වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හදිහූනියම්, අනවින, කොඩිවින, බන්ධනවලින් බේරීමට ධර්මයේ රැකවරණය ලබාගන්නේ කෙසේද?
මිනිස් සිත විශ්වයේ පවතින අසිරිමත්ම දෙයයි. ලොව ඇතිතාක් අසිරිමත් නිර්මාණ බිහිවී ඇත්තේ මිනිස් සිතේ බලයෙනි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ සිතෙහි ස්වාභාවය අපට පැහැදිලි කරදුන් සේක. දමනය නොකළ හික්මවා නොගත් සිත තිරිසන්, ප්‍රේත ආදී පහත් තත්ත්වයනට වැටෙනා සැටිත් , දමනය කොට හික්මවාගත් සිත දේව, බ්‍රහ්ම වැනි තත්ත්වයනට දියුණු කළහැකි අයුරුත් පැහැදිලි කොටදුන් සේක. දමනය කරගත් සිතෙහි ප්‍රඥාව ප්‍රබෝධවත් කොට සත්‍යාවබෝධයට පත්වීමෙන් සියලු දෙව්බඹ තල ඉක්මවා උත්තරීතර ලෝකෝත්තර නිවනට පත් වන මාර්ගය ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප සැමට කියාදුන් සේක.
එබැවින් බෞද්ධයෝ සිත දියුණු කිරීමටත්, ප්‍රඥාව වැඩීමටත් නිරතුරුව සිත යොමුකර ඒ සඳහා කටයුතු කරති.
නමුත් මිනිසුන් අතරම තවත් පිරිසක් කෙලෙසුන්ට සිතේ වැඩෙන්නට ඉඩ දී බලා සිටී. ඔවුහූ වෛරය, ක්‍රෝධය පතුරවති. ආශාවන් සපුරා ගැනීමට විවිධ අයුරින් වෙහෙසෙති. එහිදී සමහරු අන්‍යන්ට හදිහූනියම් ,අනවින ,කොඩිවින, බන්ධන ආදිය කිරීමටත් පෙළඹෙති. මෙවැනි අවස්ථාවක බෞද්ධයා ක්‍රියා කළයුත්තේ කෙසේද ?ඔහුට හෝ ඇයට රැකවරණය සලසාගත හැක්කේ කෙසේද යන්න අපි මේ ලිපියෙන් විමසමු.
අනවින, කොඩිවින හදිහූනියම් පිළිබදව බෞද්ධ සාහිත්‍යයේ ද බොහෝ තොරතුරු අන්තර්ගතව තිබේ. ගුප්ත විද්‍යා ශාස්ත්‍රවල විස්තරවන විදියට අන්‍යයන්ට විපත් පැමිණවීම සඳහා ක්‍රමශිල්ප දෙකක් මෙහිදී භාවිතා කරයි.
ඉන් පළමුවැන්න විපත් කිරීමට අවශ්‍ය තැනැත්තා මානසිකව හා කර්මානුරූපීව දුර්වලවන මොහොතක අමනුශ්‍ය බන්ධනයක් (අමනුශ්‍යයෙකු බැඳීමක්) සිදුකිරීමයි. දෙවන ක්‍රමය එවැනිම දුර්වල මොහොතක දී මන්ත්‍ර උච්චාරණයෙන් ශබ්ධ ශක්තිය හා අධ්‍යාත්මික ඍණ ශක්තිය (කටවහ , වස්කවි වැනි) යොදාගැනීමෙනි.
මේ ක්‍රම දෙකම නිසා විපතට පත්වන්නේ බුද්ධ දේශනාවට අනුව කටයුතු නොකරන අධ්‍යාත්මිකව දුර්වල අය පමණි.
