වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බිම්බා දේවි හෙවත් යසෝධරා
බිම්බා දේවි රාහුල මාතා යනාදී විවිධාකාර නාමයන්ගෙන් හඳුන්වන්නා වූද, ගෞතම බුද්ධ ශාසනය තුළ පිහිට, රැකවරණය සොයනා සෑම කෙනෙක් ගේම ඉමහත් ගෞරවාදරයට පත්වූ ඒ උතුම් වීර කාන්තාව යසෝධරා නම් වේ. තුසිත දෙව්ලොව ද අප මහා බෝසතුන්ගේ අග බිසව වූයේ ඇයයි.
අප බෝසතාණෝ දේව ආරාධනා ලබා සුද්ධෝදන රජතුමාට දාව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත් කල ඇය ද තුසිත දෙව්ලොවින් චුතව කෝළිය නුවර රජකම් කළ සුප්‍රබුද්ධ රජතුමාගේ අග මෙහෙසිය වූ අමිතා නම් බිසවගේ කුස පිළිසිඳ ගත්තාය. අමිතා දේවිය සුදොවුන් රජුගේ නැගණියයි. බෝසතුන් මව්කුසින් බිහි වූ එම වෙසක් පෝ දින එම මොහොතේම ඇය ද විසා නැකැතින් මෙලොව උපත ලැබුවා ය. රනින් අඹන ලද රූපයකට සමාන වූ හෙයින් " බිම්බා" යැයි නම් ලැබීය. වරෙක ඇය රාහුල මාතාව වූවාය. ඇයම ගෞතම බුදු සසුනේ රහත් තෙරණියක වූ පසු භද්දාකච්චායනා තෙරණිය ලෙස සුපතළ වූවාය. ඇයගේ සංසාර ගමන ගත් කල්හි ඇය වැනි කාන්තාවක් මේ ලොව සිටිය හැකිදැයි යන කාරණය පවා සිතාගැනීමටත් අපහසු ය.
ඛුද්‌දක නිකායේ අපදාන පාලියේ භික්ඛූනී අපදානයේ කුණ්‌ඩලකෙසී වර්ගයේ යසොධරා ථෙරී අපදානය අධ්‍යයනය කළ අයකුට යශෝධරා උත්තමාවියගේ ආනුභාවය පිළිබඳව මනා වැටහීමක් ලබා ගත හැකි වේ.
වරක් යශෝධරා ථෙරණින් වහන්සේට මෙසේ සිතුණි. සුද්ධෝදන රජු ද, මහා ප්‍රජාපතී ථෙරණියෝ ද, ප්‍රසිද්ධ මහ ථෙරවරුන් ද, මහත් සෘද්ධි ඇති තෙරණියෝ ද පහන්සිළු (තෙල් රහිත) සෙයින් පිරිනිවන් පා ඇත. බුදුරජුන් වැඩ සිටි කල්හිම මම ද පිරිනිවන් පෑ යුතු බව සිතා තමාගේ ආයුෂ අවසන් වීමට ආසන්න බව දැන සිය ගණන් දහස් ගණන් භික්‍ෂුණීන් විසින් පෙරටු කර බුදුරජාණන් වහන්සේ මුණගැසී වන්දනා කොට එකත් පසෙක හිඳ
“මා හට දැන් වයස හැත්තෑ අටක් ය. ශරීරය බොහෝ දුර්වලය. මම ඔබ වහන්සේව හැර දමා යන්නෙමි.”
“මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්වාණයට පැමිණෙන්නෙමි. ඉදින් මාගේ වරදක් ඇත්නම්, සසරෙහි හෝ වරදක් සිදු වී ඇත්නම් මුනීන්‍ද්‍රයන් වහන්ස ක්‍ෂමා කරන සේක්වා” යි වදාළ සේක.
“යශෝධරා දේවියනි, රාහුල මාතාවනි., අසූමහාසව්වෝ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ආහ. අගසව්වෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ආහ. ඔබ වනාහී දුර්ලභ රත්නයකි. ඔබ සාරාසංඛ්‍ය කල්පයක් මුළුල්ලෙහි ම මා සමඟ පාරමී පුරමින් පැමිණි ගමන සියල්ලෝ ම දැන ගත යුතුය. එය පැවසීමෙන් සිදුවන්නේ යහපතක්ම ය. " පිරිනිවන් පෑමට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා ගැනීමට පැමිණි යසෝධරා මෙහෙණින් වහන්සේ හට බුදුහිමි එසේ පවසා සිටින ලදී.
එවිට තෙරණියෝ මෙසේ වදාළ සේක.
“ගිහිගෙයි ඔබ වහන්සේගේ සයානූ දහසක් ස්ත්‍රීන් අතුරෙන්, සියල්ලනට අධිපතිවූ, ප්‍රමුඛ තැනැත්තිය මම වීමි. කාම ලෝකයේ ද, රූප ධාතුවෙහි ද බුදුරජුන්ට හැර, රූපයෙන් මා හා සමාන වූයෙක් නැත.
මෙසේ යශෝධරා තොමෝ බුදුරජුන්ගේ අනුදැනීමෙන් අහසට නැඟී නොයෙක් ඎධීන් දැක්වූ ය.
