හම සුදු කරගන්න අනවශ්‍ය දේවල් එපා

Miss Global International ගෙන් කාන්තාවන්ට උපදෙසක්
මැයි 6, 2024

ලෝකය දකින්න ඉංග්‍රීසි සහ පරිගණක දැනුම අවශ්‍යයි

ප්‍රේක්ෂක හදවත් නොඉවසිලිමත්ය. ඇසිපිය හෙළීම පවා නැවතී ඇත. කුතුහලයෙන් පිරී දහසක් ඇස් මේ පෙරමං බලන්නේ ඒ අභිෂේක ලත් සුරංගනාවිය වේිදිකාව මතට එනතුරායි. තවත් මොහොතක් හෝ පමාවන තුරු බලා සිටින්නට බැරි තරම්ය. සැමගේ අසිරිය මැද මේ දිදුලන්නේ රූ සිරි වැස්සකි. රූ සොබාවේ භාග්‍යවන්තියක් ලෙස ආසිරි ගැන්වුණු වරුණි රණතුංග රටවල් 22ක රුවැත්තියන් අතරින් Miss Global International සුරූපිනිය ලෙසින් අභිසෙස් ලැබූ වාසනාවන්තියයි.

ඉතිං වරුණි කියන්නකො මේ ජයග්‍රහණය පිළිබඳ?

මම තමයි Miss Global International -2024. තරගය පැවැත්වු‍ෙණ් නේපාලයේ. ඉන්දියාව, චීනය, පෝලන්තය ඇතුළු තවත් රටවල් 22ක සුරූපී තරගකාරිනියන් අතරින් තමයි මා කිරුළ පැලඳුුවේ.

වරුණි කොහොමද මේ තරගාවලියට සම්බන්ධ වුණේ ?

අපේ රටේ ඉන්න ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන රොෂෙල් ප්ලන්කට් මහත්මියගේ මොඩල් බෑන්ක් එකට සම්බන්ධ වීමෙන් තමයි මේ වටිනා අවස්ථාව හිමිවුණේ. ජාතික අධ්‍යක්ෂවරයකුවන මයුර පෙරේරාත් පුහුණු වීම් සඳහා මට ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනාගේ ගුරුහරුකම් තමයි මාව Miss Global International ලෙස අභිෂේක ගැන්වූයේ.

ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක් නේද?

ඔව්. ඇත්තෙන්ම මගේ ඇඟේ නර්තනය පිහිටා තියෙනවා. මම මුලින්ම නර්තන ශිල්පිනියක් ලෙසයි ජනතාව අතරට ගියේ. 2011 වසරේ දී ප්‍රවීණ නර්තන ශිල්පී දෙපොළක්වන අංසග ද සිල්වා සහ ලසන්ත ප්‍රබුද්ධ යන අය යටතේ නර්තනය හැදෑරුවා. ඒ ඔස්සේ සිරස TV නේත්‍රා තරගාවලියට සම්බන්ධ වී අනුශූරතාවයත්, TV දෙරණ නර්තන තරගාවලියෙන් යුගල නර්තන අංශයෙන් පස්වැනි ස්ථානයත් ලබා ගන්නට හැකි වුණා.

එතකොට ඔබ මෝස්තර නිරූපණ ශිල්පය සඳහා යොමු වන්නේ කොහොමද?

මම 2019 වසරේදී පුවත්පත්, සඟරා, කැලැන්ඩර් සඳහා ඡායාරූප නිරූපණ ශිල්පිනියක ලෙසින් කටයුතු කළා. 2022 වසරේදී ත්‍රිකලා ධරණී මොඩ්ලින් ඇකඩමියට සම්බන්ධ වුණා. මේ සඳහා මාව දිරිමත් කළේ මගේ පෙම්වතායි. ඔහු ගයාන් රාමවික්‍රම දැනට විදෙස්ගත වෙලා ඉන්නේ. මාව මේ තරගාවලියට යොමු කිරීමට පවා දිරිගැන්වූයේ ඔහු. ඇත්තෙන්ම මේ කිරුළේ සැබෑ ශක්තිය මගේ පෙම්වතායි.

ඉතින් වරුණි...

ඔබට මේ කිරුළ දෝත දරන්න ලැබුණු ඒ වාසනාවන්ත මොහොත ගැන විස්තර කරන්නකෝ.

රූපය කියන්නේ හැම ගැහැනු දරුවෙක්ට උපතින් උරුමවන වාසනාවක්. එහෙත් මෙවැනි තරගයක් දිනන්නට රූපය ප්‍රමාණවත් වන්නේ නැහැ. ජාත්‍යන්තරයට සමේ පැහැය කොහෙත්ම වැදගත් වන්නේ නැහැ. අද අපේ තරුණියන් බීචිං ක්‍රීම් පසුපස යන්නේ හමේ පැහැය දීප්තිමත්කර ගැනීමට. එහෙත් ජාත්‍යන්තරය දිනූ කෙනෙක් ලෙසින් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා එවැනි අනවශ්‍ය හඹා යාම් වලින් වළකින ලෙස. උපතින් ලැබුණු පැහැය තමයි ඔබට උරුම. අනවශ්‍ය ලෙඩ රෝගවලට අතවනවාට වඩා තියෙන පැහැය රැකගෙන බුද්ධිය සහ අවබෝධය ඔස්සේ ගමනක් යාම ඉතා වටිනවා. අපේ රටේ තරගකාරිනියන් 250ක් අතරින් අවසන් 10 දෙනෙක් තෝරාගෙන ඒ අතරිනුත් නේපාලයේ පැවැති Miss Global International තරගයට සහභාගී වන්න ලැබුණේ මට.

කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීම, නියමිත උස, බර, නර්තන හැකියාව, දරාගැනීමේ ශක්තිය වගේ අංශ කිහිපයක් බැලුවා. උඩරට, පහතරට නර්තන සංකලනයක් මා ඉදිරිපත් කළා. ඔවුන් මගේ හැකියාවන්වලින් සෑහීමකට පත් වුණා. රටවල් 22ක තරුණියන් අතරින් මා ජයග්‍රහණය කළා.

මෙවැනි ජාත්‍යන්තර තරගයකදී ඔබ ලද අත්දැකීම් මොනවාද?

මා හා තරගවැදි තරගකාරිනියන් 21 දෙනා හරිම සුහදශීලි. එයාලා තරග අවස්ථාවලදී හැර අන් හැම මො‍ෙහාතකදීම තවත් කෙනෙක් අභිභවා යාමක් නැහැ. හරිම නිහතමානී මිත්‍රශීලී, එකිනෙකාට ගරු කරන පිරිසක්. ඔවුන් සාමූහික හැඟීම පෙරදැරි කරගන්නා අයයි. මම හිතනවා අපේ රටේ තරුණියන්ට ඔවුන් ආදර්ශයක්. එවැනි පිරිසක් හමුවීමට මේ තරගයෙන් ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස මා දකිනවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මම කැමැතියි නිරූපණ ශිල්පය සඳහා යොමුවීමට බලා සිටින අය වෙනුවෙන් මොඩ්ලින් ඇකඩමියක් ආරම්භ කිරීමට. අපේ රටේ සිටින දක්ෂ තරුණ තරුණියන්ට හැකි පමණින් උදවු උපකාර කරමින් ජාත්‍යන්තරය ජයගන්න අවස්ථාව ලබාදෙනවා. ඒත් එක්කම හොඳ කලා නිර්මාණ ලැබුණොත් ටෙලිනාට්‍ය චිත්‍රපට වගේම ගීත පසුබිම් සඳහා රංගනයෙන් දායකත්වය ලබාදීමටත් සූදානම්.

 

ඡායාරූපය - ගයාන් රත්නායක