බුදු දහමේ කියැවෙන දුක තේරුම් ගන්නේ කොහොමද?

නොවැම්බර් 22, 2021

ඔබ නිතරම ධර්මය ඇසුරු කළත්, නොකළත්, ඔබට නිතරම අසන්නට ලැබෙන දෙයක් තමයි ”දුක” කියන වචනය. ඉපදීම දුකයි, ජීවිතය දුකයි, සංසාරය දුකයි යනුවෙන් විවිධාකාර වශයෙන් මේ දුක කියන වචනය ඔබට අසන්නට ලැබෙනවා ඇති. සමහරුන් මේ ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපැහැදීමට හේතුවක් වශයෙන් ද කියනුයේ.. මේ බුදු දහමේ දුක ගැන විතරමනෙ කියන්නෙ, ඔහොම පුළුවන්ද මේ ලෝකෙ ජීවත්වෙන්න” කියලා ය. එයට පිළිතුරක් ලෙස මෙම ලිපියෙන් ඔබට බුදු දහමේ දුක යන සංකල්පය සරලවම වටහාගැනීමට උපකාරයක් වනු ඇත.

අප විසින් සාමාන්‍යයෙන් දුක කියා කියන්නෙ කුමකටද? සරලවම ගතහොත් අපට අකැමැති යමක් සිදුවේනම් එය දුක කියා කිව හැක. අප පළමුව සැප යනු කුමක්ද කියා තෝරාගෙන සිටිමු. සැප යනු අපි කැමැති ,අපට ප්‍රියමනාප රූප,ශබ්ද , ගන්ධ, රස, පහස සහ සිතට එන අරමුණු කියා ගත හැකියි. එය එසේ කිව හැක්කේ එම ප්‍රියමනාප රූප, ශබ්ද ගන්ධ, රස, පහස සහ සිතට එන අරමුණු නිසා අපට ප්‍රබෝධයක් හට ගනී, අප විසින් එය සතුටින් රසවිඳි, එය යළි යළිත් ලබන්නට කැමැත්ත හටගනී. සැබැවින්ම මිනිසුන් මුදල් උපයන්නේ ද මේ සඳහා ය.

ඒ අනුව ගත්කල දුක යනු අපි අකැමැති, අපට අප්‍රිය රූප,ශබ්ද ගන්ධ, රස, පහස සහ සිතට එන අරමුණු කියා ගත හැකියි. මේවා නිසා අපට අප්‍රිය සහගත හැගීමක් , මලානික බවක්, විස්සෝපයක් හට ගනී, අප විසින් එය අකැමැත්තෙන්, ගැටුණු සිතින් යුක්තව විඳි. එය යළි යළිත් ලබන්නට සිහිනෙන් හෝ කැමැත්තක් හට නොගනී.

දුක යන්න විග්‍රහ කර ගැනීමට අප හට පටිච්චසමුප්පාදය අධ්‍යයනය කරීමෙන් එය බොහෝ දුරකට විසඳා ගත හැකියි. ඔබ අසා ඇති එහි සලායතන පච්චයා ඵස්ස. ඵස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා උපාදාන කියා තිබෙනවා. අප එහිදී සලායතන යනු සත්ත්වයන්ට හිමි ආයතන 6යි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන 6 යි. සියලූම සත්ත්වයන්ට ‍ෙම් ආයතන 6 අඩු වැඩි වශයෙන් කර්මානුරූපව පිහිටයි. සලායතන පච්චයා ඵස්ස යනු එම ආයතනයන්ට අරමුණු ගෝචර වීමය.

එනම් උදාහරණයක් ලෙස අප ඇස ගතහොත් ඇසට අරමුණක් ගෝචර වීමට ඇසත්, රූපයත්, විඤ්ඤාණය එක් විය යුතුය. විඤ්ඤාණය යනු ඉතා ගැඹුරු සංකල්පයක් වුවද මෙහිදී පාඨකයන්ගේ වටහාගැනීමට පහසුව පිණිස සිත ක්‍රියාත්මක වීම ලෙස ගමු. එය පැහැදිලි කිරීමට උදාහරණයක් ලෙස ඔබ ටෙලිනාට්‍යයක් බලමින් සිටිනවා යැයි සිතමු. ඔබ එම නාට්‍යය බලමින් සිටියදී වෙනත් දෙයක් පිළිබදව කල්පනා කරමින් සිටියහොත් ඔබට නාට්‍යයේ පෙන්වූ දේවල් පිළිබඳව යළි කිව හැකිද? නොහැකියි නේද? මන්ද යත් ඔබගේ සිත නාට්‍යයේ නොතිබූ බැවිනි. නමුත් ඇසත් තිබුණේය. රූපයත් තිබුණේය. නමුත් සිදුවූයේ කුමක්ද? ඔබේ විඤ්ඤාණය ඇසේ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවීම නිසා එම අරමුණ ඔබට ගෝචර නොවුණි. එසේ ඵස්සය නිසා ගෝචර වූ අරමුණ නිසා විදීමක් හට ගනී. එය එක්කෝ සැප සහගත විඳීමක්ය. නැත්නම් දුක් සහගත විඳීමක්ය. නැත්නම් සැපත් නැති දුකත් නැති උපේක්ෂා සහගත විඳීමක්ය. එම සැප හෝ දුක හෝ උපේක්ෂා විඳීමට තණ්හාව හටගනීම වේදනා පච්චයා තණ්හා කියා කියයි.

