පොඩියට පටන් ගන්න ලොකු ගමනක් යන්න

මැහුම් කලාවේ නිම් වළලු සොයා යන චාරිකාව
දෙසැම්බර් 6, 2021

 

ඔබ සූදානම් නේද තරුණී මැහුම් ඉස්කෝලෙට බැඳිලා, ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්නට...? එය සැබැවින් ම සතුට, සැනසීම සඳහා ම වූ වන්දනා ගමනක් ම වනු නිසැකයි. සැදැහැ සිතින් අප හා එක් වන්න. ඔබගෙන් කිසිවක් කඩා වඩා ගැනීමේ කිසිදු යටි අරමුණක් නැහැ. එරංග රණසිංහයන් ගේ ව්‍යාපාර ලෝකයේ උදාන වාක්‍යය වන්නේ,

"මා ළඟ පාඨමාලා නැත. හැකියාවට රැකියාවක් ඇත."

යන්නය. මෙම ලිපි පෙළ ඔබගේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට නිසි මඟ පෙන්වීමක් මෙන්ම ප්‍රබල උත්තේජනයක් වනු නිසැකයි. තරුණී මැහුම් ඉස්කෝලෙට එකතු වෙලා නොදන්නා දේවල් දැනගන්නවා වගේම දන්නා දේවල් වඩාත් හොඳටත් ඉගෙන ගන්නා අතරේ මැෂිමකුත් ගෙදර තියෙන නිසා කීයක් හරි හොයා ගන්නත් හිත යොමු කරමු නේද?

මේ කියන්න යන කතාව හොඳට හිතට ගන්න... මේ වගේම කාන්තා ප්‍රකාශනයක වැඩ කරමින් සිටින කාලෙක හරියටම කිව්වොත් දෙදහස් දාසය අවුරුද්ද... දුරකතන ඇමතුමක් එනවා ආගන්තුක අංකයකින්. වැඩ කන්දරාවක නිරතවෙලා හිටියත් කතා කළා...

"කරදර කරනවට සමා වෙන්න. පත්තරේ තමයි ටෙලිෆෝන් නොම්බරේ තියෙනව දැක්කේ. මාව මතකනම් නැතිව ඇති. අනුරාධපුරේ යොවුන් නිකේතනය තරුණී පත්තරෙන් කරපු වැඩමුළුවට ආවා. එතකොට ඉස්කෝලෙ ගිහින් ඉවර වුණා විතරයි. දැන් දරුවො දෙන්නෙකුත් ඉන්නවා. මහත්තයාට වකුගඩු අමාරුව හැදිලා අමාරුයි. ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්.... මට මහන්න පුළුවන්. මැෂිමකුත් තියෙනවා. ගෙදර ඉඳන් කීයක් හරි හොයා ගන්න පුළුවන් දෙයකට උදව්වක් ඉල්ලන්නයි කතා කළේ.

මේ ඇමතුම ලැබෙද්දි තරුණී වැඩමුළුව අනුරාධපුයේ පැවැත්විලා වසර පහළොවක් විතර ඇති. ඒත් ඇයට ඒ මතකය තුළින් පිළිසරණක් ලබා ගන්න හිතිලා. සහන සේවයට පරිත්‍යාග කරන මහත්මියක් ඇයට රෙදි ගන්න උදව් කළා. එදාත් එරංග දුන්නේ අපූරු උපදෙසක්.

"පොළේ රෙදි වෙළෙඳාමේ යන අය, දන්න කියන රෙදි කඩ එහෙම කතා කරගෙන කොට්ට උර, සරොම්, චීත්ත වගේ දේවල් මහල දෙන්න කතා කර ගන්න කියන්න. පොඩි බබාලට නැපි, ප්‍රින්ටඩ් රෙදිවලින් කොට්ෂීට් වගේ දේවල් කරන්නත් පුළුවන්..."

මෙම උපදෙස ඇය අපූරුවට ක්‍රියාවට නැඟුවා. වසර තුනකට පමණ පසුව තවත් දෙදෙනෙකුගේ සහාය ලබාගෙන තිබුණා. අන්න එහෙමයි දියුණු වෙන්නෙ.

ඉතින් ඒ උපදේශයම එරංග රණසිංහයන් අදත් ඔබට ලබා දෙනවා.‍ හිත හිතා ඉන්න එපා. ඉදිරියට එළැඹෙන්නේ උත්සව සමයන් දෙකක්... නත්තල සහ අලුත් අවුරුදු සමය. සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින්, රට වහන්න අවස්ථාවක් නොදී වැඩේ පටන් ගන්න හොඳේ. තරුණී මැහුම් ඉස්කෝලේ අපිත් බලාගෙන ඉන්නවා, ඔබේ දියුණුව ගැන රටට ම කියන්න.

