සම්මත විවාහයෙන් පීඩාවට පත්වෙද්දී අසම්මත සම්බන්ධතාවනට යොමු වන්න එපා

නොවැම්බර් 15, 2021

 

ගිහි හෝ පැවිදි හෝ බෞද්ධයාගේ අරමුණ නිර්වාණයයි බෞද්ධ සාහිත්‍ය තුළ පැවිද්දා හංසයකුටත්, ගිහියා මොණරකුටත් උපමා කොට දැක්වෙයි. හංසයාට වර්ණ ආටෝප නැත. පිල්බර ද නැත. එයින් සැහැල්ලු වේගවත් බව හංසයාට ලැබී තිබේ. එසේම පැවිද්දා ද උතුම් සැනසීම කරා වේගයෙන් හා සැහැල්ලුවෙන් ගමන් කරයි. මොණරා වර්ණවත්ය.බර පිල්කලඹක් ද තිබේ. ඒ බර උසුලාගෙනද යා යුතු බැවින් මොණරාගෙ වේගය හංසයාට වඩා බොහෝ අඩුය. එසේම නිවන කරායන ගිහියාට ආදරය, ප්‍රේමය ,විවාහය, දූ දරු බැඳීම්, යුතුකම්,වගකීම් ආදී බොහෝ බරක් දරාගෙන ඒ ගමන යන්නට සිදුවී තිබේ.

 

ගිහි තාරුණ්‍යයේ සොඳුරුතම ඉඩක් ආදරයට ලැබී තිබේ. බොහෝවිට දෙදෙනකු අතර වූ ආදරයේ කෙළවර විවාහය වෙයි. කිසිලෙසකවත් ආදරය යනු විවාහයෙන් කෙළවර වියයුතු දෙයක් නොවන අතර එය විවාහයෙන් පසු වඩාත් අර්ථවත් වියයුතු වන්නකි. ආදරය යන්නට අවබෝධය එකතු නොවූ තැන, සැබෑ ආදරය කුමක්දැයි වටහා නොගත්කල සම්මත විවාහය ඉතා පීඩාකාරී එකක් බවට පත්වේ. එවිට සමහර විවාහකයින් විවාහයෙන් නොලැබූ තෘප්තිය අසම්මත සබඳතාවලින් සොයන්නට පෙළඹී වඩාත් පීඩාවට හා අසරණ බවට පත්වෙති.

විවාහ වර්ග හතරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබේ. ඒවානම්

 

1. ඡවො ඡවාය සද්ධිං සංවසති.

2. ඡවො දෙවියා සද්ධිං සංවසති.

3.දෙවො ඡවාය සද්ධිං සංවසති.

4. දෙවො දෙවියා සද්ධිං සංවසති.

 

යන යුග දිවි සතරයි.

මෙහි පළමුවැන්න වන "ඡවො ඡවාය සද්ධිං සංවසති" යන්නෙන් අදහස් කෙරෙන්නෙ පංච දුෂ්චරිතයෙහි යෙදෙන ගුණහීන පුරුෂයෙක් එවැනිම ගුණහීන ස්ත්‍රියක් සමඟ වාසය කිරීමයි. එය මළ පුරුෂයෙක් මළ ස්ත්‍රියක් සමඟ එක්ව විසීමකට උපමා කොටතිබේ. ඒ ජීවිතය තුළ සජීවි,සප්‍රාණී තෘප්තිමත් බවක් කිසික‍ෙලක නැති බැවිනි.

දෙවැන්න වූ "ඡවො දෙවියා සද්ධිං සංවසති " යනු දුෂ්චරිතවත් පුරුෂයකු සුචරිතවත් ගුණ සම්පන්න ස්ත්‍රියක් සමග ජීවත් වීමයි. එය මළ පුරුෂයෙක් දෙවඟනක හා වාසය කිරීමකට උපමා කොටතිබේ. එය නොගැළපෙන විවාහයකි.

තෙවැන්න වූ "දෙවො ඡවාය සද්ධිං සංවසති " යන්නෙන් අදහස් වන්නෙ සුචරිතවත් ගුණ සම්පන්න පුරුෂයෙකු සමග දුෂ්චරිතවත් ස්ත්‍රියෙකු ජීවත් වීමයි. එය දෙවියකු මළ ස්ත්‍රියක් සමඟ එක්ව විසීමකට උපමා කොට ඇති අතර එය ද නොගැළපෙන විවාහයකි.

