වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ඔබ සැමියාෙග් ජීවිතය අපායක් කරන බිරියක් ද?

ගිහි ජීවිත ගතකරන සාමාන්‍ය කාමභෝගී ජනයා හට විවාහය යනු එක්තරා තීරණාත්මක සන්ධිස්ථානයකි. යමෙකුගේ ජීවිතය දියුණුවට පත්වනවා ද, නැතහොත් විනාශ මුඛයට යනවාද යන කාරණය තීරණය කරන එක් ප්‍රධාන සාධකයක් ලෙස විවාහය සැලකිය හැකිය. කාන්තාවකටනම් බොහෝවිට තම ජීවිතයේ සුන්දරම දවස ලෙස සිහින දකින්නේ විවාහ දිනයයි.
සාර්ථක ගෘහ ජීවිතයක පැවැත්ම සහතික කරන අතිශයින් ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස භාර්යාවකගේ ලක්ෂණ කෙබඳු විය යුතුදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන සූත්‍ර දේශනාවක් ලෙස සප්තභරියා සූත්‍රය අපට ගත හැකිය. එසේම මව්පිය දෙපළට දරුවන් වටිනා වස්තුවක් බවට පත්වන්නට නම් භාර්යාව ස්වාමිපුුරුෂයාගේ පරම මිත්‍රයා විය යුතු බව “වත්ථූ සූත්‍රයේ” දැක්වේ. සත්තභරියා සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ විසින් ලොව සියලුම භාර්යාවන් කොටස් 7 කට විග්රහ කරන ලදී..
වධක භාර්යාව
මෙයින් වධක භාර්යාව හෙවත් “වධකභරියා” ලෙස හඳුන්වා දෙන කාන්තාවගේ ලක්ෂණ වන්නේ නිතරම තරහ හෙවත් ද්වේෂ සිතින් ක්‍රියා කරයි . හැමවිටම ස්වාමිපුරුෂයාට වදයක්, හිරිහැරයක්, කරදරයක් වන ආකාරයෙන් ක්‍රියා කරයි. මාන්නයෙන් හිස උදුම්මවාගෙන තම ස්වාමිපුරුෂයාගේ අදහස් මතවලට එකඟ බවක් නොදක්වයි. කොයිවෙලේත් රණ්ඩු කිරීමට හේතුවක් සොය සොය සිටින අතර හේතුවක් නැත්නම් හේතුවක් හදාගෙන හෝ ස්වාමිපුරුෂයා සමග පැටලේ. ඔහුගේ ජීවිතය මිහිපිට අපායක් තත්ත්වයට පත්කරන ඇය, වෙනත් පුුරුෂයන් දුටු විට එවැනි අය පිළිබඳ ඇලේ.
චෞර භාර්යාව
ස්ත්‍රියකගේ ස්වාමියා යම් ධනයක් උපයයි ද, ඒ ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැත්තී ද, පුරුෂයකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සෙරක හා සමාන චෞරි සම බිරිඳක් යැයි කියනු ලබයි. මෙවැනි යුගයක මිලමුදල් ඉපයීමට ඇති දුෂ්කරතාව දන්නේ එය උපයන තැනැත්තාය. මෙය කියවන කාන්තා ඔබ වුවද රැකියාවක් කරන්නියක් නම් උපයන හැම සතයකම වටිනාකම දන්නේ ඔබමය. ඉතින් එසේ දුක් මහන්සි වී උපයන මුදල් ඔබ නිවසට ලබාදෙන්නෙ නම් එසේ කරන්නේ ගෙදරදොර වියදමට දූදරුවන්ගේ අවශ්‍යතාවන්ට වැඩ කිරීමටය. ඔබේ පවුලේ කෙනෙකු වුවද සොරා ගන්නේනම් එමනිසා ඔබට ඇතිවන හැගීම , වේදනාව දන්නේ ඔබම මිස එය සොරා ගන්නා කෙනා නොවේ. මේ නිසාත් අවසාන ප්‍රතිඵලය වන්නේ ඔවුනොවුන් අතර අසමඟිය දැඩි වීමෙන් පවුල් අවුල් වන තරමට ප්රශ්නය දිග්ගැසීමයි.
