දරුවන්ට හිතින් විතරක් ආදරය කරලා මඳි

දෙසැම්බර් 13, 2021

අම්මා සහ තාත්තා දෙදෙනාට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලබාදුන් ගුණ නාමයන් අතර "පුබ්බාචරිය" යන්න ඉතා ප්‍රකට ගුණ නාමයකි. එහි අදහස "මුල් ගුරුවරුය" යන්නයි. දරුවාට වටපිටාව, සදාචාරය, ගුණ දහම,ජීවිතය, හොඳ නරක ආදිය ප්‍රථමයෙන්ම උගන්වාලන්නේ දෙමාපියන් බව එයින් අර්ථවත් වෙයි.

හොඳ දෙමාපියන් ඒකාන්තෙන්ම තම දරුවාට ජීවිතය කියා දෙන මුල්ම ගුරුව‍රු විය යුතුය. එසේ දෙමාපියන් දරුවන්ට උගන්වන්නෙ කෙසේද ? අද ලිපියෙන් අපි ඒ පිළිබඳව කතා කරමු.

බුදුදහම ජීවන දර්ශනය කොටගත් මව්පියන්, දරුවන් මව්කුස පිළිසිඳ ගැනීමට පෙර සිටම පුන්‍යවන්ත ,ගුණවන්ත දරුවෙකු ප්‍රාර්ථනා කරමින් ජීවිතයේ ගුණදහම් දියුණු කිරීම සිදුකරති. ගුණවත් බුද්ධිමත් අංගසම්පූර්ණ දරුවෙකු ලැබීමට නම් බොහෝ පිං තිබිය යුතුය. බොහෝ බෝසත් ජාතක කතාවලදී බෝධිසත්ව කුමරුන් ඉපදී ඇත්තේ සිල්වත් ගුණවත් දෙමාපියන් අතරය. එම නිසා පින්වත් දරුවෙකු ලැබීමට පතන මාපියන්, දරුවෙකු බලාපොරොත්තු වෙන කාලයේදී ම පිනට දහමට විශේෂයෙන් නැඹුරු වෙති.

ඉන්පසු දරුවා මව්කුස පිළසිඳ ගත් විට ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙති.

මේ කාලය තුළ අම්මාගේ සිතිවිලි, ආකල්ප මව්කුස සිටින දරුවාට බොහෝ සෙයින් බලපෑම් කරයි. එහෙයින් පියා විසින් මවව ඉතා සෙනෙහසින් රැක බලාගනු ලබයි. මානසික පීඩා ආදියක් ඇතිවන්නට ඉඩ නොදී සතුටින් තබයි. මව ද බුදුදහම ඇසුරු කරමින් ඉතා සංසිඳුණු මනසකින් කාලය ගතකරන්නට හුරුවිය යුතුය.

යම්කිසි විදියකින් මාපියන් ආරවුල් කරමින් එකිනෙකාට බැණ වදිමින් ,රණ්ඩු වෙමින් කාලය ගත වේ නම් ,මව්කුස සිටින දරුවාගේ මනසට ඒවා ඉතා පීඩාකාරීව දැනෙන්නට පටන්ගනී. එවිට දරුවාගේ අනාගත චරිතය දුර්වල කිරීම සඳහා එය ප්‍රබල හේතුවක් බවට පත්වේ. සමහර විට වයසින් වැඩෙන දරුවා පියා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන්නට හෝ දියුණු පෞරුෂ ලක්ෂණ නොපෙන්වන ඇතුළට නැමුණු චරිතයක් වන්නට හෝ බොහෝ ඉඩ ඇත.

මව්කුස තුළ මානසික ගුණාංග හා බුද්ධිය වැඩීමේ මූලිකම අවධිය බැවින් දෙමාපියන් වඩාත් පරිස්සමෙන් කාලය ගතකළ යුතුය.

