කිරි සිනහව පිළිගන්නයි මේ සූදානම

මැයි 20, 2024

අලුත උපන් කිරිකැටියා නිවෙසට අමුත්තෙක්. අම්මියි, තාත්තියි ආදරයෙන් හිටපු කැදැල්ලට එන මේ පුංචි අමුත්තා පිළිගන්න හැමෝම සූදානම්.

බොහෝදුරට දරුවාගේ කාමරය වෙන්නේ ගෙදර තියෙන මාස්ටර් බෙඩ් රූම් එක. එහෙමත් නැතිනම් අම්මිගෙයි තාත්තිගෙයි කාමරය. විදෙස් රටවල උපන් දා පටන් පුංචි දරුවට වෙනමම කාමරයක් තිබුණත් අපේ රටේ දරුවෝ තුරුලුකර ගෙන නිදාගන්න, හැකි හැමවිටම දරුවන්ට තම උණුසුම දෙන්නයි මවුපියන් හිතන්නේ.

 

බබාගේ කාමරේ

දරුවාගේ කාමරේ තෝරගන්නකොට හොඳට ජනෙල් තියෙන, හුළං වදින, අව්ව වැටෙන තැනක් වෙන්න ඕ‍ෙන.

කාමරයේ අත්‍යවශ්‍යම බඩු විතරක් තියන්න. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩාකර තබන්න ඩයපර්, නැප්කින්, පිසදැමීමට රෙදි, ළදරු කමිස, ළදරු ඇඳුම් තියන්න පුංචි පහේ කබඩ් එකක් ගැනීම පහසුවක්. මේ කබඩ් එකට වෙනවෙනම ලාච්චු සවි කරන්න. නැතිනම් වෙනවෙනම වේවැල්වලින් තැනූ හතරැස් හැඩයේ කූඩ තබන්න. මේවායේ වෙනවෙනම ඉහත කී දෑ ගබඩා කරන්න. මව හැරුණු විට දරුවා රැකබලා ගන්නා තැනැත්තාට වුව පහසුවෙන් ඒ ඒ දේවල් සොයා ගත හැකි වේවි.

 

 

අම්මා අතින්ම නෑවීම

දරුවා නෑවීම මව අතින්ම සිදුකිරීම සුදුසුයි. ඒ සඳහා නිවෙසේ වැඩිහිටියකුගේ සහය පතන්න පුළුවන්. දරුවා නෑවීමට බිම වාඩිවීමම අවශ්‍ය නැහැ. සීසර් කළ මවකට වුවත් මේ කාර්යය කළ හැකියි. ඒ සඳහා මේසයක් වඩාත් සුදුසුයි. බේසම් උස්සනවට වඩා වතුර ඉවත් කරන්න පුළුවන් බේසමක්, පාවිච්චි කළ ජලය ඉවතලන්න මාර්ගයක් තිබීම මේ කර්තව්‍යය පහසු කරාවි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ගර්භිණී කාලෙම හදාගෙන ඒවාහි අනවශ්‍ය ඒවා කපා දමා අත්‍යවශ්‍ය දේ පමණක් මිලදී ගන්න වග බලාගන්න.

 

දරුවෙක් ගෙදරට ගේන්න කලින් මදුරුවෝ බෝවෙන ස්ථාන විනාශ කරලා පිරිසුදු කර තැබීම මඟින් දරුවාට නිදහස් පරිසරයක් දෙන්න පුළුවන්. නැත්නම් දරුවාව මදුරුවන්ගෙන් පරිස්සම් කරන්න ජනේලයක්වත් ඇරගන්න බැරි වෙනවා.

