන්නට වාසනාව ධෛර්යය ලැබේවා! ඔබ අපට සම්පතක් . . . " මෙවැනි ආශිර්වාදාත්මක සටහන් ගොන්නක් සටහන්ව තිබුණා. නමුත් මේ ඡායාරූපය දුටු කිහිප දෙනෙකු යොදා තිබූ සටහන් නම් එතරම්ම සදාචාරාත්මක නොවේ. අපි පාසල් යන කාලේ අපට batch එකක්වත් නොතිබුණාට දැන් කාලෙ දරුවෝ ඇඟ පුරාම batch ගහගෙන . . . මේවා ලෝකෙට පේන්න කරන වැඩ. මෙවැනි සටහන් යෙදූ ප්‍රතිචාර ඒ අතර තිබුණා.
කොහොම වුණත් ඇය අපේ රටට කීර්තියක් අත්කරදුන් දියණියක්. සමාජයේ මිනිස්සු කුමන මතයක් දැරුවත් අපේ රටේ දියණියක් මේ ලැබූ ජයග්‍රහණය සැබවින්ම අපිට වටිනවා. ජාත්‍යන්තර තරගයකදී අපේ රට වෙනුවෙන් පදක්කම් දෙකක් රැගෙන එන්නට හැකි වූ මේ දියණිය අනාගතයේ දිනක ඔලිම්පික් පදක්කමක් රැගෙන එන්න හැකියාව තිබෙනවා. ඒ නිසා ඇය ලැබූ ජයග්‍රහණයට ශක්තියක් වෙන්න පසුගිය දිනක අප ඇය හමු වුණා. අපට හමු වූ ඇය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“පාසල් ක්‍රීඩකාවක ලෙස මම පළමුවරට මේ ලැබූ ජාත්‍යන්තර අත්දැකීම හා ජයග්‍රහණය ගැන සතුටු වෙනවා. ආසියානු කනිෂ්ඨ තරගාවලියට අපි කණ්ඩායමක් ලෙස සහභාගී වෙලා ජයග්‍රහණ දෙකකට දායක වෙන්න මට හැකියාව ලැබුණා. මම මීටර් 400x4 කාන්තා තරඟය සහ මීටර් 400x4 මිශ්‍ර සහය දිවීමේ තරග දෙකම නියෝජනය කළා. ඒ තරග දෙකෙන්ම අපි තුන්වෙනි ස්ථානය දිනා ගත්තා. මේ තරගාවලිය සඳහා රටවල් විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. ඒ නිසා අපට හොඳ තරගයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. අපි තුන්වෙනි ස්ථානය ලබා ගත්තාට ඒ ජයග්‍රහණය අපිට වටිනවා. මම සහභාගි වුණු මේ පළමු ජාත්‍යන්තර තරගයේදීම මට අපේ රට වෙනුවෙන් පදක්කම් දෙකක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් ලෙසයි මම හිතන්නේ.
මම මලල ක්‍රීඩකාවක් ලෙස මීටර් 400 තරගය සඳහා තමයි පුහුණු වෙන්නේ. නමුත් මේ තරගාවලියට සහාය දිවීමේ කණ්ඩායමට එක්වීමට අවස්ථාව මට ලැබුණා. මගේ ක්‍රීඩා ජීවිතය පටන් ගන්නේ මාතර මධ්‍ය මහා විද්‍යාලයෙන් වුනත් මම මුලින්ම හය ශ්‍රේණියට එම විද්‍යාලයට එන්නේ තිහගොඩ කනිෂ්ට විද්‍යාලයෙන්. ඒ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ආවට පස්සේ මට මාතර මධ්‍ය හා විද්‍යාලයේදී කලාප තරග සඳහා සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තරග සඳහා සහභාගී වෙනකොට මගේ දක්ෂතාවය මුලින්ම හඳුනා ගත්තේ අමිල කසුන් හපුගල සර්. ඔහු මගේ හැකියාව දැකලා අවුරුදු දොළහේ පටන්ම පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. අපේ පාසලේ ක්‍රීඩා පුහුණු කටයුතු භාරව කටයුතු කරන්නේ අමිල කුෂාන් සර්. ඒ දෙන්න තමයි මාව මේ තරම් දුරක් ජයග්‍රහණය කරා රැගෙන ආවේ.
දැන් අමිල හපුගල සර් යටතේ අවුරුදු හයකට වැඩි කාලයක් මම පුහුණුවීම් කටයුතු කරනවා. ඔහු කරන කැපවීම නිසයි මම ක්‍රීඩාවට යොමු වීමට ප්‍රධාන හේතුව වුණේ. උදේ 5.30ට තමයි පුහුණුවීම් ආරම්භ කරන්නේ. ඒ කැපවීම තුළ දකුණු පළාතේ දක්ෂතම ක්‍රීඩකාව ලෙස වසර දෙකක් වාර්තාවක් තියන්න පුළුවන් වුණා. මගේ හොඳම කාලය තමයි තත්පර 56.24 කාලය. මට ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ පාසල් කටයුතු සමඟ මේ ක්‍රීඩා පුහුණුවීම් හා තරගවලට සහභාගී වීමයි. මම දැන් දොළහ ශ්‍රේණියේ වාණිජ විෂය හදාරනවා.