දුකට හේතුව තණ්හාව කියා අසා තිබුණාට බොහෝ දෙනකුට එය අර්ථ විග්‍රහ කර ගැනීමට නොහැකි වී ඇත. තණ්හාව යනු ” සතුට සොම්නස ලබා දෙන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට, අරමුණට සිත ඇදී යාමයි”.

එය එසේ සිදු නොවෙද්දී එනම් යමකින් දුකක් දොම්නසක් හටගතහොත් එම අරමුණට ගැටීම ද මෙම තණ්හාවම නිසා සිදු වේ. එම සතුට සොම්නස දෙන අරමුණට ඇලීමත්, නැත්නම් දුක දොම්නස දෙන අරමුණට හිත ගැටී යාමත් නිසා එම අරමුණ තදින් අල්ලා ගැනීම තණ්හා පච්චයා උපාදාන යැයි කියනු ලබේ. උදාහරණයක් ලෙස ඔබ කඩවසම් පිරිමියකු දුටුවා යයි සිතමු. ඵස්ස පච්චයා වේදනා අනුව එම රූපය ඔබට ප්‍රිය මනාප රූපයකි. එම විඳීම සතුට සොම්නස ඇතිකරදෙන දෙන නිසා එය යළි යළිත් විඳීමට ඔබට ආසාවක් හටගනී. එය වේදනා පච්චයා තණ්හා වේ. පසුව ඔබ එම තැනැත්තාව ඔබේ ජීවන සහකරු කර ගැනීමට සිහින මවයි, උත්සාහා කරයි. ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කරයි. තණ්හා පච්චයා උපාදාන යනු එයයි.

ලෝක සත්ත්වයා විඳින සියලු දුක්ඛ දෝමනස්සයන්ට හේතුව ඇත්තේ මෙතැනය. එනම් අප උපන් දා සිට අපට ඇත්තේ මෙම සතුට සොම්නස ඇතිකර දෙන අරමුණු හඹා යාමකි. ඒවාට හසුවීමකි. අප කුඩා දරුවකුව සිටිය දී අප කැමැති වන්නේ යහපත් මව්පියන්, සහෝදර සහෝදරියන් , ගුරුවරු, පාසලක්, කල්‍යාණ මිත්‍රයන් පිරිසක් විභාග සමත් වීම වැනි දේය. එ්වා ඒ අයුරින්ම සිදු වුවහොත් නම් හොඳය. නමුත් මෙයින් එකක් හෝ නිසි පරිදි නොවුණහොත් එයින් එන බලපෑම ජීවිතාන්තය දක්වාම පැවැතිය හැක.

ඉහත සියල්ලම හොඳින් සිදුවුණාය කියා සිතමු. නමුත් ජීවිත යාත්‍රාව තවමත් අවසන් නැත. ඔබ තරුණ කාලයට පැමිණියහොත් අවශ්‍යතා සහ වුවමනා තව තවත් සංකීර්ණ වන්නේ ය. හොඳ රැකියාවක්, ඉහළ වැටුපක්, සුන්දර රූ සපුවක්, හොඳ ජීවන සහකරුවෙක්, දරුවන්, බලාපොරොත්තු වේ. මේවායින් එකක් හෝ හරියාකාරව සිදු නොවුණහොත් ඔබගේ ජීවිතයම වුවද කඩා වැටේ. රැකියාව, විවාහය, දරුවන් වැනි කාරණා සම්බන්ධයෙන් ගත් කල ඒවායින් එකක් හෝ අසාර්ථක වුවහොත් ඔබට සමාජයෙන් පවා එල්ලවන පීඩනය සුළුපටු නොවේ.