හතරවැනි යුගදිවිය වූ "දෙවො දෙවියා සද්ධිං සංවසති" යනු සුචරිතවත් ගුණ සම්පන්න පුරුෂයකු එවැනිම ගුණ සම්පන්න ස්ත්‍රියක් සමග ජීවත් වීමයි. එය දෙවියකු දෙවඟනක හා එක්ව විසීමට උපමාකොට තිබේ.

මේ යුගදිවි අතර සතරවැනි යුග දිවිය ඉතා සාර්ථක දෙලොවම සුව පිරුණු උසස් යුගදිවියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහියාට උපදෙස් දෙන්නේ එවැනි වූ තෘප්තිමත් යුගදිවියක් සඳහායි.

නමුත් තමතමන්ගේ වරදින් හෝ දෙමාපියන්ගේ අදූරදර්ශී බවින් හෝ කිසියම් හේතුවක් නිසා සමහරුන්ට ලැබෙන්නෙ නොගැළපෙන විවාහයකි. ඒ නිසා දෙදෙනාම හෝ එක් අයෙක් යුගදිවිය තුළ වඩාත් දුකට පත්වෙනු දැකිය හැකිය. කුමන කරුණක් භෞතිකව අපට පෙනුනද නොගැළපෙන අයෙකු සමඟ දිවිගෙවන්නට වීම තුළ බොහෝ විට පූර්ව අකුසල කර්ම විපාක ද තිබෙන්නට පුලුවන. සමහර විට අද විවාහයෙන් පීඩා විඳින ඔබ සසරේ පෙර භවයක එවැනිම පීඩාවක් අනෙකාට හිමිකරදුන් අයකු වන්නට බොහෝ ඉඩ ඇත.

අකුසල කර්මයන්ගේ විපාක ලැබී අප දුකට පත් වූ විට, ඒ පීඩාව මත පිහිටා අසම්මත මඟක් ගෙන තවත් අකුසල් රැස් නොකළ යුතුය. එය අනාගත ආදීනව බොහෝමයකට හේතුවන බැවිනි. දෙමාපියන්ගේ අසම්මත සබඳතාවල ප්‍රතිඵල නිසා අහිංසක දූ දරුවන් අපමණ පීඩාවට හා අසරණ භාවයට පත්වන අයුරු අපි බොහෝ දැක ඇත්තෙමු. ගෙදර බුදුන් යැයි සැලකෙන මව් පිය පදවි කෙළෙසීමට කිසිලෙසකත් ඉඩ නොතැබිය යුතුය. පුරුෂයා ලෝකයේ ආදරණීයම සැමියා සේම දයාබර ම පියා වීමටත්, ස්ත්‍රිය ආදරණීය ම බිරිඳ සේම දයාබර ම මව වීමටත් අදිටන් කළ යුතුය.

සැමියාගේ වැරැදි නිසා සමහර බිරින්දෑවරුත් , බිරිඳගේ වැරැදි නිසා සමහර ස්වාමිපුරුෂයනුත් තම දරුවන්ටත් වස දී තමනුත් දිවිනසා ගන්නා පුවත් අපට අසන්නට ලැබේ. සමහරු එකිනෙකා මරා දමති. මේවා අසම්මත සබඳතාවල ආදීනව ය. ඝාතනය හෝ දිවිනසා ගැනීම ජීවිතයේ ප්‍රශ්නවලට පිළිතුරක් නො වන්නේ මරණයෙන් සියල්ල අවසන් නොවන බැවිනි. නැවත නැවත කර්ම රැස්කරන අප සසර දුක් විඳීමට පුනර්භවයට පත්වේ.

ඔබ මේ වන විටත් සම්මත විවාහයෙන් පීඩාවට පත්වන කෙනෙක් නම් නැවත සසර එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙසට ධර්මානුකූල දිවියක් ගතකිරීමට අදිටන් කරගත යුතුය.

ඔබ තවමත් විවාහ නොවූ කෙනෙක් නම් , ආදරය කරන හෝ ආදරය කරන්නට බලාපොරොත්තු වන අයකු නම් ඔබට ගැළපෙනම සහකරු හෝ සහකරුවා තෝරාගැනීමට වඩාත් සැලකිලිමත් වන්න.