සුද්දො ඉණේ හම් කැබැලි පටලවාගෙන කැලෑ වැදිලා සිටිය කාලෙත් අපි ශිෂ්ටාචාරවත් ජාතියක්. විජය පිටුවහල් වීමකට ලක් වෙලා තම්බපන්නියට ගොඩ බහිද්දි කුවන්නා චරකයකින් කපු කටිනවා... ඒ කියන්නේ යන්ත්‍රයක්. නූල් හැදුවෙ මාළු අල්ලන බිලී පිතිවලට, දැල්වලට නෙමෙයි, රෙදි වියන්න. ඒ නිසා රෙදිපිළි, ඇඟලුම් කර්මාන්තයට අපේ ජාන ගත උරුමයක් තිබෙනවා. මොන අබ්බන්ගයක් වුණත් පවුලෙ බර මුලින් ම දැනෙන්නෙ අම්මලාට... අක්කලාට. කොටින් ම කිව්වොත් කාන්තාවන්ට.... එහෙමනම් ඉතින්,

"ඔබ සූදානම් වෙන්න."

ඔබගේ අවධානයට යොමු කළ යුතු සුවිශේෂි කරුණක් තිබෙනවා. ක්‍රිස්තුපූර්ව හයවැනි සියවසයටත් එහා ගිය රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් සහිත අප අද සිටින්නේ කොතැනද? නිදහසින් පසු යුගයේ (වර්තමානය දක්වා) අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයේ ස්වර්ණමය අවධිය 1970 - 1977 සමඟි පෙරමුණු ආණ්ඩු සමය පෙන්වා දීමට පුළුවන්. එහි තිබු සුවිශේෂී භාවය වන්නේ එහි යෙදී සිටි වෘත්තිකයන් බහුතරය නෙත් අඳ ශිල්පී ශිල්පිනියන් වීමයි. එම කාලයේ දී ඉසුරුමත් ජීවිත ගත කළ මෙම පිරිස 1977න් පසුව හඳුන්වාදුන්, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය හේතුවෙන් මෙම පිරිස යාචකයන් ගේ මට්ටමට පත්වීම තරම් අභාග්‍යයක් තවත් ඇත්තේ නැහැ.

අත්යන්ත්‍ර පමණක් නොව සමස්ත ජාතියටම රෙදිපිළි නිපදවූ වේයන්ගොඩ (Vetex), තුල්හිරිය (Thultex), පූගොඩ, වත්තේගම, බැල්ලවත්ත යන දැවැන්ත බලවේග යන්ත්‍ර කර්මාන්තශාලා වැසීයාමට ද ගත වූයේ වසර කිහිපයක් පමණයි. බලයට පත් වන සෑම ආණ්ඩුවක් ම පාහේ ස්වයං රැකියා යෝජනා ක්‍රම හඳුන්වා දී තිබුණත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් වී තිබෙනවා.

ඒ සඳහා අවිධමිත් සැලසුම් හේතුවෙන් වෙළෙඳ පොළ සපයා ගැනීමේ යාන්ත්‍රණයේ දුර්වලතා මෙන්ම, ස්වයං රැකියා ලාභීන්ගේ දුර්වලකම්ද එක සේ බලපා ඇති බව නොරහසක්. විශේෂයෙන්ම බොහෝ දෙනා පෙළඹී සිටින්නේ, ස්වයං රැකියා සඳහා ලිහිල් කොන්දේසි මත ලබා දෙන ණය මුදල එදාවේල සපයා ගැනීමට සඳහායි. මේ සියල්ලේ අවසානය සිදුවන්නේ දිළින්දන් බැංකු ණයකරුවන් බවට පත්වීමයි.බරපතළ ආර්ථික අර්බූදයක් හමුවේ වුවද වත්මන් රජය සාධනීය පියවරකට මුල පුරා ඇති බවක් දකින්නට පුළුවන්. කාන්තාවන්ගේ ආර්ථිකය බලගැන්වීම සඳහා 'මහන මැෂින්' ලබාදීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

* දැන් ඔබ කළ යුතු වන්නේ කුමක්ද?

ආණ්ඩුව මේ ලබා දෙන්නේ මුදල් මවන යන්ත්‍රයක්. වෙනසකට තිබෙන්නේ එයට යොදන්නේ කඩදාසි නොව රෙදිවීමයි. ඉහතින් දැක්වූ ඉතාම සරල මට්ටමින් ඇරැඹිය හැකි අවස්ථා අතරින් හතරක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනවා.

ඒ පිළිබඳව අපි ලබන සතියේ සිට විධිමත් ලෙස දැනුවත් වෙමු.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ - ඔයාමා ග්‍රැෆික්ස්