දිනක් ගිජුකුළු පව්වෙහි වැඩසිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුණගැසීමට සතරවරම් දෙවිරජවරු මැදියම් රැයේ පැමිණියේ මහත් සේනාපිරිස් සමඟය. එහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඉතා ගෞරවයෙන් වන්දනා කළ ඒ දෙවිවරු පැවසුවේ ලෝකයේ සිටින යක්ෂ, නාග, කුම්භාණ්ඩ ,ගන්ධබ්බ ආදී ගුප්ත අමුනුෂ්‍යයන්ගෙන් ගිහි පැවිදි දෙපිරිසටම සමහරවිට විපත් පැමිණිය හැකිබවත් ඒවායෙන් මිදීමට නම් සත්බුදු රජාණන් වහන්සේලා සිහිකොට වන්දනා කරමින් ධාර්මික ජීවිතයක් ගතකළ යුතු බවය. එවිට කිසිඳු අමුනුෂ්‍යයකුට කිට්ටුවත් වීමට නොහැකි බවය. ආටානාටිය සූත්‍රය තුළ එන ඒ උතුම් සත්බුදු වන්දනා ගාථා මෙසේය.
විපස්සිස්ස නමත්ථු
චක්ඛුමන්තස්ස සිරීමතො,
සිඛිස්සපි නමත්‍ථු
සබ්බභූතානුකම්පිනො.
වෙස්සභුස්ස නමත්‍ථු
න‍්හාතකස්ස තපස්සිනො,
නමත්‍ථු කකුසන්‍ධස්ස
මාරසේනප්පමද්දිනො.
කොණාගමනස්ස නමත්‍ථු
බ්‍රාහ‍්මණස්ස වුසීමතො,
කස්සපස්ස ච නමත්‍ථු
විප්පමුත්තස්ස සබ්බධි.
අංගීරසස්ස නමත්‍ථු
සක්‍යපුත්තස්ස සිරීමතො,
යො ඉමං ධම්මමදෙසේසි
සබ්බදුක‍්ඛාපනූදනං.
යෙ චාපි නිබ්බුතා ලෝකෙ
යථාභූතං විපස්සිසුං,
තෙ ජනා අපිසුණා
මහන්තා වීතසාරදා.
හිතං දේවමනුස්සානං
යං නමස්සන්ති ගෝතමං,
විජ්ජාචරණසම්පන්නං
මහන්තං වීතසාරදං
විජ්ජාචර්ණ සම්පන්නං
බුද්ධං වන්දාමී ගෝතමං.
රතන සූත්‍රය ද එසේ භාවිත කළහැකි ඉතා බලවත් සූත්‍රයකි. සත් හැවිරිදි දීඝායු කුමරු මරාදැමීමට වෙසමුණි රජුගෙන් වරම්ගෙන පැමිණි බලගතු යක්ෂයා පළවා හැරීයේ ද රතන සූත්‍රය දේශනා කිරීමෙනි. එදින මරණයට පත්වන්නට සිටි දරුවා රතන සූත්‍රයේ බලයෙන් වසර 120කට දීඝායු ලැබීය.
නිති පන්සිල් රකිමින් සම්බුද්ධ වන්දනා කරමින්,ධර්මයෙහි පිහිටා සිටින තැනැත්තා අධ්‍යාත්මික වශයෙන් බලවත් බැවින් කිසිඳු බාහිර බලවේගයකින් විපතට පත්කළ නොහැකි බව මේ අනුව තේරුම් ගතහැකිය.
සමහරු අනවින කොඩිවින හදිහූනියම් වලින් බේරිමටය සිතා බුදුදහම අතහැර දේවාල පසුපස හඹායයි. දෙවියන් අපගේ සේවකයන් නොවන බවත්, දෙවියන් මිනිසුන්ට වඩා බලවත් පිනින් ඉපිද දෙව්ලොව සැප විඳිනා පිරිසක් බවත් බොහෝ දෙනා වටහාගෙන නැත. බොහොමයක් දේවාලවල කටයුතු කරන්නේ යක්ෂ ,ප්‍රේත ආදී අමනුශ්‍ය බලයන් යොදාගෙනයි. ඒ බව නොදැන එම ස්ථාන වෙතයන සමහරු අමුනුෂ්‍යයින්ගෙ ග්‍රහණයට ලක්ව තවතවත් විපතට වැටෙති. සමහරු කුසතුළ වැඩෙන දරුවාව ද දෙවියන්ට බාර කරනවාය සිතා ඒ අමුනුෂ්‍යයන්ට බාරකරති. ඒ නිසා මෙවැනි තැන්වල උතුම් බුදුදහම අනුවම කටයුතු කළ යුතුය.
