සුරිඳුපුරෙන් හඬට ඇහෙන දෙබර මාල සද්දේ

සැප්තැම්බර් 30, 2024

හිරු අවරට එබෙමින් තිබුණි. එහෙත් ඔවුන්ගේ කටයුතු තවමත් නිමාවක් නැත. වෙනකෙකුගේ කර සරසාලන්නට සහ ඔවුන්ගේ ජීවිතය සරසා ගන්නට ඔවුන් හැල්මේ වැඩ කටයුතුවලය.

අප අද ඔවුන් සොයා යන්නේ කතරගම ගෝතමීපුරටය.

 

ඌව පළාතට මෙන්ම දකුණු පළාතටත්, හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයටත් මායිම්ව පිහිටා ඇති කතරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි ගෝතමීගම ඇතුළු අවට ගම් රැසකම පදිංචි පවුල් 500කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය දෙබර ඇට මාල ගෙතීම නොහොත් නවගුණ මාල සැකසීමය. වසර ගණනාවක සිටම ගෝතමීගම පදිංචි කාන්තාවන් දෙබර ඇට යොදාගෙන මෙම මාල හා විවිධ ආභරණ සැකසීම සිදුකරගෙන එනු ලබන්නේ ගැටලු රැසක් මැදය. මෙම කාන්තාවන් පවසන්නේ වසර ගණනාවක සිට මෙම මාල ගෙතීම සිදුකරගෙන ආවද ඒ සඳහා නිසි මිලක් නොමැති විම හමුවේ ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.දිනකට එක් කාන්තාවකට සකස් කළ හැක්කේ උපරිම මාල 10ක් වැනි ප්‍රමාණයකි. ඒ සඳහා නිර්මාණාත්මක බව මෙන්ම හොඳ සිහි කල්පනාවක් ද තිබිය යුතු බවත් ඔවුහු පවසති. කාලයේ වැලිතලාවෙන් මෙම දෙබරඇට මාල කලාව ද වියැකි යාමට නොදී මෙතුවක් කල් එය රැකගෙන එන මෙම කාන්තාවන් සොයා අප ගිය ගමනේදී ඔවුන් අප සමඟ දොඩමළු වූයේ මෙසේය.

පළමුව අප කතාබහ කරනු ලැබුවේ ගෝතමීගම පදිංචි 48 හැවිරිදි එච්.ඩබ්ලිව්. ප්‍රියන්තිකා මහත්මිය සමඟය

මම දැන් අවුරුදු 30ක් තිස්සේ තමයි මේ දෙබර ඇට මාල ගෙතීම සිදුකරන්නේ.ඉස්සර නම් කම්බිවලින් තමා මේ දෙබර ඇට මාල නැත්නම් කවුරුත් කියන නවගුණ මාල ගෙතීම සිදුකළේ.දැන් නම් තන්ගුස් නූල් හා කම්බි යොදාගෙන ආකාර දෙකටම නවගුණ මාල ගෙතීම සිදුකරනවා. මේක පහසු කටයුත්තක් නෙමේ. මේ මාල සකස් කිරීමට යොදා ගන්නා දෙබර ඇට ඕනෑතරම් මේ කතරගමින් සොයා ගන්න පුළුවන්.දෙබර ගස් මේ කතරගම ඕනි තරම් තියෙනවා. අපි ගිහින් මේ දෙබර ඇට එකතු කරගෙන ඇවිත් වංගෙඩියක දමලා ඉතා සියුම්ව කොටලා මේකේ තියෙන පොත්ත ඇරලා හොඳට සෝදලා අව්වේ දමා වේලාගත් පසුව තමයි මේ විදියට නිර්මාණ කරන්න ගන්නේ.මේකෙදි මේ දෙබර ඇට එකින් එක මුලින්ම අපි විද ගැනිමක් සිදුකරනවා කුඩා උපකරණයකින්. ඒක තමයි ගොඩක් අමාරුම වැඩේ.මේකෙදි අපේ ඇගිලි හිල් වෙලා ඇති ඒ තරමටම.කොහොම හරි අද වෙනකොට නවගුණ මාලයක් කඩ හිමියන් අපෙන් ගන්නේ රුපියල් 65ත් 70ත් අතර මුදලකට. ඒ අය කඩේ විකුණන්නේ එක මාලයක් රුපියල් 200ට 250ට. සමහරු රුපියල් 300ට 350ටත් විකුණනවා. මගේ මහත්තයත් නෑ මියගිහින්. ඉතින් මම ජීවත් වෙන්නේ මේ දෙබරඇට මාල ගෙතීමෙන්. මේ සඳහා නිසි මිලක් අපිට නෑ ඇත්තටම.මේ ගැන හොයන්න කියලා වගකිවයුතු පාර්ශ්වයකුත් නෑ. අඩුම මාලයක් රුපියල් 100කටවත් විකුණ ගන්න තියේ නම් වෙන මහන්සියට සාධාරණයක් තියෙනවා.