අතීතයේ බොදුනුවන් දරුගැබක් පිහිටි කල මසකට වරක් හෝ දසසිල් සමාදන්ව මෛත්‍රී ආදී භාවනාවන් දියුණු කරමින් කාලය ගත කළහ. ධර්මය අසන්නට බෝ සෙවණේ සිසිලස විඳින්නට පිරිත් අසන්නට යොමු වූහ. එසේම අතීත මව් වරුන් තිසරණය හා පංච ශීලය සමාදන් වන විට එය ඉතා ශ්‍රද්ධාවෙන් දෙවරක්ම සිදුකරන්නට කටයුතු කළහ. ඒ වරක් තමාටත් දෙවන වර තමන්ගේ කුස සිටින සිඟිති දරුවාටත් කියායි. බිහි නොවූ දරුවා ද ධර්ම මාර්ගයේ පිහිටුවීමට කටයුතු කළ බැවින් ධර්මයට ලැදි, වැඩිහිටියන්ට ගරුකරන , සොබාදහමට ආදරය කරන නීරෝගි බුද්ධිමත් දරුවකු බිහිවිය.

දෙවනුව දරුවා බිහිවූ නවජ අවධියේ ද එසේම ගතකොට ළදරු අවධියේ දී දරුවා නළවන විට ද එය දරුවාගේ මනස ධනාත්මකව වර්ධනය වන ආකාරයෙන් කරන්නට කටයුතු යෙදීම බෞද්ධ මාපියන්ගේ ලක්ෂණයකි.

දරුවාගේ මානසික සංවර්ධනය ගැන නොසිතන , තම පහසුව පමණක් සිතන වර්තමානයේ සමහරු හඬන දරුවා නළවන්නේ දරුවාව බිය ගැන්වීම තුළිනි.

"අම්මෝ ඔන්න බබා අරන් යන්න බිල්ලෝ එනවා" යනුවෙන් හෝ කියා දරුවා බිය ගන්වා නිහඬ කරන්නට කටයුතු කරති.

එසේ ඇතිකරන බිය දරුවාගේ පෞරුෂය සංවර්ධන වීමට බොහෝ බාධා ඇතිකරනු ලබයි. එබැවින් දරුවන් නැළවිය යුත්තේ බියකිරීමෙන් නොව ආදරය කරුණාව දැක්වීමෙන්ම බව මාපියන් වටහාගත යුතුයි.

දරුවා ටිකෙන් ටික වැඩෙද්දි පිරිසුදුව ඉන්නා හැටි, සංවරව අහර ගන්නා හැටි, සනීපාරක්ෂක කටයුතු වල විධිමත්ව යෙදෙනා හැටි, වැඩිහිටියන් හා නෑයන් සමග හැසිරිය යුතු හා කතාබහ කළයුතු හැටි ක්‍රමානුකූලව දරුවාට කියා දෙන්නේ මව හා පියාය. ඒවා මව්පියන් ආදර්ශයෙන්ම දරුවන්ට උගන්වාලති.

අතීතයේ මව පියා සහ දරුවකු සහිත කුඩා පවුලක් ජීවත් විය. දරුවාගේ ආච්චී සහ සීයාගේ උපස්ථාන කටයුතු කරන්නට වී තිබුණේ ද දරුවාගේ දෙමාපියන්ට ය. ඔවුන් එය කළේ සතුටින් නොවන අතර ඔවුනට තම දෙමාපියන් දැනුනේ වදයක් හා බරක් ලෙසය. කිසිවිටක ඔවුහූ තම දෙමාපියන්ට ආදරයෙන් කතාබහ නොකළ අතර නෑවීම කැවිම ආදියක් සෙනෙහසින් නොකළහ. ආහාර දුන්නේ අපිරිසුදු කැඩී බිඳී ගිය මැටි කෝප්පයකය.

මේ සියල්ල තම සිඟිති දරුවා බලා සිටිනා බවත්, ඔහු එය ආදර්ශයට ගන්නා බවත් මේ දෙමාපියෝ නොදත්හ.

කාලය ගෙවී ගියේය. වැඩිහිටියන් මරණයට පත්වී අවසන් කටයුතු ද කර අවසන් විය. ඔවුනට තමන් මහා බරකින් , කරදරයකින් මිදුණු බව දැනෙන්නට ඇත.

දෙදෙනාම එකතු වී මාපියන් සිටි කාමරය අස්පස් කරන්නට විය. එයට උදව් වෙමින් සිටි සුරතල් දරුවා හදිසියේම සීයා සහ ආච්චී කෑමගත් කැඩුණු මැටිකෝප්පය සෝදා පවිත්‍ර කරන්නට පටන් ගති.

