ආහාර පිසීම පහසු කරන මිනි කිචන් උදුන

Mini Kitchen Cooker
මැයි 9, 2022

 

එකවර ව්‍යාංජන 3ක් උයන්න පුළුවන්

 

උදුන් නිපදවීමේ ස්වයං රැකියාවක් සඳහා තාක්ෂණ උපදෙස් නොමිලේ

 

ගෑස් වෙනුවට විකල්පයක් ගැන අප වෙන කවදාටත් වඩා හොයනවා. ඒ ගෑස් දැඩි හිඟයක් පැවතීම නිසයි. ගෑස් මිලත් දැන් නොසිතන ලෙසින් ඉහළ ගිහින්. මේ ගැටලුව අපට විතරක් නොවෙයි මුළු ලෝකයටම තිබෙන විශාල අර්බූදයක්. නමුත් ඒ සඳහා බොහෝ රටවලට විසඳුමක් නැහැ. අපේ රටේ ගෑස් භාවිතයට පෙර තිබුණු දර ළිප ගැන දැන් වඩාත් කතාබහට ලක්වෙන ගෘහ උපකරණයක්. ගෑස් ළිප භාවිතය අවම කරලා දර ළිපෙන් උයන්න ගෘහණියෝ බොහෝ දෙනකු උත්සහ කරනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නර්ඩ් ආයතනය සකස් කළ සාර්ථක දර උදුන් කිහිපයක් පසුගිය සති කිහිපය පුරා අප පුවත්පත මඟින් හඳුන්වා දුන්නේ ඔබේ ගැටලුවට විසඳුමක් ලෙසින්. ඒ පිළිබඳ අපගේ පාඨකයන් බොහෝ දෙනකු විමසීම් කළා. අප මේ සතියේදී හඳුන්වා දෙන්නේ එවැනිම සාර්ථක දර ළිපක්. මෙය නම් කර තිබෙන්නේ මිනි කිචන් උදුන ලෙසයි.

දර යොදාගෙන භාවිත කළ හැකි මේ උදුනේ විශේෂත්ව කිහිපයක්ම තිබෙනවා. එකම උදුනේ ළිප් තුනක් සහිතව සකස් කළ මෙහි එක්වර ව්‍යාංජන තුනක් සකස්කර ගැනීමට හැකිවීම විශාල වාසියක්. තවත් මේ උදුනේ වාසි කිහිපයක් තිබෙනවා. මේ උදුන හෝටල් වැනි කර්මාන්තයටත් ප්‍රයෝජනවත්. එසේම අඩු දර ප්‍රමාණයකින් වැඩි කාර්යක්ෂමතාවයක් ඇති මේ ළිපේ ඉතා කෙටි කාලයකින් ව්‍යාංජන බත් සියල්ල පිස ගැනීමට හැකිවීම විශාල ලාභයක්.

මේ ළිප ඔබට ම සකස්කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ උපදෙස් නොමිලේ නර්ඩ් ආයතනය විසින් ලබාදෙන අතර තාක්ෂණ ලාභියකු ලෙස ඔබට නිවෙසේ සිටම ස්වයං රැකියාවක් ලෙසින් මේ උදුන නිපදවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් පුළුවන්.

මේ උදුනේ එකතුවන අළු හා අඟුරු ඉතාම පහසුවෙන් ඉවත් කිරීමට හැකි අයුරින් නිර්මාණය කර ඇති අතර පිටවන දුම බටයක් මඟින් එය මුළුතැන් ගෙයින් පිටතට ඉවත් කළ හැකි අයුරින් සකස් කර තිබීම ද විශේෂත්වයකි. එසේම ආරක්ෂාව අතින්ද මේ උදුන ඉතාම සාර්ථකව නිර්මාණය කර ඇත්තේ පරික්ෂණ ගණනාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ ළිපේ ඇති වාසි හා කාර්යක්ෂමතාවය පිළිබඳ ඔබට අප මෙහි සාරාංශ ගතකර තිබේ.

මේ දර ළිප පිළිබඳ වැඩි විස්තර හා තාක්ෂණ උපදෙස් අවශ්‍ය නම් 'තරුණී' පුවත්පතට කතා කරන්න. අපි අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කරමු. අපගේ දුරකථන අංකය 0112429592

 

උපදෙස්-

නර්ඩ් ආයතනයේ අලෙවි අංශයේ සහකාර අධ්‍යක්ෂ

දිල්රුක්ෂි පතිරණ

 

 

ඡායාරූප - සරත් කුමාර