මාල තරම් ලස්සන නැති ඔවුන්ගේ ජීවිතය බොහෝ විඩාබරය.

හේවා විතාරණ ශාලිකා නජන්ති මහත්මිය අප සමඟ ඒ කතාව කීවේ.මෙලෙසිනි.

මම දන්න කාලේ ඉඳන්ම මේ නවගුණ මාල සැකසීම කරනවා.මේ වෙනකොට අපි ගමේ කාන්තාවන් 80ක් පමණ එකට එකතු වෙලා දෙබරඇට මාල ගෙතීමේ සංගමයක් පවා පිහිටුවාගෙන තියෙනවා. මම තමයි ඒකේ සභාපති විදිහට වැඩ කරන්නෙත්.අපි සංගමයක් පිහිටුවා ගත්තෙත් මේ නවගුණ මාලය නැති වෙන එක රැකගන්නයි. මොකද තව වැඩිකල් නොගිහින් මේ නවගුණ මාලයත් රබර් යොදාගෙන නිර්මාණය කරලා වෙළදපොළෙට එනවා. දැනටත් තරමක් රබර් යොදාගෙන කරපු මාල තියෙනවා. නමුත් තවමත් බැතිමතුන් අතර ඉල්ලුමක් තියෙන්නේ දෙබර ඇට වලින් ගොතන නවගුණ මාලයට. දැනට වෙලා තියෙන්නේ මේ ගම්මානයේ ඉන්න හැමෝම වගේ මේ දෙබර ඇට මාල සකස් කිරිම කළාට ඒවා විකුණගන්න නිසි ක්‍රමවේදයක් නොමැතිකමයි.කඩවල්වලට අපි ගිහින් දුන්නම සල්ලි ගන්න මාස ගණන් පස්සෙන් යන්න ඕනි.අතරමැදියන් ඇවිත් අපෙන් මාල මිලදී ගන්නේ ඉතාමත් සොච්චම් මුදලකට. ඒ නිසා මේ කර්මාන්තය දැන් කරන පිරිස් අඩුවේගෙන යනවා. මේ සඳහා ප්‍රාදේශීය මට්ටමින් හරි යමක් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.

ඔවුහු සම්ප්‍රදාය රැකීම වෙනුවෙන් වෙහෙසෙමින් සිටිති.දැන් එය ඔවුන්ගේ ජීවිතය රකින රැකියාව බවට පත්ව ඇත.

 

යූ.එල්.තුෂාරි ප්‍රියදර්ශනීද මේ කටයුතු සමඟ එක්ව වැඩ කරනු ලබන කාන්තාවකි. ඔවුන් ජීවිතය ගෙත්තම් කරමින් සිටී.

 

මම විවාහ වෙලා කතරගමට ආවට පස්සේ තමයි දන්නේ මේ නවගුණ මාල හැදෙන්නේ කොහාමද කියලා. මගේ මහත්තයාගේ ඥාතීන් ගොඩක් මේ නවගුණ මාල සකස් කිරීම සිදුකරනවා. ඒ නිසා මමත් මේ වෙනකොට වසර 05ක වගේ ඉඳන් මේ නවගුණ මාල සැකසීම සිදුකරගෙන එනවා.ඇත්තටම මේක කලාවක්. මේ දෙබර ඇට අහුලගෙන ඇවිත් ඒවා වංගෙඩියේ දමලා ඉතා පරිස්සමට කොටලා පොතු ඇරගෙන සුද්ද කරලා සෝදලා අව්වේ වේළා ගැනීමෙන් පසුව තමයි මාල සකස් කිරිම කරන්නේ. මේකෙදි වර්ණ ගන්වනවා නම් ඒවා මුලින්ම කරගන්නවා.ඊට පස්සේ සියළුම දෙබර ඇට විදගැනිම සිදුකරනවා. ඊන් පසු තමයි මාල ගෙතීම සිදුකරන්නේ. ඒක හිතන තරම් ලෙසි දෙයක් නෙමේ. කම්බිවලින් හදන මාලයකට නම් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. දවසකටම මාල හය හතකට වැඩිය හදන්න අමාරුයි. ඉතින් මේ වගේ ශිල්පයක් කිසිදු අනුග්‍රහයක් නැතිව මෙච්චර කාලයක් රැකගෙන ආපු එකම ලොකු දෙයක්. ඒ නිසා අපි මහ දේවල් ඉල්ලන්නේ නෑ.මේ සඳහා කවුරුන් හෝ මැදිහත්වීමක් ලබා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. මේ දෙබර ඇට විදින මැෂින් එකක් වෙනවා රුපියල් 35000ක් විතර. ඉතින් මේ ඉන්න මිනිස්සුන්ට මේ මාලයක් ගොතලා ලැබෙන මුදලින් මැෂින් ගන්න වත්කමක් නෑ.මේ ගැන කාගේ හෝ අවධානය යොමු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