ආර්යාසමභරියා
බුදුරජාණන් වහන්සේ තවත් භාර්යාවකගේ ලක්ෂණ පැහැදිලි කරමින් එම භාර්යාව ආර්යාසමභරියා”ලෙසම පෙන්වා දෙනවා. මෙවැනි භාර්යාවන් සිතා සිටින්නේ ගෙදර ගෘහ මූලිකයා ඇය කියාය. මේ භාර්යාව අතිශයින් අලස ස්වභාවයක් දරන අතර ගෙදර දොර හෝ දරුවන්ගේ කිසිදු වැඩක් කරන්නට කැමැත්තක් නොදක්වයි. ගෙදර “මැඩම්” ලෙස කටයුතු කරන මොවුන් තම සියලු අවශ්‍යතා ස්වාමිපුරුෂයා විසින් ඉටුකර දිය යුතුයි කියන හැඟීමෙන් කටයුතු කරයි. වධක භාරියා චරිතයට බොහෝ සමානවන මොවුන් නිරතුරුවම තමන්ගේ ප්‍රධානත්වය නායකත්වය බලාපොරොත්තුවේ.
ඉහත ආකාරයේ භාර්යාවන් තුන් වර්ගය ඇති ස්වාමිපුරුෂයන්ගේ ජීවිත මිහිපිට අපායන් වැනිය. මෙබඳු ගෙවල් දොරවල්වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ අඩදබර සහ දරුවන්ගේ මානසික අසහනය හෝ ඔවුන් පසුකාලයේදි විවිධ මානසික ආබාධිත තත්ත්වයන්ටද අනාගතයේදී සමාජයට හානිදායක පුරවැසියන් බවට පත්වේ.
“යාවිධ භරියා වධකාති වුච්චති
චෞරී ච අය්යාති ච යා පවුච්චති
දුස්සීල රූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා නිරයං වජන්ති තා”
දුශ්ශීල වූ, නපුරු වූ, හිමියාට අනදර කරන්නා වූ වධක භාර්යාව ය චෞරි භාර්යාව ය ආර්‍ය්‍ය භාර්යාව යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මේ ගාථාවෙන් දැක්වේ.
එසේම මෙවැනි භාර්යාවන් පිනට දහමට වුවද වැඩි කැමැත්තක් නොදක්වයි. එසේ කළොත් කරන්නේ ලෝකයට පෙන්වීම පිණිස හෝ තමා පිළිබඳව තමාම තුළ ඇති වරදකාරී හැගීමෙන් ගැලවීම පිණිසය. මෙවැනි කාන්තාවන්
ස්වාමිපුරුෂයන් පමණක් නොව දරුවන් කරන පින්කම් වලට වුවද නින්දා, අපහාස බාධාවන් කරන්නේ හුදෙක් තම තමන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට ය.
මහා පේෂකාර ප්‍රේත වස්තුව ට අනුව තමන්ගේ ස්වාමිපුරුෂයා දන්දෙන කල්හි “නුඹ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට යම් ආහාර පාන දානයක් දෙන ලද්දේ ද එම දානය නුඹට පරලොව දී මල මුත්‍ර ද සැරව හා ලේ ද වී පහළ වේවා. වස්ත්‍ර දිලිසෙන අයෝමය වස්ත්‍ර වේවා.” යි කීවා ය.
සේ දන්දුන් ස්වාමිපුරුෂයා පසු කලෙක මරණයට පත්ව වින්ධ්‍යා පර්වතය ආශ්රිත වනයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් ව උපන්නේ ය. එම පේෂකාරයාගේ මසුරු භාර්යාව මරණයට පත්ව එම රුක් දෙවියා වසන තැනට ආසන්න ස්ථානයක ප්‍රේතියක් ව උපත ලැබුවා ය.
ඒ ප්‍රේතිය නිර්වස්ත්‍ර ව, දුර්වර්ණ ව බඩගින්නෙන් සහ පිපාසයෙන් පීඩාවට පත්ව එම භූමාටු දෙවියා ළඟට ගොස් “ස්වාමීනී, මම වස්ත්‍රයක් ද නොමැතිව බලවත් කුසගින්නෙන් හා පිපාසයෙන් ඇවිදිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ද දුන මැනවි.” යි කී විට එම භූමාටු දිව්‍ය පුත්‍රයා ඇයට දිව්‍ය ආහාරපාන ලබා දුන්නේ ය. එම ආහාරපාන ප්‍රේතිය විසින් ලබාගත් සැණින්ම මල මුත්‍ර හා සැරව බවට පත්වෙයි.