ගිහි ජීවිතයේ ප්‍රධානම සන්ධිස්ථානයක් වන්නේ විවාහයයි. එයට ඔබගේ මුලු අනාගතයම අපායක් හෝ දෙව්ලොවක් බවට පත්කරන්නට හැකියාවක් තිබේ. තාවකාලික හුදු ආකරෂණය සැබෑ ආදරය යැයි වරදවා වටහා නොගන්න.

විවාහ වීමට පෙර එකිනෙකාගේ ආකල්ප, අදහස්, සිතිවිලි හා චරිත ලක්ෂණ ඉතා හොඳින් අවබෝධ කරගන්නට වෙරදරන්න. ඔහු හෝ ඇය සමඟ ජීවන ගමන වඩාත් සුවදායීව ගතකරන්නට තරම් සහයෝගයක් ලැබේ දැයි සිතන්න.

බොහෝ දෙනා සිතන පරිදි විවාහ වීම යනු අයෙක් අයකුට වහලකු බවට පත්වීම නොවේ. ජීවිතයෙහි ජීවන බර , සැපදුක ආදිය සහයෝගයෙන් දරමින් එකිනෙකා කෙරෙහි පරිත්‍යාගයෙන් යුතුව විසීම විවාහය වන අතර එහි බන්ධනය වන්නේ පිවිතුරු වූ ආදරය මිස නීතිමය බැඳීමක් නම් නොවේ.

ලොව්තුරා බුදුරජාණන් ජීවමාන කාලයේ පරම විස්වාසිකා යන තනතුරෙන් පිදුම් ලැබූ පෙම් යුවළක් විසීය. නකුල නමින් පුතකු ලැබුණු බැවින් ඔවුන් දෙදෙනා පසුකාලීනව නකුල මාතා සහ නකුල පිතා වශයෙන් හැඳින්විණි.

දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවෙහි නකුලපිතා පැවසූයේ තම බිරිඳ කෙරෙහි පමණක්ම සැමදා ආදරය කළ බවත්, සිහිනෙන් හෝ අන් ස්ත්‍රියක නොපැතූ බවත් , අනාගත උපතේදී ද ඇයවම පතන බවත් ය.

නකුලමාතාවද පැවසූයේ එවැනිම අදහසකි. වියපත් වූ ඒ දෙදෙනා තුරුණු වියේ දී මෙන්ම ඉතාමත් ආදරයෙන් ද එකිනෙකා ගැන අවබෝධයෙන් ද ජීවත් විය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ සැබෑ ආදරයට ප්‍රශංසා කොට අනාගත සසරදීත් නැවත හමුවන්නට නම් කරුණු සතරක් දෙදෙනා අතර තිබිය යුතු බව දේශනා කළ සේක.

 

1. දෙදෙනා තුළම සමාන ශ්‍රද්ධාවක් තිබීම.

2. දෙදෙනා තුළම සදාචාරවත් බව (සමාන සීලය) තිබීම.

3. දෙදෙනා තුළම සමාන පරිත්‍යාගයක් තිබීම.

4. දෙදෙනා තුළම සමාන අවබෝධයක් තිබීම.

 

යනු ඒ සතරයි.

ඒ කරුණු සතරින් යුතු දෙදෙනකුගේ යුගදිවිය සැනසුම සෞභාග්‍යය පිරුණු යුග දිවියකි.

ඔබ බිරිඳක් නම් සැමියාගෙන් දයාබරත්වය සොයනවාට වඩා ඔබ දයාබර බුද්ධිමත් පරිත්‍යාගශීලී කැපකිරීම් කරන බිරිඳක් වන්නට වෙර දරන්න.

ඔබ සැමියෙක් නම් හොඳ බිරිඳක් බලාපොරොත්තු වනවාට වඩා දයාබරිත, පරිත්‍යාගශීලී සැමියෙකු වීමට වෙරදරන්න.

 

කිසිවිටෙක අනතිචරියාවෙහි නො යෙදෙන්න. ලෞකික ආශාවන්ට වහල්ව මෙලොව පරලොව දෙකම දුකට පත් නොවන්න. ජීවිතය අපායක් කර නොගන්න. අනෙකා කොතරම් වැරැදි කළත් තමන් හිතට එකඟව ධර්මානුකූලව ආදර්ශමත් ජීවිතයක් ගතකරන්නට සිතට ගන්න. එවිට සැනසීම සෞභාග්‍යය ඔබ වෙත ළඟාවනු ඇත.

 

 

 

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

 

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.