කුණු වෙලා වැටෙන පලතුරුවලින් දියුණු වෙන්නේ මෙහෙමයි

ජුනි 17, 2024

 

 නිරෝෂ් මින්තක නවගමුව.ඔහු කෘෂිකර්ම විද්‍යා උපාධිධාරියෙක්. ඔහුගේ බිරියත් උපාධිධාරිනියක්. මේ දෙන්නා පදිංචි වෙලා ඉන්නේ මොරගොල්ලාගම කියන ප්‍රදේශයේ. අනුරාධපුරේ මොරගොල්ලාගම ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත වන මේ යුවළ දැන් සාර්ථක ව්‍යවසායකයින් දෙපළක්. මෙලෙසින් ඔවුන් දෙදෙනා ව්‍යවසායකයින් බවට පත්වෙන්නේ වෙනස්ම ආකාරයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන්.

 

ඒ කියන්නේ ඔවුන් කෘෂි කර්මාන්තය කරගෙන යන අතර, එය දියුණුකර ගැනීම ගැන වෙනත් ආකාරයකට සිතන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙසින් කෘෂි කර්මාන්ත ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ දෙපළට හැකිවුණා. ඒ විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයෙන් තවත් පවුල් ගණනාවකට රැකියා අවස්ථා හිමිකර දෙන්නත් හැකියාව ලැබුණා. මෙලෙස මේ දෙපළ ආරම්භ කරන ව්‍යාපාරය සඳහා මූලික පදනම වුෙණ් පලතුරු වාරයට සැදෙන පලතුරු අවාරයේදී පරිභෝජනයට ගැනීම මේ සිතුවිල්ල අලුත් ව්‍යාපාරයක් ගැන සිතන ඔබට හොඳ ආදර්ශයක්.

 

කොස්, දෙල්, අඹ, කජු, දෙහි, ෆැෂන්, අන්නාසි, දොඩම්, කොමඩු, දූරියන්, රඹුටන් වැනි පලතුරු වර්ග රාශියක් අපේ රටේ සෑම ප්‍රදේශයකම තියෙනවා. මේ පලතුරු වර්ගවල පලදාව ලැබෙන්නේ වර්ෂයේ එක කාලයකට විතරයි. ඒ කාලෙට අඹ ගස් යට අඹ කුණු වෙලා යනවා. කොස් ගස් යට කොස්, වැල, වරකා වැටිලා කුණු වෙනවා. කොමඩු මිල පහළටම වැටෙනවා. පැෂන්, දෙහි, දොඩම් පලතුරුත් එහෙමයි. නමුත් මේ පලතුරු අවාරයට දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පලතුරු පලදාව ඇති කාලයට ගස් යට කුණු වෙන්න තිබුණට අවාරයට ගෙඩියක් හොයාගන්නවත් නැහැ.

 

මෙලෙස වාරයට හටගන්නා අවාරයට නැතිවෙන පලතුරු සැමදාම පරිභෝජනයට ගන්න පුළුවන් ක්‍රමයක් මේ දෙන්නා සොයා ගත්තා.

 

පලතුරු වාරයට හටගන්නා පලතුරු වර්ග පල්ප් එකක් ලෙස සකස්කර, ඇසුරුම්කර, අධිශීතකරණයක අසුරා තැබීම තමයි මේ ක්‍රමය. ජාත්‍යන්තරව පවා ඉතාම ජනප්‍රිය මේ IQ පලතුරු ඇසුරුම් ක්‍රමයට ලෝකයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ජර්මනිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබිය වැනි රටවල තමයි මෙලෙසින් ඇසුරුම් කළ පලතුරු වර්ග සඳහා හොඳම ඉල්ලුමක් තිබෙන්නේ. මෙලෙසින් ලෝකයේ හොඳ ඉල්ලුමක් පවතින මේ පලතුරු වර්ග අපේ රටේ පලතුරු වාරයට මිල හරිම අඩුයි. මෙලෙසින් මිල අඩු කාලයට එක් රැස්කර ගන්නා පලතුරු ක්‍රමානුකූලව කපා පැකට් කිරීම තමයි මේ ව්‍යාපාරයේ පළමු පියවර. එලෙස පැකට් කිරීමෙන් පසු තාක්ෂණික ක්‍රම අනුව අධිශීතකරණයක ඇසුරුම් කිරීම තමයි. එහි දෙවැනි පියවර.

මේ පියවර දෙක සඳහා විශාල පුහුණුවක් අවශ්‍ය නොවුණත් වෙළෙඳපොළ සොයා ගැනීම සහ දිගු කාලයක් සුරක්ෂිතව තබා ගැනීම තමයි අසීරු. ඒ සඳහා මුදලක් වගේම දැනුමකුත් අවශ්‍යයි.

 

මේ ව්‍යාපාරය සඳහා ප්‍රවේශවීම එක්වරම කිරීම තරමක් අසීරු කටයුත්තක් ලෙස ඇතැම්විට ඔබට සිතේවි. ඒ වගේම ඒ සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ’යැයි සිතෙන්න පුළුවන්. නමුත් අපට මෙවැනි කටයුත්තක් එක්වරම ආරම්භ කිරීමට වඩා මේ ව්‍යාපාර කටයුත්තට සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා.

 

සාමාන්‍යයෙන් එළවළු, පලතුරු වර්ග වගා කරන බොහෝ දෙනෙකුට ඇතිවෙන ගැටලුව තමයි තමුන්ගේ ඵලදාව ලැබෙන කාලයට ඒවා විකුණා ගැනීම. ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් සොයා ගැනීම පලතුරු වාරයට හරිම අසීරුයි. තොග වශයෙන් මිලදී ගන්නාවිට මිල හුඟක්ම අඩුයි. ඔබට මෙලෙසින් කල් තබා ගන්නා ස්ථානයකට සම්බන්ධ වුණොත් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මුදලකට ඔබේ පලදාව අලෙවි කරගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මේ තාක්ෂණය ගැන අධ්‍යයනය කර ඔබටම පලතුරු කල්තබා ගන්නා ක්‍රමයක් නිර්මාණය කර ගන්නත් පුළුවන්.

 

ඇතැම් විට මෙලෙස IQ කල්තබාගන්නා ක්‍රමයට වඩා හොඳ සාර්ථක ක්‍රමයක් ගැන ඔබට අදහසක් ඇතිවේවි. ඔබත් අවාරයේ හැදෙන පලතුරු ගැන සිතන්න. එවැනි පලතුරු ජාත්‍යන්තරයට අලෙවි කරන ක්‍රමයක්, අදහසක් ඇතිනම් අපට කියන්න. ඔබට මෙලෙස පලතුරු වර්ග කල්තබා ගැනීමේ IQ තාක්ෂණය ගැන දැනගැනීමට හෝ අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තොරතුරු හා මඟපෙන්වීම ලබාදීමට අප සූදානම්. අපගේ 0112 429 592 අංකයට කතා කරන්න. අපි ඔබට සියලු විස්තර සපයමු.