දෙන ලද සළුව ද ඇය විසින් වැළඳ ගත් කල්හි දිලිසෙන යකඩ පටයක් බවට පත් වෙයි. ඒ ප්‍රේතිය මහත් දුක් විඳිමින් එම වස්ත්‍රය හැර දමා හඬමින් ඇවිදියි.
මාතෘසම භරියා
මීළඟට බුදුරජාණන් වහන්සේ සුබවාදී ගණයට වැටෙන භාර්යාවරුන් සිවු දෙනෙකු ගැන මේ සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. මෙයින් පළමුවෙන්ම පෙන්වා දී ඇත්තේ “මාතෘසම භරියා” ගණයට වැටෙන බිරින්දෑවරුන්ය. මොවුන් විසින් තම ස්වාමිපුරුෂයාට මවක් තම දරුවෙකුට කරන්නාක් මෙන් ආදරය සෙනෙහස දක්වති. එසේම ස්වාමිපුරුෂයා විසින් හරිහම්බ කරන වස්තුව ධනයද මැනවින් අරපරෙස්සමින් රකිමින් ක්‍රියා කරයි.
භගිනිභරියා
“භගිනිභරියා” ගණයට වැටෙන භාර්යාව ස්වාමිපුරුෂයා පිළිබඳව වැඩිමහල් සහෝදරෙකු යන හැඟීමෙන් ක්‍රියා කරයි. මොවුන් කිසි විටෙක නො ගැළපෙන, ලජ්ජා භය නැති වචන භාවිතා කරමින් කථා නොකරන අතර ප්‍රසිද්ධ ප්‍රියසම්භාෂණ වැනි අවස්ථාවලදී ස්වාමිපුරුෂයාට නො ගැළපෙන, සිත් රිදෙන කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී ස්වාමි පුරුෂයාටද ගෞරවයක්, නම්බුවක් ඇති වන ආකාරයෙන් ක්‍රියා කරයි. තම ස්වාමිපුුරුෂයා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බවක් දක්වයි.
සඛීභරියා
“සඛීභරියා” යන්නෙහි. 'සකී' යන පාලි වචනයේ තේරුම යෙහෙළිය, කළණ මිතුරිය යන්නයි. බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය සැමියා දැක සතුටු වෙයි, එම භාර්යාව පතිව්රතාව ද රැකගනිමින් කුලසිරිත් මැනවින් ආරක්ෂා කරමින් ක්‍රියා කරයි. ශීලාචාර ගතිපැවතුම් ඇති වේ.
දාසිභරියා
අවසාන වශයෙන් “දාසිභරියා” ගණයට වැටෙන භාර්යාව තම ස්වාමිපුරුෂයා පිළිබඳව ද දාසියක මෙන් කටයුතු කරයි. ස්වාමිපුරුෂයා අතින් තමන්ට වරදක් වුවද ඉවසයි. නොකිපේ. සමහර විට ධර්මානුකූලව ඒ දෙස උපේක්ෂාවෙන් බලයි .
මෙවැනි උතුම් බිරින්ඳැවරු පිළිබඳව
“යාවීධ මාතා භගිනි සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති.
සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා
කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”
ශීලයෙහි පිහිටියා වූ මෘතෘ භාර්යාව ය, භගිනි භාර්යාව ය, සඛී භාර්යාව ය, දාසි භාර්යාව යයි කියනු ලබන භාර්යාවෝ මරණින් මතු සුගතියට යන බව මේ ගාථාවෙන් දැක්වේ.
මෙවැනි උතුම් භාර්යාවන් වීම පහසු කටයුත්තක් නොවේ. නමුත් මෙවැනි උතුම් භාර්යාවන් හුදෙක් ඒ පිනෙන්ම ඉහළම දිව්‍යලෝකයක් වන නිම්මානරතියෙහි ඉපදෙන බව “අනුරුද්ධ මනාපකායික” සූත්රයේත් “උග්ගහ” සූත්රයේත් සඳහන් වේ.
ඡායාරූපය- අංජන ප්‍රදීප්
සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
පූජනීය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