මෙවැනි අවස්ථාවක අයකුට මෙවැනි ප්‍රශ්නයක් ඇතිවිය හැකිය.
"ධර්මානුකූලව සිටීමෙන් බන්ධන හූනියම් වලින් ගැලවිය හැකිනම්, බුදුරජාණන් වහන්සේ ළඟින්ම සිටි ආනන්ද හිමියන් රොඩී බන්ධනයට අසු වූයේ කෙසේද ? " යනු ඒ පැනයයි.
සමහර මිනිසුන් සිතා විමසා නොබලා ඇසෙනා දෙයක් අවිචාරයෙන් පිළිගනී. එය සත්‍යය හෝ අසත්‍යය වේවා තමන්ට අසන්නට ලැබුණු පමණින් පිලිගනී.
සීවලී හිමියන් ගැන ද එවැනි වැරැදි මතයක් තිබේ. එය නම් පැටවුන් ලැබුණ බැල්ලකට වමාරා කෑම දුන් බැවින් සීවලී හිමි ලාභීන්ගෙන් අග්‍ර වූ බවයි. එය අමූලික බොරුවකි. ධර්මයේ කොතැනකවත් එවැන්නක් නැත. එසේ බැල්ලකට වමරා කන්නට දී ප්‍රත්‍යලාභ ලැබූ ලාංකික භික්ෂුවක් ගැන තොරතුරු සද්ධර්මාලංකාර බණ පොතේ එයි. බෞද්ධයන් ඒ කතා දෙක පටලවාගෙන සිටී. එය වරදකි.
එසේම ආනන්ද හිමියන් රෝඩී වශී ගුරුකමකට අසු වූ බව ලංකාවේ කිසිදු ත්‍රිපිටක හෝ අටුවා ග්‍රන්ථයක නොමැත.
ආනන්ද හිමියන් ථේරගාථාවල සඳහන් කර ඇත්තේ, පැවිදි වූ තැන්සිට රහත් නොවී වැඩ සිටි විසිපස් වසර පුරාම තමන් වහන්සේ ට කිසිදු කාම සංඥාවක් පහළ නොවූ බවයි.
එසේ තිබියදී මේ බොරු කතාව ගොතා අනඳ හිමියන්ට නින්දා කොට තිබෙන්නේ
සර්වාස්තිවාදී හා මහායාන පොතක්වන "දිව්‍යාවදානය" සංස්කෘත පොතේයි. ඒවා ලංකාවේ පතුරනු ලැබුවේ යන්ත්‍ර මන්ත්‍රවලට මුල්තැනක් දුන් අය, බෞද්ධයන්ව නිවැරැදි බුදුදහමින් ඉවත් කිරීම සඳහායි. සිනා උපදවන තරමේ බොරු බොහෝමයක් එම පොත්වල ඇතුළත්ව තිබේ. ඒවාට නොරැවටෙන්න.
එම කතාවේ හැටියටත් බන්ධනය බිඳුණේ බුදුරජාණන් වහන්සේ සිහිකිරීමෙනි. බුද්ධ බලයෙනි.
දෙවිවරු පවා දෙව්ලොව සුර අසුර යුද්ධයට යද්දී බියක් තැතිගැනීමක් ඇති වුණත් සිහිකරන්නේ තෙරුවන් ගුණ බව ධජග්ග සූත්‍රයේ මනාව පැහැදිලි වේ.
ඒ නිසා ඔබ නිති පන්සිල් රකින්න. බුදුරජාණන් වහන්සේට වන්දනා පූජා කරන්න. ඒ පින් සම්‍යක්දෘශ්ටික දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. එවිට උසස් දෙවිවරුත් ඔබව ප්‍රියකරන්නට පටන්ගන්නවා. ඔබව ආරක්ෂා කරනවා. නිෙවසේ ඉඳහිට හෝ පිරිත් අසන්න. ධර්මය ප්‍රගුණ කිරීම තුළින් සිත ශක්තිමත් කරගන්න. එවිට කිසිදු බාහිර ගුප්ත බලවේගයකට ඔබට විපතක් කළ නොහැකි බව ඒකාන්තය.
සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ
සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,
කුඩා කිවුල, කොට්ටුකච්චිය.