“චක්‍රවාටය සමවූ කය ද, උතුරුකුරු දිවයින සමවූ හිස ද, දෙදිවයින් සමවූ දෙපියාපත් ද, සිරුරින් දඹදිව ද, (මොණර) පිල දකුණු සයුර ද, කුඩා පිහාටු නොයෙක් අතු ද, සඳ හිරු ඇස් ද, මේරු පර්වතයෙන් ශිඛාව ද, චක්‍රවාට පර්වතය තුඩ ද කොට, මුල් සහිත වූ දඹරුක කම්පනය කරන්නී, බුදුරජුන් වන්දනා කළාය.
ඇත් වේශය ද, එසේම අශ්ව, පර්‍වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්වතය, ශක්‍ර වේශය දැක්වූය.
වීරයන් වහන්ස, මම යසෝධරා වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමියි කියමින් දහසක් ලෝක ධාතුව පිපි පියුමකින් වැසූවේ ය. බ්‍රක්ම වෙසක් මවාගෙන නිර්වාණ ධර්මය දෙසූවේය.
මහා මුනීන් වහන්ස, ඎධීන්හි ද, දිව්‍ය ශ්‍රෝතධාතු ඥානය, පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසුදු කරන ලදී. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත. මේ සියල්ල ඔබවහන්සේ නිසාම ලබා ගත්තා ය.
මුනීන්‍ද්‍රයන් වහන්ස !, ඔබ වහන්සේ සඳහා මා කළ පින්කම් බොහෝය.
නුසුදුසු තැන් අත්හැර, අනාචාරයෙන් වැළකී, ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදි. කෝටි දහස් ගණන් ජීවිතවලදී මාව අන් පිරිමින්ට පරිවාර ස්ත්‍රීයක් ලෙස, දාසියක් ලෙසත්, යක්‍ෂ රාක්‍ෂසාදීන්ට ආහාර සඳහා දී ඇත. එය මා ඉවසුවේ ඔබ වහන්සේ උදෙසාය.
කෝටි දහස් ගණන් ජීවිතවල දී ඔබ වහන්සේගේ ජීවිතය මුදවීමට සිංහ ව්‍යාඝ්‍රාදීන් හට බිලිවුණෙමි. නානාවිධ අලංකාර වස්ත්‍ර ද, බොහෝ ස්ත්‍රී ආභරණ ද ඔබවහන්සේ දන් දෙද් දී මම නොසැඟවුයෙමි. ධන ධාන්‍ය, ගම්, නියම් ගම්, කෙත්, පුත් හා දූවරුන් ද අනන්තවූ ඇත්, අස්, ගව යන මොවුහු ද, පිරිවර දාසියෝ ද, ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී. දානයට හැකි පමණ උපකාර කළෙමි. සසරේ අනන්ත දුක් ඔබවහන්සේ උදෙසා වින්දෙමි. සැපේදීත්, දුකේදීත් සමව උපේක්ෂෙවෙන් සිටියෙමි.
එදා දීපංකර පාදමූලයේ දී නියත විවරණ ගත් මොහොතේ මා අත තිබූ උපුල් මල් අට මිටෙන් තුන් මිටක් ඔබවහන්සේට දී පස් මිටක් දීපංකර බුදුරජුන්ට දී ඔබවහන්සේව පැතීය. එය එසේම වනබවට දීපංකර බුදුරජුන් එවෙලේ විවරණ දුන්නේය.
දෙවි මිනිස් දෙගතියෙහි අපමණ සැප
අනුභවකොට, මේ භවයෙහි ඉපිද
ගිහිගෙයින් නික්ම පැවිදි වී සිව්පසය
සාගරයේ රැලි එන්නාක් මෙන් අඩමසකින්
උතුම් අර්හත්වය සාක්ෂාත් කර ගත්තේ ය. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමොක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. ඒ සියල්ලම ඔබ වහන්සේගේ සසුනේදීම සම්පූර්ණ කරන ලදී.
මෙසේ අධ්‍යයනය කරන කල්හි වටහා ගත හැකි කරුණක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වය උදෙසා පාරමිතා පුරද්දී සමහරුන් හට මහාකල්ප අසංකෙයිය අටකුත්, කල්ප ලක්ෂයකුත් පෙරුම් පිරීමටත්, සමහරුන්ට මහා කල්ප අසංකෙයිය දාසයකුත් කල්ප ලක්ෂයකුත් පෙරුම් පිරීමට සිදුවේ. නමුත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරුම් පිරුවේ මහා කල්ප අසංකෙයිය හතරකුත් තව කල්ප ලක්ෂයක් පමණි. මෙවැනි ආකාරයේ බුදුවරුන් දුර්ලභය. සැබැවින්ම මෙසේ කෙටි කාලයකින් දසපාරමිතා බුද්ධත්වය උදෙසා සම්පූර්ණ කිරීමට හැකි වූයේ අපගේ යසෝධරා උත්තමාවියගේ අනන්ත කැපවීම උදෙසාම ය. ඇය බෝසතාණන් වහන්සේගේ පාරමිතාවන්ට හැකි පමණ උපකාර කර ඇත.
මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ පල වේ
සම්බන්ධීකරණය -මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