මවක් වශයෙන් ජීවිතය පටන් ගත් කල්හි ද ඇත්තේ තවත් පෙර මෙන්ම සංකීර්ණ අවශ්‍යතා සහ වුවමනා සමූහයකි. මන්ද ඔබේ මුළු ජීවිතය ම ඇත්තේ ඔබේ දරුවන් සහ පවුල මත කියා කිවහොත් එහි වරදක් නැත. ඔබේ දරුවන්ගෙන් ඔවුන් හොඳට ඉගෙන ගැනීමත්, කීකරු වීමත්, ගුණයහපත් වීමත්, හැකිනම් අන් අය අභිභවා ඉහළට යාමත්, හොඳ රැකියාවක් හෝ ඉහළ ආදායම් මාර්ගයක්, දරුවන්ට හොඳ විවාහයක් මෙන්ම අවසානයේ ඔබ වයසට ගිය පසු දරුවන්ට කළාක් මෙන් ඔවුන් ඔබවද ආදරයෙන් රැක බලා ගැනීම වැනි දේ බලාපොරොත්තු වේ.

නිකමට හෝ මේවායෙන් එකක් හෝ ඒ අයුරින් සිදු නොවුණහොත් ඔබගේ ජීවිතය මිහිපිට අපායක් මෙන් විය හැකියි. මෙයින් අවසානයට කියූ දරුවන් විසින් ඔබලාව වියපත් වූ පසු හොදින් බලා ගැනීම හෝ හරියට සිදු නොවුණහොත් ඔබට සිදුවිය හැකි ඉරණම මහලු නිවාසයකට ගොස් එහි සිටින මව්පියන්ගේ මුහුණ දෙස බැලුවහොත් ඔබලාට හොඳාකාරවම වටහා ගත හැකි වනු ඇත.

සියල්ල සිතූ අයුරින්ම හොඳින් ම සිදුවුවහොත් ඔබ මියයන දින ඒ සියල්ලෙන් වෙන් වීමට ඔබට කිසිසේත්ම හිත හදා ගැනීමටනම් නොහැකි වනු ඇත. ඔබ මියගිය පසු ප්‍රේතයෙක් වී යළි නිවසට පැමිණියහොත් එදාට ඔබේ ප්‍රියයන්ට ඔබ එදා සිටි කෙනා නොවේ. ඔවුන් නිසැකවම ශාන්තිකර්මයක් කර හෝ ඔබව නිවසින් පන්නා දමනු ඇත. නැත්නම් බෝතලයකට හිරකර මුහුදේ දමනු ඇත.

මෙයින් අප හට පෙනෙන්නේ අපගේ මුළු ජීවිතයම ඇත්තේ දුක හා බද්ධ වී බවයි. නමුත් මෙවැනි ජීවිතයක් උරුම වී ඇති අප විසින් කළ යුත්තේ කුමක්ද? ජීවිතයෙන් පලා යාමද? නැත. අප කළ යුත්තේ මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ජීවත් වීමය. උදාහරණයක් ලෙස ඔබේ ජීවිතයේ ඔබ වැඩියෙන්ම ආදරය කරන තැනැත්තාට පිළිකාවක් බවත් තව මාස 5 කින් ඔහු හෝ ඇය මිය යනවා කියා ඔබට කිවහොත් ඔබ ඒ වෙලේදී හඬයි, වැලපෙයි, ශෝක කරයි, නමුත් දිනපතාම වගේ රෝහලට ගොස් ඔහුගේ සුවදුක් විමසමින් මාස 5 ගත වී බලාපොරොත්තු වූ ලෙස මියගියහොත් ඔබ එදාට පළමු දින මෙන් නොහඬනු ඇත.

මන්දයත් මෙය මෙසේ වන බව ඔබ දැන සිටි බැවිනි. ජීවිතය පිළිබඳව ද මෙසේ යථාර්ථය අවබෝධ කරගෙන සිටියහොත් ජීවිතයේ ස්වභාවයෙන්ම උරුම වී ඇති දුකටද ඔබහට මුහුණ දීමට ශක්තිය ලැබෙනු ඇත.

ඔබ තේරුම් ගත යුත්තේ ඔබට ලැබුණ ජීවිතය මොනම ආකාරයක ජීවිතයක් වුණත් එයට අවබෝධයෙන් මුහුණ දිය යුතුය. පෙර සංසාරයේ අකුසලයකට, ලැබුණ ජීවිතයේ ඔබ දුකට නම් පත්ව ඇත්තේ හැකි අයුරින් කුසල කර්මවල යෙදෙමින් අකුසල කර්ම යටපත් කරගන්න මහන්සි වෙන්න. එවිට නැවත ලැබෙන ජීවිතය, මේ යන භව ගමනේදී සැපවත් ජීවිතයක් උරුම කර දේවී.

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

අනුශාසනාව

පූජනීය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