වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
ස්වයං රැකියාවකින් ජීවිතයම ගොඩයන්න
තමුන්ගේම ව්‍යාපාරයක් කරලා දියුණු වීම බොහෝ දෙනෙකුගේ සිහින ප්‍රාර්ථනාවක්. මේ සිහින ප්‍රාර්ථනාව ඉටුකර ගන්න නම් අපිට දැක්මක් හා සැලසුමක් තිබිය යුතුමයි. ව්‍යාපාරයක් කිරීමෙන් දියුණු වූ ඔබේ මිතුරෙක් හෝ ඥාතියෙක් දුටු විට ෂා . ... අපටත් ඒ වගේ ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න තිබුණා නම් කියලා ඔබටත් සිතෙන්නට පුළුවන්. එහෙම හිතලා ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළ පමණින්ම දියුණු වීම පහසු නැහැ.
ව්‍යාපාරයක් දියුණු වෙන්න අප තුළ තිබිය යුතු සුදුසුකම් පහක් තිබෙනවා. ඒ සුදුසුකම් පහ නොමැතිව ඔබ මොන ව්‍යාපාරයක් ආරම්භ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේදී අපට මේ සුදුසුකම් ගැන අවබෝධයක් තිබීම හරිම වැදගත්. එසේ නොවුණහොත් පුංචි ව්‍යාපාරයක් වුණත් පටන් ගත් තැනම කඩා වැටෙන්න පුළුවන්. ඔබේම කියලා ව්‍යාපාරයක් හෝ රැකියාවක් ආරම්භ කිරීමේදී අපට මුලින්ම අවශ්‍ය වන්නේ ප්‍රාග්ධනයක්. එහෙම නැතිනම් මූලික දැනුමක් හා අවබෝධයක් තිබිය යුතුමයි. ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් කරන විට එය ආරම්භය සඳහා අමුද්‍රව්‍ය හෝ උපකරණ මිලදී ගැනීමට අපට කිසියම් මූලික මුදලක් නැතිව ඒ කටයුත්ත ආරම්භ කිරීම අසීරුයි. එසේ මුදලක් නොමැති නම් වෙනත් කෙනෙකුගේ උපකාරය හෝ අනුග්‍රහයක් අපට ලැබිය යුතුයි. මේ ආකාරයේ ආධාර අනුග්රහයන් ලබා ගැනීම සඳහා වුණත් අපට ඒ සඳහා කිසියම් පදනමක් හෝ පසුබිමක් සකස් කරගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අප පුංචි පැළ තවානක් ආරම්භ කරනවා. මේ සඳහා ඔබට ඉඩමක් තිබිය යුතුයි. ඊට අමතරව එම පැළ තබන්නට අවශ්‍ය උපකරණ හා ගොඩනැඟිලි සෑදීමට මුදලක් වැයවෙනවා. ඇත්තටම ව්‍යාපාරයකින් දියුණු වෙන්න අපට එක රැයකින් බැහැ. ඒ සඳහා කිසියම් කාලයක් ගත වෙනවා. සමහරවිට ව්‍යාපාරය කොයිතරම් සාර්ථක වුණත් එයින් ඔබට ලාභයක් ලැබීමට ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. සමහර විට ඒකට මාස ගණනක් වසර ගණනක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ කාලය පුරාම ඔබට ඒ ව්‍යාපාරය කරගෙන යන්න, ජීවත් වෙන්න මුදල් අවශ්‍ය වෙනවා. ඔබ ව්‍යාපාරයකට හෝ ස්වයං රැකියාවකට මුදල් යෙදවීමේදී එය සැලසුමක් අනුව කළ යුතුයි. ඒ වගේම කල්පනාකාරී අයුරින් කළ යුතුමයි. මේ සඳහා අප පසුගිය කාලයේ අත්දුටු නිදසුන් කිහිපයක් තිබෙනවා. පසුගිය කොරෝනා කාලයේදී හෝටල් කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටුණා. හැබැයි තමුන්ගේම ගොඩනැඟිල්ලක සැලසුම්සහගතව කරගෙන ගිය හෝටල් තරමක් දුරට පවත්වාගෙන යන්න පුළුවන් වුණා. එලෙසින් කඩා නොවැටී ඔවුන්ට එම හෝටල් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ තමුන්ට ස්ථිර මුදලක් අතේ තිබුණු නිසයි. එසේ නොතිබුණු කුලී ගොඩනැඟිලිවල පවත්වාගෙන ගිය හෝටල්වල කුලී ගෙවා ගන්න බැරුව වසා දමන්න සිද්ධ වුණා. ඕනෑම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් සඳහා ඔබේ අතේ කිසියම් මුදලක් තිබිය යුතුයි. එසේ මුදල් ඔබට නොමැති නම් මුලින්ම ඔබ වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකු යටතේ සේවය කරන්න. එසේ සේවය කරමින් කිසියම් මුදලක් උපයා ගන්න. එම උපයාගත් මුදල තමයි හරිම වටින්නේ. ඒ උපයා ගත් මූලික මුදල නිසි අයුරින් ඔබේ ව්‍යාපාරයට හෝ ස්වයං රැකියාවට යෙදෙව්වොත් නියත වශයෙන්ම දියුණු වෙන්න පුළුවන්.