 

දැනුම්වත්බවක්

අනික් එක තමයි ළදරු රැකවරණය ගැන ඉගෙන ගන්න. පෝෂණය, නෑම සහ සන්සුන් කිරීමේ ශිල්පීය ක්‍රම ඇතුළුව අලුත උපන් බිලිඳු රැකවරණය පිළිබඳ පොත්පත්, guide ළඟ තියාගන්න. විශේෂයෙන් ගයිඩ් එකක් තියෙනකොට අවශ්‍ය දෙයක් ඉක්මනින් පිටුව බලලා පෙරළගන්න පුළුවන් විදිහට ඒවා පරිශීලනය කරලා පුරුදු කරගෙන තියාගන්න. විද්්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු ගන්නවා නම් සමාජ මාධ්‍යයෙන් හෝ ඒ පිළිබඳව දැනුමැති ක්ෂේත්‍රයේ ප්‍රවීණ සුදුසුකම්ලත් කෙනෙක්ගෙන් පමණක් තොරතුරු ගන්න. යූටියුබ් වීඩීයෝ ඕනෑතරම් තිබුණත් තෝරාබේරාගෙන ප්‍රමිතියෙන් යුතු ඒවා පමණක් නැරැඹීම සුදුසුයි.

 

අන් අයගේ සහය

අම්මගේ ආහාර, ගෙදර දොරේ වැඩ සහ දරුවා රැකබලා ගැනීම සඳහා පළමු සති කිහිපය තුළ පවුලේ අයගෙන් හෝ මිතුරන්ගෙන් උපකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවා පිළිවෙළට ෂෙඩුල් කරගන්න.

නැපි නමන වගේ දේවල් තාත්තටත් පුරුදු කරන්න. තාත්තගෙ සහාය පුළුවන් තරම් ලබා ගන්න.

චූටි බ‍ෙබකුට ඇතිවිය හැකි හදිසි අවස්ථා ගැනත් දැනුම්වත් වෙන්න

ඒ වගේම අලුත උපන් බබෙක් සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්ව, අසාමාන්‍ය තත්ත්ව මොනවද කියලා හරි විදිහට බේරලා වෙන් කරගන්න අම්මා කෙනකුට, තාත්තා කෙනකුට දැනුම තියෙන්න ඕන. නැත්නම් අනවශ්‍ය දේවල්වලටත් කලබල වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට අවශ්‍යම දේකදී ප්‍රතිකාර නොගෙන ඉන්නත් පුළුවන්. ඒ නිසා ඒ දැනුම මව්පියකුට හරි වැදගත්.

 

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැලැස්ම

දරුවා සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු තෝරා ගැනීම සැලසුම් කරන්න. සාමාන්‍යයෙන් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා උපතේදී සම්බන්ධකර ගන්නා ළමා රෝග විශේෂඥ ⁣වෛද්‍යවරයාවම දිගින් දිගටම සම්බන්ධ කරගන්නටත් පුළුවන්.

මව් කිරී දීම සම්බන්ධව උදව් ගන්න කණ්ඩායමකට කතා කරනවා නම් ඒ අයට කලින් කතා කරල තියාගන්න. රජයේ සේවාව ලබා ගන්න අය ගමේ පවුල් සෞඛ්‍ය මේවා නිලධාරිනියව සම්බන්ධ කරලා තියාගන්න.

මූල්‍ය කටයුතු සැලසුම්කර ගන්න. රෝහල් ගාස්තු, වෛද්‍ය වියදම්, ඩයපර්ස් සහ ළමා රැකවරණය ඇතුළුව නව ළදරුවකුගේ අමතර වියදම් සැලසුම් කරන්න.

හදිසියක් වුණොත් දරුවාව රෝහලකට ගෙනියන්න අත්‍යවශ්‍ය දෑ සහිත බෑගයක් සූදානම් කර ගන්න.

ඒ අතරම අම්මා කෙනෙක් සහකරු සමඟ බැඳීමට කාලය ගන්න. නැතිනම් ඔබට ඔබේ පවුල් ජීවිතයේ ගැටලු ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්. ඒ ගැනත් සිහිකල්පනාවෙන් ඉන්න. පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කිරීම පිළිබඳවත් සිතන්න ඕනේ.

 

 

උපදෙස් :
ළදරු හා ළමා සෞඛ්‍ය
උපදේශිකා ශ්‍යාමලී පතිරගේ