කුතුහලයට පත් මාපියන් පැමිණ මෙය මොකටදැයි විමසූහ. දරුවා මෙසේ කීය.

"කවද හරි අම්මයි තාත්තයි වයසට ගියාම කන්න බොන්න දෙන්න එකක් ඕනනෙ. මේක තියාගන්න ඕනේ මං "

දරුවා කීය. මව්පියන්ට තමන් කළ වරද වැටහුණේ එවිටය.

දරුවන් බොහෝ දෑ ඉගෙන ගන්නෙ ආදර්ශයෙනි. එනම් වැඩිහිටියන් කරනා සැටි දැක බලාගෙනය.

ඔබ දරුවන්ගෙන් ආදරය වැඳුම් පිදුම් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් , ඔබ ඔබගේ දෙමාපියන් ට ආදරය, වන්දනාව, සැලකීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතුය. ආදර්ශයට ඇති බලය කිසිසේත්ම අවවාදයට හෝ අනුශාසනාවට නැත. සමහර දෙමාපියන් දරුවන්ට පලිගන්නට වෛර කරන්නට කුඩා කාලයේම පුරුදු කරන්නේ තම නොදැනුවත් කම නිසායි.

මේ මා දුටු කුඩා සිදුවීමකි. කුඩා දරුවා ඇවිදගෙන එද්දී හරහට තිබූ කොට කැබැල්ලක පා වැදී වැටුණි. වේදනාවට පත් දරුවා මහ හඬින් හැඬීය. වැඩක යෙදෙමින් සිටි මව දුවගෙන විත් දරුවා වඩා ගත්තාය.

ඇය දරුවාගෙ හැඬීම නතර කළ අයුරු මෙසේය. තවත් පොලු කැබැල්ලක් අතට ගත් ඇය දරුවා හැපී වැටුණු කොට කැබැල්ලට වැරෙන් පහර දුන්නාය.

"ආයෙ මගෙ සුදු පුතාව වට්ටනවද? එතකොටත් දෙන්නෙ මම මෙහෙමයි"

ඈ කියද්දී දරුවා හැඬීම නවත්වා සිනාසීය.

මව සිතන්නට ඇත්තේ එය ජයගත් බවය. නමුත් ඇයත් පැරදී දරුවාත් පරදවා දරුවාගේ මනස තුළ වෛරය පළිගැනීම මව විසින් රෝපණය කළාය. දරුවා ඉන් ඉගෙනගත්තේ තමනට වරදක් කළ අයට පහරදී විපතට පත්කළ යුතු බවකි. අනාගතයේ මවගේම දඬුවමකට ද දරුවා උගත් අයුරින්ම ප්‍රතිචාර දක්වනු ඇත.

භෞතිකව දරුවන් සෑදීම කාටත් හැකිය. නමුත් සැබෑ උත්තරීතර මවක් පියෙක් වීමට සැමටම නොහැක.

දරුවන්ට ආදරය කළ යුත්තේ හුදෙක් හදවතින්ම පමණක් නොවේ. ඒ ආදරය අනාගත දැක්මක් සහිත බුද්ධියකින් යුතු විය යුතුමය. එසේ නොවූ විට දරුවා දෙස බලා වියපත් වූ කලෙක ඔබට හඬන්නට වනු නිසැකය.

මාපියන් සැබෑම පූර්වාචාරීන් වීමට සිතට ගත යුතුය. ආදර්ශයෙන් දරුවන් හික්මවමින් ජීවිතය කියා දෙන, සදාචාරය වෙත දරුවා රැගෙන යන, යථාර්ථය තුළ දරුවා ජීවත් කරවීමට වෙරදරන , දරුවාට ජීවිතාවබෝධයට ඉඩ සලසන මාපියන්ම ඒකාන්තෙන්ම දරුවන්ගේ පූර්වාචාරීන් (මූල් ගුරුවරු) බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

ඒ මග යමින් දරුවන් තනනා මාපියන් මෙලොව ද සැනසී පරලොව සැනසෙති. තම දයාබර දරුවාව ද දෙලොවින්ම සනසවති.

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