වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
පන්න පන්න එන කරුමවලින් බේරෙන හැටි
සිත, කය හා වචනය යන තිදොරින් සිදු කරනු ලබන සෑම ක්‍රියාවක්ම කර්මයකි. එම කර්ම හොඳ කර්ම හා නරක කර්ම, කුසල කර්ම හා අකුසල කර්ම නමින් හැඳින්විය හැකි ය. ප්‍රසන්න වූ සිතෙන් යම් දෙයක් කරන්නේ නම්, කියන්නේ නම් එය යහපත පිණිස පවතී. එහි විපාකය තමා අත්නොහැර යන සෙවණැල්ල මෙන් තමා පසුපස පැමිණ යහපත් වූ විපාක ලබා දෙයි. අප්‍රසන්න වූ සිතින් යම් දෙයක් කරන්නේ නම් කියන්නේ නම් එය අයහපත පිණිස පවතී. එහි විපාකය ගොනා පසුපස ගමන් කරනා කරත්තය මෙන් දුක්ඛ විපාක ලබා දෙන බව ධම්මපද පාලියේ සඳහන් වේ. යම් ක්‍රියාවක් හොඳ හෝ නරක, කුසල හෝ අකුසල ක්‍රියාවක් බවට පත්වන්නේ ක්‍රියාව අනුව නොව ඒ මොහොතේ මුල් වන සිත අනුව ය.
සියල්ල කර්මයෙන් සිදුවන බව ඇතැමුන්ගේ විශ්වාසය යි. නමුත් එවැන්නක් බුදුන් වහන්සේ දේශනා කර නැත. අප සිදු කරන කුසල හා අකුසල කර්ම, විපාක දෙන කාල අනුව බෙදීම් හතරකි.
1. දිට්ඨ ධම්මවේදනීය ධර්ම
මොලොවදීම විපාක දෙන කර්ම
2. උපජ්ජවේදනීය කර්ම
දෙවැනි භවයේදී විපාක දෙන කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
තුන්වැනි ආත්මභාවයේ සිට නිවන්
අවබෝධ කරගන්නා ආත්මය දක්වා
විපාක දෙන කර්ම
4. අහෝසි කර්ම
විපාක දීමට අවකාශ නොවන
කර්ම යනුවෙනි.
අප සසරේ දී සිදු කරන කුසල හෝ අකුසල කර්මයන්හි විපාක නිවන් දකින ආත්මභාවය දක්වාම විපාක දෙන බව මින් පැහැදිලි ය. බුදුන් වහන්සේට පවා පූර්ව ආත්මභාවයන්හි දී කරන ලද කර්ම දොළහක් අවසන් ආත්මභාවයේ දී විපාක දුන් බව පුබ්බ කම්ම පිලෝතික අපදානයේ සඳහන් වේ.
මෙලොවදී තමා සිදු කළ කර්මයන් මෙලොවදීම විපාක දුන් අයුරු දැක්වෙන සිදුවීම් දෙකක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
මෙලොවදීම සිදු කළ කුසල කර්මයක් මෙලොවදීම විපාක දුන් අවස්ථාවක්,
රජගහනුවර රජකම් කළ බිම්බිසාර රජතුමාට දිනපතා මල් සැපයූවේ සුමන නම් මල්කරුවෙකි. දිනක් සුමන මල්කරු රාජ මාළිගාවට මල් රැගෙන යන අවස්ථාවේ දී පෙරවරු කාලයේ පිඬු සිඟා වඩින බුදුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා දුටුවේ ය. බුදුන් වහන්සේගේ අසිරිය දුටු සුමන මල්කරුට බුදුන් වහන්සේට යම් දෙයක් පූජා කරන්නට තිබුණා නම්, මොනතරම් නම් වාසනාවක් දැයි සිත් විය. බුදුන් වහන්සේට පූජා කිරීමට වෙනත් දෙයක් නොතිබුණු නිසා රාජ මාළිගාවට ගෙන යන මල් නැළි අට බුදුන් වහන්සේට පූජා කරමියි සිතා, තමාගේ ජීවිතයට රජතුමාගෙන් එල්ල විය හැකි ජීවිත තර්ජනය පිළිබඳවත් නොසිතා පූජා කිරීමට තීරණය කළේ ය. සුමන මල්කරු බොහෝම ශ්‍රද්ධාවෙන් මල් දෙමිටක් ගෙන බුදුන් වහන්සේ එන දෙසට විසි කළේය. ඉන් එකදු මලක්වත් බිම නොවැටී බුදුන් වහන්සේගේ සිරසට උඩින් වියනක් මෙන් නිර්මාණය විය. එය දැක අතිශයින් පහන් වූ මොහු තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන්ගේ දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහසෙහි සිටියේය. එය දැක අතිශයින් පහන් වූ මොහු තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ මොහු තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ නිර්මාණය විය. මෙම එකදු මලක්වත් බිම නොවැටී බුදුන් වහන්සේ අනුවම ගියේය.
