වසර සියයක් ගත වුණත් ඉතාමත් හොඳ අස්වැන්නක් ලබාගන්නට හැකියි

සාදික්කා වගාවක් අරඹා අතමිට සරු කර ගන්න
ජූලි 21, 2021

 

නීරෝගි පැළ තෝරා ගත යුතුයි

 

අපේ ආහාර රසවත් කරනා දේශීය රසකාරක වර්ග බොහොමයකි. ඒ අතරින් සාදික්කා සහ වසාවාසි කියන්නේ එකම ඵලයකින් ලබාගත හැකි කුළුබඩු වර්ග දෙකක්. ඉතින් මුළුතැන්ගෙට අත්‍යවශ්‍ය මේ කුළුබඩු වර්ග දෙකම එකම ශාකයකින් ලබාගත හැකි වීම මොනතරම් නම් පහසුවක් ද ?

ඒ නිසා ඔබේ ගෙවත්තටත් සාදික්කා ශාකයක් එකතු කරගත යුතුමයි. මන්ද සාදික්කා යනු එදිනෙදා භාවිතයට වගේම ආර්ථික වශයෙනුත් ඉහළ ආදායමක් ලබාගත හැකි බෝගයකි.

පිළිගත් පැළ තවානකින් කුඩා සාදික්කා පැළ තෝරා ගැනීම වාගේම ඒවා සිටුවා ගැනීම සඳහා වගා මාධ්‍යය සකස් කිරීම පිළිබඳත් මේ වන විට ඔබ දැනුවත්. එබැවින් අද අපි සාදික්කා පැළ සිටුවීම සහ ඒවා ක්‍රමානුකූලව නඩත්තු කරන ආකාරය ගැනත් සොයා බලමු.

පැළ සිටුවීම

 

සාමාන්‍යයෙන් වර්ෂා කාලය ආරම්භ වූ පසුව ඔබට සාදික්කා පැළ සිටුවා ගත හැකියි. එහිදී කුඩා පැළයේ මුදුන් මුල නොකැඩෙන පරිද්දෙන් ඉතාමත් පරෙස්සමට පොලිතීන් කවරය ඉවත්කර පොළොව මට්ටමේම පැළය සිටුවා ගන්න. අනතුරුව පැළය වටේට කොළරොඩුවලින් වසුනක් දමන්න.

ළදරු පැළය ටිකෙන් ටික වර්ධනය වනවිට අවට හටගන්නා වල් පැළ ආදිය ද අතින් ගලවා පැළය මුලටම දමන්න. මන්ද ඒවා පැළයට වසුනක් හා හොඳ පොහොරක් බවට පත් වේවි. ඒ වාගේම සාදික්කා පැළයට හොඳින් සෙවණ ලැබෙනවාද කියා විමසිල්ලෙන් සිටින්නටත් අමතක කරන්න

එපා.ඔබ මේ පැළ සිටුවා ගැනීමට තෝරාගත් භූමිය බෑවුම් සහිත එකක් නම් පැළයේ සිට මීටර කාලක (0.25m) පමණ දුරක් වටේට වේදිකාවක් සේ සකස් කරගන්න. මේ වේදිකාව සකසා ගැනීමේ දී පැළය දෙසට තරමක් ආනතව සකසා ගන්න. ඉන්පසුව ශාකය වැඩෙද්දී මේ වේදිකාවත් ටිකෙන් ටික විශාල කරගන්න. එමඟින් ඔබට පැළයේ නඩත්තු කටයුතු සිදුකරද්දී වඩා පහසුවක් දැනේවි.

පොහොර සැපයීම

 

සාදික්කා පැළය සිටුවා මාස 6ක් ගතවූ පසුව අපට පළමු පොහොර යෙදීම සිදුකළ හැකියි. ඉන්පසුව දිගටම යල හා මහ වර්ෂා ආරම්භයත් සමඟම පොහොර යෙදීම සිදු කළ යුතුයි.

මෙහිදී පොහොර යෙදීම සිදු කළ යුත්තේ ශාකය වටේට කවයක ආකාරයෙනුයි.

කොයිතරම් ලොකු ගසක් වුණත් පොඩි ගසක් වුණත් පොහොර කවය ඔබටම තීරණය කරගත හැකිය.

ඔබ පළමුවෙන්ම ගසේ මුල ආසන්නයේ සිට අතු විහිදී ඇති සීමාව කොටස් හතරකට බෙදා ගන්න. එයින් මුලේ සිට කොටසකුත්, කෙළවරින් කොටසකුත් අත්හැරි විට ඉතිරි මැද තීරුව තමයි පොහොර එක් කිරීම සඳහා වඩාත් උචිත ප්‍රදේශය බවට පත් වන්නේ.

පැළය සිටුවා මාස 6ක් ගත වූ පසුව ලැබෙන පළමු මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟම ඔබට පළමු පොහොර යෙදීම සිදු කළ හැකියි.

එහිදී පළමු වසර තුළදී එක් පැළයකට කාබනික පොහොර එහෙමත් නැතිනම් කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 4ක් හා රොක්

පොස්පේට් ග්‍රෑම් 68ක් පමණ එක් කිරීම නිර්දේශිතයි.