මේ සෑම දෙයකටම මට ශක්තියක් වෙන්නේ මගේ අම්මයි තාත්තායි අයියායි. මගේ තාත්තා දයාරත්න කොඩිතුවක්කු. ඔහු පුංචි ව්‍යාපාරයක් කරනවා. අම්මා එච්. ජේ. ජයරාණි. අම්මා තමයි පුහුණුවීම් කරන දවස්වලට උදේට මාව එක්ක එන්නේ. ඒ සියලු දෙනාම කරන කැපවීම නිසා තමයි මට මේ තරම් දුරක් පාසල් කාලයේ දීම එන්න අවස්ථාව ලැබුණේ.“
ටක්ෂිමා පාසල් දැරිවියක ලෙස දක්වන දස්කම් අනුව අනාගතයේදී තවත් බොහෝ බලාපොරොත්තු තැබිය හැකි වෙයි. ඇයගේ එකම ඉලක්කය බවට පත් වී ඇත්තේ ඒ ඉලක්කය කරා ගමන් කිරීමයි. ඇයට එල්ල වන බාධක හා අභියෝග ගැන ඇය කිසිවිටෙකත් නොසිතයි. ඒ ගැන සිතන්නට හෝ සොයන්නට ද ඇයට කාලයක් නොතිබෙයි. ඒ ගැන ඇය සඳහන් කළේ අප සමාජ මාධ්‍ය තුළ වෛරල් වූ ඇයගේ ඡායාරූපය ගැන විමසූ විටයි.
“ඇත්තටම මගේ එකම ඉලක්කය ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න. පසුගිය දවසක අපේ පාසලේ ක්‍රීඩා නායිකාව මට පදක්කම් පැලඳවීම කළා. ඒ වෙලාවේ මගේ පින්තූරයක් කවුරු හරි අරගෙන. ඒ පින්තූරය මම කනිෂ්ට මල්ල ක්‍රීඩා තරගය ජයග්‍රහණය කළාම fb දාලා. මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක දැකපු අය තමයි post විශාල ප්‍රමාණයක් දාලා තිබුණේ. මේ post වල තිබුණේ මොනවාද ඒවා කවුද දැම්මේ කියලා මට සොයන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ක්‍රීඩා කරන්නේ මගේ පාසල රට වෙනුවෙන් ජයග්‍රහණයක් ලබාගන්න. ඒ වෙනුවෙන් මට fb දාලා ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ. මම තවම පාසල් ශිෂ්‍යාවක්. ඒ නිසා මට තව ලොකු ගමනක් යන්න තියෙනවා. ඒකට fb දාලා ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ. කවදා හරි දවසක මුළු ලෝකෙටම වෛයිරල් වෙන ක්‍රීඩකාවක් වීම තමයි මගේ ඉලක්කය. ඒ ඉලක්කයට යන්න මට වචනෙන් හරි ධෛර්ය දෙන හැම දෙනාටම ස්තුති කරනවා. මම දවසින් ක්‍රීඩා තරුවක් වෙන්න හදන ක්‍රීඩිකාවක් නොවෙයි. මට තව ලොකු ඉලක්කයක් තියෙනවා. සුසන්තිකා ජයසිංහ වගේ ක්‍රීඩකාවක් වීම තමයි මගේ එකම ඉලක්කය. ඒකට පළමු පියවර මේ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය හොඳ ප්‍රවේශයක් වුණා. ඉදිරියේදී මගේ දක්ෂතාවය උපරිමයෙන් පෙන්වන්න පුහුණුවීම් කටයුතු කරනවා.“
ටක්ෂිමාගේ ඉලක්කය වී ඇත්තේ ජාත්‍යන්තරය ජයගෙන රටට කීර්තියක් ගෙන දෙන්නටය. ඒ වෙනුවෙන් ඇය උදේ සවස පුහුණුවීම් කටයුතුවල නිරත වෙයි.
ඇයගේ එම කැපවීම ගැන පාසල් ක්‍රීඩා භාර පුහුණුකරු අමිල කුෂාන් මහතා අපට සඳහන් කළේ මෙලෙසිනි.
" මේ දරුවා මුලින්ම හඳුනාගත්තේ අමිල කසුන් හපුගල ගුරුතුමා. ඔහු මේ දරුවා කුඩා කාලයේ සිටම පුහුණුවීම් කරලා ක්‍රමානුකූලව ඉහළ මට්ටමට ගෙනාවා. දැන් ටක්ෂිමා දුව මේ පළාතේම දක්ෂ ක්‍රීඩිකාවක්. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම අමිල කසුන් හපුගල ගුරුතුමාට හිමි විය යුතුය. ඒවගේම ඇයගේ මව සහ පියා විශාල කැපවීමක් මේ දරුවා වෙනුවෙන් කරනවා. ටක්ෂිමාගේ පියා පුංචි ව්‍යාපාරයක් කරන්නේ. ඒ නිසා මේ දරුවා වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න අපහසුයි. නමුත් ඒ සියලු දේ ඒ මවුපියන් කරනවා. ඇත්තටම මේ දරුවාගේ දක්ෂතාවය දැකලා ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න කාට හරි පුළුවන් නම් ඒක හරිම වටිනවා. මේ දරුවා අපේ රටට සම්පතක්. ඒ සම්පත රැකගන්න සමාජ මාධ්‍ය හරහා විවේචන එල්ල කිරීමට වඩා ධෛර්යය දෙන්න පුළුවන්නම් ඇය අපේ රටට ලොකු අභිමානයක් රැගෙන එන බව මට සහතික වෙන්න පුළුවන්."
ඔහුගේ එම සහතිකය තුළ ඇත්තේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තුවකි. දිනෙක ටක්ෂිමා දියණිය අප රට රනින් බබලවන විට ඇයගේ ඡායාරූපය වෙනුවෙන් එල්ල කළ විවේචනවලට නිසි පිළිතුර ලැබෙනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇත.