වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
දුප්පත්කම
රූපා විශ්රාමිකය. වෙසෙන්නේ දුව සමන්ති සහ ඇයගේ දරුවන් වන අරලියාත්, සංකේතත් සමඟිනි. යොවුන් දරු දෙදෙනාම ආච්චි අම්මාගේ ඒ කාලයේ විස්තර ඇසීමට ආශා කරති.
"මේ බලන්නකො ආච්චි, මේ ගෑනු කෙනා ඇඳන් ඉන්න සාරිය රුපියල් ලක්ෂයක්ලු. මොනවයින්ද දන්නෙ නෑ හදල තියෙන්නෙ ඒක."
අරලියා ෆේස්බුක් පෝස්ට් එකක් රූපාට පෙන්නුවාය.
"ළමයි කීදෙනෙක් ඉස්කෝලෙ යන්න යුනිෆෝම් එක මහගන්න රෙදි කෑල්ලක් ගන්න සල්ලි නැතුව දුක් විඳිනවා ද? රටට පේන්න ශෝක් කරන වෙලාවෙ ඒ සල්ලිවලින් එහෙම ළමයි කීදෙනෙක්ට උදව් කරන්න පුළුවන් ද? "සමන්ති ෆෝන් එකට එබී බලා කීවාය.
"ඔයාලා හිතන්නෙ ඇයි මිනිස්සු දුප්පත්?" රූපා ඇසුවාය.
"එයාලට සල්ලි නැති නිසා"සංකේත් කීවේය.
"ඇයි සල්ලි නැත්තෙ?"
"ආදායමක් නැති නිසා. රස්සාවල් නැති නිසා." එහෙම කිව්වෙ අරලියා.
"හම්බවෙන ආදායම ජීවත්වෙන්න මදි නිසා ඒ සමන්ති."
"ඇයි එහෙම වෙලා තියෙන්නෙ?"
තරගයට රූපාට උත්තර බැන්ද තුන්දෙනා ඒ ප්‍රශ්නයට පිළිතුරක් නැතිව මුහුණෙන් මුහුණ බලාගත්හ.
"අපි ලංකාවේ ලොකු හෑන්ඩ්ලූම් කම්පැනි එකක් එක්ක ප්‍රොජෙක්ට් එකක් කළා. ගම්වල රෙදි වියන තැන් පටන් අරන් දුප්පත් පවුල්වල ගෑනු ළමයින්ට රෙදි වියන්න උගන්වලා පුහුණුව සම්පූර්ණ කරන ළමයි ඒවට බඳවගන්නව ජොබ් එකට. කම්පැනියට එන ඕඩර් ඒවයෙන් හදවලා කම්පැනියටම දෙනවා..."
ආච්චි රසකතාවක් කියන බව තේරුම්ගත් දෙදෙනා හරිබරි ගැහී ඉඳගත්හ.
" ග්‍රාමසේවා වසම්වලින් නම් කරල එව්ව දුප්පත් ගෑනු ළමයි තෝරගෙන වසමට එකගානෙ පන්ති පිහිටෙව්වා. මුල දවසෙ පිරිලා ඉතිරිලා යන්න සෙනඟ. පුහුණු කාලය මාස හයයි. හුඟක් වැඩවලදි වගේම මාස දෙක තුනක් වෙද්දි සෙනඟ අඩුවෙලා පන්තියක ළමයි දහයක් වගේ ගාණකට බැස්සා. එක ගමක ක්ලාස් එක කෙරුව මිස් දවසක් උදේ අඬාගෙන අපේ ඔෆිස් එකට ආපි......"
"අර මොකෝ?"
"පුහුණුවට යනව කියලා ගෑනු ළමයෙක් කොල්ලෙක් එක්ක රෝන්දෙ ගිහින්. කෙල්ලගෙ අම්මා ක්ලාස් එකට ඇවිල්ලා බැණලා තියෙන්නෙ ඒක මිස් කෙරෙව්ව දෙයක් වගේලු.
"මෙහෙම අපහාසයක් කවදාවත් වෙලා නෑ. මම නම් ආයෙ ඒ පැත්තෙ යන්නෙ නෑ කියලා නහයෙන් අඬන් ආවෙ."
"ඉතින් මොකද කළේ"
"හොයලා බැලුවාම කතාව ඇත්ත. අනිත් ළමයිටවත් ආයෙ ක්ලාස් එන්න දෙන්නෙත් නෑලු ගෙවල්වලින්. ඉතින් අපිට ඒ පන්තිය නවත්තන්න වුණා.
"මහ පිස්සු මිනිස්සුනෙ"
“දවස් තුන හතරකින් ඒ ක්ලාස් එකේ හිටි ළමයෙක් ඔෆිස් එකට ආවා. නදීකා කියමුකො. එයාට පුහුණුව ඉවර කරන්න ඕනෙ කියල වෙන වසමක පන්තියකට දාලා දෙන්න පුළුවන්ද අහන්න.......අපි දාහක් අවවාද දීලා පොරොන්දු කරවන් ලියුමකුත් ලියවගෙන වෙන තැනක පන්තියකට ඇතුළත් කළා. ගෙදර ඉඳන් නදීකාට එතැනට ලොකු දුරක් තිබුණා. දිගටම යාවි කියල හිතුවෙ නෑ අපිවත්. වැඩත් එක්ක එයාව මතකම නැතිවුණා. පුහුණුව ඉවර වුණාම අර විදිහටම අපි ඒ කම්පැනි එකත් එක්ක ඉතුරු වැඩ ටික පටන්ගත්තා……….ආයෙ නදීකා අපිට මුණගැහුනෙ බැංකු ණයක් ගන්න ඕනෙ කරන ඩොකියුමන්ට් වගයක් ගන්න ආවාම. පුහුණුව ඉවර කළාට එයාව දාපු රෙදි වියන තැනින් අයින්වෙලා. නදීකාට එතැනට යන්න ගොඩක් දුර පයින් ගිහින් බස් දෙකක යන්න ඕෙනලු. උදේ කොහොමහරි ගියත් හවස එන්න විදිහක් නෑලු. ලොකු ඕඩර්ස් තියෙන දවසට රෑ වෙනකම් ඉන්නත් වෙනවාලු...