මෙය කාලයක් තිස්සේ පැවත එන කර්මාන්තයකි. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මෙම කර්මාන්තය ඉන් එහා ගිය කලාවකි. දෙබර මාල සැකසීම ඉතාමත් ඉවසීමෙන් ප්‍රගුණ කළ යුත්තකි. ඒ කලාව ද ඉතාමත් ඉවසීමෙන් කළ යුතුමය.

කේ.එච්.ඉන්ද්‍රාණි ද ගෝතමීපුර දෙබරමාල ගොතන්නියකි.

මගේ වයස දැන් අවුරුදු 70යි. මම මට අවුරුදු 16 ද වගේ තමයි දෙබරඇට මාල ගෙතීම ආරම්භ කළේ. වසර 50කට වැඩි කාලයක් තිස්සේ මේක තමා මගේ ආදායම් මාර්ගය වුණේ. ඒ කාලේ දෙබර ඇට මාලයක් අපෙන් ගත්තේ රුපියල් 05කට. අද වෙනකොට මාලයක් අපෙන් ගන්නේ රුපියල් 65ක් වගේ මුදලකට.සමහර අය නම් රුපියල් 70කටත් ගන්නවා. ඉතින් ඒ ගාණට මාලයක් දීලා ඇති වැඩක් නැහැ මේ වෙන මහන්සියත් එක්ක. අද වෙනකොට මේ කලාව වියැකෙමින් යනවා. වැඩි කල් නොගොස් මේ දෙබර ඇට කලාව වෙනුවට රබර් හෝ ප්ලාස්ටික් යොදාගෙන නවගුණ මාල සැකසීම සිදුකරනවා. අපි වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලන්නේ මේක කතරගමට ආවේණික වූ කලාවක්.මේක අවුරුදු ගාණක් ඉඳන් මේ කතරගම මිනිස්සු කරගෙන ආපු එකක්. ඒක රැකගන්න මේ සදහා විදිමත් පුහුණුවක් හෝ ලබා දිලා මේ සදහා අතහිත දෙන්න කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වුනේ නෑ.එක් වතාවක් ජාතික ශිල්ප සභාව හා නාගරික නිවාස සංවර්ධන ජනාවාස අධිකාරිය විසින්. ඔවුන් අපිට පුහුණුවෙන් පසු දෙබර ඇට විදීමට ගන්නා මැෂින් කිහිපයක් පවා ලබා දුන්නා. අපි ඉල්ලන්නේ නිකං අපිට පහසුකම් දෙන්න කියලා නෙමේ. ප්‍රාදේශීය මට්ටමෙන් හෝ නිලධාරීන් යොදවලා මේ කලාව පිළිබව සොයා බලා එම කලාවේ නිරතව සිටින පිරිස් වෙත නැඟී සිටිමට මේ කර්මාන්තය දියුණු කරගන්න යම් සැලැස්මක් ක්‍රියාත්මක කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ යැයි පැවසුවාය.

කතරගම අවට සෑම තැනකම මේ වන විට දෙබර ගස් ඇති අතර මේ හේතුව නිසා දෙබර ඇට පිළිබඳව මේ කාන්තාවන්ට මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති නමුත් ඔවුන්ට මෙම මාල විකුණා ගැනීමේ දි පවතින දුෂ්කරතාව හා කිසිදු රාජ්‍ය අනුග්‍රාහකත්වයක් නොලැබීම මෙම දෙබර ඇට මාල කලාව ටික ටික වියැකී යාමට හේතුව බවට පත්ව තිබේ. එනිසා ප්‍රාදේශීය නිලධාරීන් හෝ ඉදිරිපත්ව මේ කාන්තාවන් පිළිබදව සොයා බලා මෙම දෙබර ඇට මාල කලාව තවදුරටත් රැකගෙන යාමට දායක වන්නේ නම් එය මහත් පිටුවහලක් බව ද එහි සංචාරයක නිරත වු අපටද වැටහුණි. මෙම වියැකෙමින් යන කලාවන් රැක ගැනීම අප සියලුදෙනාගේ වගකීමකි.

 

ඡායාරූප සහ සටහන - සූරියවැව විශේෂ නුවන් ජයසේකර