මෙම කතා පුවත දැනගත් සුමන මල්කරුගේ බිරිඳ බියට පත්ව රජු ඉදිරියට ගොස් සමාව ඉල්ලී ය. රජතුමා බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතාගෙන බුදුරජුන්ට පිදුවේ දැ” යි සුමන මල්කරුගෙන් විමසී ය. බුදුන් වහන්සේ දැක ඇති වූ චිත්ත ප්‍රසාදය නිසා, රජතුමා මාගේ ජීවිතය නැති කළත්, රටින් නෙරපුවත්, කුමන දඬුවමක් දුන්නත් ඒ සියලු දඬුවම් විඳ ගන්නෙමියි සිතා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මල් පූජා කළ බව පැවසී ය. මේ අසා පැහැදුණු රජතුමා නුඹ මහා පුරුෂයෙක් යැයි පවසා, සර්වාෂ්ටක නම් වූ ඇතුන්, අශ්වයින්, දාසයන්, දාසියන්, අනර්ඝ පලඳනා, සර්වාභරණයෙන් සැරසූ කාන්තාවන්, ගම් ආදිය අට බැගින් හා කහවනු අටදහසක පරිත්‍යාගයක් කළේ ය. මේ ඔහු කළ පින්කමට මෙළොව වශයෙන් (දිට්ඨධම්මවේදනීය) ලැබුණු විපාකයයි. මරණින් මතු කල්ප ලක්ෂයක් දුගතියක නූපදනා බවත් අවසානයේ දී සුමන නමින් පසේ බුද්ධත්වයට පත් වන බවත් බුදුන් වහන්සේ දේශනා කළේ ය.
මෙලොවදී සිදු කළ අකුසල කර්මයක් මෙලොවදීම විපාක දුන් අවස්ථාවක්,
සැවැත්නුවර ජේතවනාරාමය සමීපයේම නිවසක චුන්ද නම් පුද්ගලයෙක් ජීවත් විය. ඔහුගේ වෘත්තිය වුයේ ඌරන් මැරීමයි. ඒ නිසා ඔහු චුන්දසූකර නමින් ප්‍රසිද්ධ වුණා. මොහු ඌරකු මැරීමට පෙර ඌරා කණුවක බැඳ ඌගේ මස් තැළෙන්න ලොකු මුගුරකින් පහර දී පසුව මරා දැමුවේ ය.
වයස අවුරුදු පනස් පහ වනතුරුම, මොහු දිනපතාම මෙලෙස ඌරන් මැරුවේ ය. මොහු කවදාවත් කිසිම පිනක් කරනොගත්තේ ය. කාලයාගේ අවෑමෙන් මොහු අසනීප වුණා. මරණාසන්නව සතියක් නොනවත්වාම ඌරන් මරන විට උන් කෑ ගැසූ ආකාරයටම හඬ නඟමින් මිය ගියේ ය. චුති සිත අපිරිසිදුව මොහු මිය ගිය හෙයින් මරණින් මතු අවීචි මහා නරකයෙහි උපත ලැබී ය.
කොතරම් ධනයෙන්, බලයෙන් කුමන ශක්තියකින් යුක්ත වුවත් කර්ම විපාකයෙන් මිදිය නොහැකි බව මෙම කතා ප්රවෘත්තීන්ගෙන් පැහැදිලි වේ. අකුසල කර්ම, පාප කර්ම සිදු කරන පුද්ගලයාට මෙලොව හා පරලොව යන දෙලොවදීම දුක් විඳීමට සිදු වන හෙයින් අපිරිසිදු සිතින් කිසිදු වචනයක් නොකියන්නට, කිසිදු ක්‍රියාවක් නොකරන්නට ඔබ සෑම මොහොතකම වග බලා ගත යුතු යි.
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී
යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.