"අපරාදෙනෙ ඉගෙනගත්ත එක"
.....අපිටත් ඕකම හිතුණා. එයා පරණ මැෂිමක් අරන් ගෙදර ඉඳන් රෙදි වියනවාලු. කඩවල් ගාණකට ගිහින් විකිණුනාම සල්ලිදෙන පොරොන්දුවට කඩවල් දෙකකට එයා හදපු දේවල් දෙන්න කතා කරගත්තලු.
නදීකා කතා කරද්දි අපේ ඇස් ගියේ එයා ඇඳන් ආව සාරියට........කොහේවත් දැකලා නැති වෙනස්ම ඩිසයින් එකක්.
“..මේ මංම වියන සාරි” කිව්වම අපිට අදහගන්න බැරිවුණා.....
"එයාගෙ ප්රොඩක්ට්ස්වලට එයාම මොඩල් වෙලාද?"
ඔව්. ඒ සාරිවලට හොඳ ඉල්ලුමක් තියෙනවාලු. ඒ නිසා අලුත් මැෂිමකුයි නූල් තොග ටිකකුයි අරන් වැඩ කරන්න හදන්නෙ. අපිටත් ඒ සාරි ගන්න තරම් හිතුණට කෝකටත් නදීකාගෙ ගෙදර ගිහිල්ලා බලන්න තීරණේ කළා. ණයක් ගන්නත් අපෙන් ලියුම් ඉල්ලන නිසා. ඒ පැත්තෙ ග්‍රාම නිලධාරීත් එක්ක කලින් නොදන්වා එහෙ ගියා දවසක. අම්මෝ ඒ ළමයා රස්සාවකට නෙවේ ඉඳහිට ටවුමට එන්නෙවත් කොහොමද හිතුණා. ඒ තරමට දුෂ්කර පාරක්. ඇත්තටම නදීකා තමා ඒ සාරි හදන්නෙ. එයා වැදගත් ගමනක් යන්නෙ එන්නෙ තමන්ම හදපු සාරි දෙකක් මාරුවෙන් මාරුවට ඇඳගෙන. ඒවා දැක්කම ඒ තැන්වලින් ඕඩර්ස් එනවලු ඉවර කරගන්න බැරිතරම්....
"හොඳ මොළයක් නේ."
"......දන්නවද එයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ?"
"ට්‍රාන්ස්පෝට්?"
"නෑ......වැඩ කරන්න අය හොයාගන්න"
"ඒක වෙන්න බෑනෙ. කෝස් එකේ බාගයක් ට්‍රේනිං වුණ අය එහෙමත් ඉන්නවා නේද ඒ ගමේ?"
"....මිනිස්සු කැමති නෑ වැඩට එන්න."
"ඇයි ඒ නදීකලා තරහද ගමේ අය එක්ක?"
"රෙදි වියන එක පේන තරම් ලේසි නෑ. අතපය, කොන්ද, උරහිස් ඔක්කෝම රිදෙනවා. ගොඩක් මිනිස්සු කැමති නෑනෙ මහන්සිවෙලා හම්බ කරන්න. අනිත් හේතුව තමන් මහන්සිවෙලා තමන්ගෙ පන්තියෙ කෙනෙක්ම දියුණු වෙයි කියල තියෙන අකමැත්ත. කුහකකම....
"අපොයි දෙයියනේ"
" ගම්වලට ගියාම දුප්පත් කියන හුඟක් පවුල්වලින් කියන්නෙ රජයෙන් ආධාරයක් හම්බවුණේ නෑ. කාගෙන්වත් උදව්වක් ලැබුණෙ නෑ. අපිට කවුරුත් අත දෙන්නෙ නෑ."
"සැරයක් අම්මලා මහන මැෂිින් දීලත් ඕක නේද වුණේ? "සමන්ති මතක් කළාය.
"හ්ම්. මතකද ඔයාට. ගමේ තියෙන මැහුම් ඕඩර් ටිකත් අපිම ගෙදරට ගෙනත් දෙනකල් බලා ඉන්නවා. එක්කෙනෙක් ගෙවල ඉවර කරන්නත් කළින් මැෂින් එක උගස් තියලා. දුව ලොකු ළමයෙක් වුණ පාටිය ගන්නලු"
"හපොයි........ඉතින් කෝ මේ නදීකා?"
අරලියා නැවත මාතෘකාවට එමින් ඇසුවාය.
රූපා ඉතා අලංකාරව සිනාසුණාය.
"ඔය ඉන්නෙ....තාමත් එයාගෙ මොඩල් එයාම වෙලා ලක්ෂයක් වටිනා සාරියක් ඇඳන්. ඒ සාරි පිටරට යවලා ලංකාවටම ඩොලර් ගේන ගමන්"
---ශානිකා තෙන්නකෝන්---