පළමු මෝසම් වර්ෂාව හා දෙවැනි මෝසම් වර්ෂාව ආරම්භයේ දී මෙහි දක්වා

ඇති ප්‍රමාණයන් කොටස් දෙකකට බෙදා පොහොර කවයට මිශ්‍ර කරන්න. අනතුරුව ශාකය ක්‍රමයෙන් වර්ධනය වනවිට වසර දහයක් දක්වා අපි එක්කරන රොක් පොස්පේට් ප්‍රමාණයන් වසරෙන් වසර සමාන ප්‍රමාණයන්ගෙන් වැඩි කළ යුතුයි. උදාහරණයක් ලෙස දෙවැනි පොහොර යෙදීමේ වර්ෂයේ දී රොක් පොස්පේට් ග්‍රෑම් 136ක් එක් කළ යුතුයි. ඒ වගේම කාබනික පොහොර යෙදීමත් වසරක් හැර වසරක් ක්‍රමානුකූලව වැඩි කරන්න. එනම් දෙවැනි වසරේදීත් පළමු වසරේ යෙදූ කිලෝ

ග්‍රෑම් 4ක ප්‍රමාණයත් තෙවැනි හා සිව්වැනි වසර වලදී කිලෝ ග්‍රෑම් 6ක ප්‍රමාණයකුත් යෙදීම උචිතය.

වැඩුණු ගසක්

 

මේ ආකාරයට වසර දහයක් පමණ ඒකාකාරීව වර්ධනය වූ ශාකයක් අපි වැඩුණු සාදික්කා ගසක් ලෙස සලකනවා. එවැනි වැඩුණු ගසකට නම් අපි වසරකට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 20ක් හා රොක් පොස්ෆේට් ග්‍රෑම් 680ක් පමණ එක් කළ යුතුයි. යල කන්නයේ වර්ෂාව ආරම්භ වෙද්දී කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 10කුත් මහ කන්නයේ වර්ෂාව ආරම්භ වෙද්දී කිලෝ ග්‍රෑම් 10කුත් යෙදීම වඩා උචිතයි.

දසවස් සපිරුණු පසු ගසකට දිගටම මේ පොහොර ප්‍රමාණය එක් කරන්න පුළුවනි.

ඵල හටගැනීම

 

සාදික්කා බීජ පැළයක් නිසි ලෙස වර්ධනය වී ඵල හටගැනීමට අවුරුදු 5-7ත් අතර කාලයක් ගත වෙනවා. ඔබ සතුව පවතින්නේ අඩු ඉඩකඩක් සහිත ගෙවත්තක් නම් ඔබට වඩාත් සුදුසු වන්නේ බද්ධ සාදික්කා පැළයක් වගා කිරීමයි. මන්ද මේ බද්ධ කිරීම් සිදු කර ඇත්තේ බද්ධ සාදික්කා ගසෙහි පිරිමි මල් මෙන්ම ගැහැනු මල් ද එනම් මල් වර්ග දෙකම හටගන්නා ආකාරයටයි.

බද්ධ සාදික්කා පැළයක් වයස අවුරුදු 4-5ත් අතර කාලයකින් පීදෙනවා. එබැවින් එක් සාදික්කා පැළයක් පමණක් සිටුවීම ප්‍රමාණවත් වීමත්, කෙටි කාලයක් තුළ පීදීම සිදුවීමත් නිසා බද්ධ සාදික්කා පැළයක් වගා කිරීම වඩාත් වාසිදායකයි.

අස්වැන්න නෙළීම

 

හොඳින් මේරූ ඉදුණු සාදික්කා ගෙඩි ඔබට අස්වනු ලෙස නෙළා ගැනීමට පුළුවනි. අනතුරුව සාදික්කා ගෙඩියෙහි පිටත පොත්ත එහෙමත් නැතිනම් ලෙල්ල ඉවත්කර බීජ කටුවට ඇළුණු රතු පැහැති දැලක් වැනි වූ වසාවාසි කොටස ද තියුණු පිහි තුඩකින් ඉවත් කරන්න. ඉන්පසුව හිරු එළියේ මේ බීජ හොඳින් වියළා ගන්න. වෙන් කරගත් වසාවාසි කොටස් ද හොඳට ඇඟිලිවලින් තදකර පැතලි බවට පත්කර පැදුරක දමා වේලා ගන්න. මෙලෙස සකසා ගත් වසාවාසි කොටස් නම් තද හිරු එළියට නිරාවරණය නොකරන්නටත්

වගබලා ගත යුතුයි.

සාමාන්‍යයෙන් වසර 25ක් පමණ වයස ගතවූ සාදික්කා ශාකවලින් සාදික්කා ගෙඩි 8000-10000ත් අතර ප්‍රමාණයක් අස්වැන්න ලෙස ලබාගත හැකියි. එබැවින් නිවෙසේ පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි වෙන් කිරීමෙන් අනතුරුව නිසිලෙස සැකසූ ඉතිරි සාදික්කා අස්වැන්න විකුණා ගත හැකිය. එමගින් ඔබට ඉතාමත් පහසුවෙන් අතිරේක ආදායමක් ලබා ගැනීමටත් හැකියාව ලැබේවි.

වසර සියයක් ගත වුණත් ඉතාමත් හොඳ අස්වැන්නක් ලබාගන්නට හැකි වගාවක් වූ සාදික්කා මේ විදිහට වගා කළොත් ඔබට පමණක් නොවෙයි ඔබේ දරු

මුනුපුරන්ටත් ඒ රසයේ මිහිර විදින්නට හැකි බව අමතක කරන්නට එපා.