ඔබගේ ස්වයං රැකියාව සාර්ථක වීමට අවශ්‍ය වන දෙවැනි සුදුසුකම වන්නේ මූලික දැනුම හා පුහුණුවයි. එසේ පුහුණුවක් හා දැනුමක් ඔබට නොමැති නම් ඔබේ ව්‍යාපාර ඉක්මනින්ම වසා දමන්න සිද්ධ වෙනවා. නැතිනම් අසාර්ථක වෙනවා. ඔබ දන්නවා ඩෙල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු. ඔහු එම ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යන්නට විශාල කැපවීමක් කළා. ඔහු ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණා. උදාහරණයක් ලෙස ඔබ සැලොන් එකක් ආරම්භ කරනවා. ඒ සඳහා සැලොන් ක්ෂේත්රය පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබිය යුතුයි. ඒ වගේම පළපුරුද්දක් තිබීමත් අවශ්‍යයි. ඔබ සැලොන් එකක් ආරම්භ කිරීමට දැනුමක් නොමැතිව වෙනත් සේවකයන් යොදාගෙන ඒ කටයුත්ත කළොත් කිසියම් අවස්ථාවක ඔබට නොසිතන ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. සේවකයන් මත යැපෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එම සැලොන් එකේ ඔබේ සේවා දායකයින්ට හොඳ සේවයක් ලබාදිය යුතුයි. එසේ හොඳ සේවයක් සැපයීමට ඔබට තිබෙන පුහුණුව හා හැකියාව බෙහෙවින්ම වැදගත්. ඒ වගේම ඔබ කරන ව්‍යාපාරය ගැන A - Z අවබෝධයක් තිබීම එය සාර්ථකත්වයට බෙහෙවින්ම වැදගත්.
ව්‍යාපාරයක් හෝ තමුන්ගේම ස්වයං රැකියාවක් පවත්වාගෙන යාම සඳහා ඔබ තුළ ඇති ධෛර්යවන්තකම ඉතාම වැදගත්. ඔබ අධිෂ්ඨානශීලි, ධෛර්යවන්ත යුවතියක් වුණොත් කිසිම දෙයකින් නොසැලී ඉදිරියට ගමන් කළොත් ජීවිතය ජය ගැනීම අසීරු ඉලක්කයක් නොවෙයි. හොඳට කට්ට කන්න පුළුවන් වුණොත් තමයි ඕනෑම දෙයකින් සාර්ථකත්වය ලබාගන්න අපට හැකියාව ලැබෙන්නේ. ඔබේ ස්වයං රැකියාව ව්‍යාපාරය ගොඩදාගන්න ඔබටම තමයි මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ. වෙන්ඩෝල් ලංකා සමාගමේ වෛද්‍ය ගිහාන් ගොඩකන්ද මහතා. ඔහු තම ව්‍යාපාරය දියුණු කරගන්න කොයිතරම් පයින් ඇවිද්ද පුද්ගලයෙක් ද? පුංචි බෑග් එකක තම නිෂ්පාදන දමාගෙන තමයි මුලින්ම ඔහු තම ව්‍යාපාරය ආරම්භ කළේ. ඔහු දැන් ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයෙක්. ඔබ තමුන්ගේම ස්වයං රැකියාවක් ආරම්භ කරන්නේ නම් ඊළඟ සුදුසුකම වන්නේ ඒ සඳහා ඔබ කරන කැපවීමයි. තමුන්ගේ ව්‍යාපාරය සඳහා පූර්ණ කාලය යෙදිය යුතුයි. සමහර විට ඔබට නිදාගන්න වෙලාවක් නැතිවෙයි. නිවාඩු ගන්න දිනයක් කාලයක් නැති වෙන්න පුළුවන්. ව්‍යාපාරය සාර්ථක වීම සඳහා ඔබට පුදුම මහන්සියකින් වැඩ කරන්න පුළුවන් විය යුතුයි. එසේ කැපවෙන්න බැරි නම් ඔබ ආරම්භ කරන රැකියාවෙන් දියුණු වෙන්න කොහෙත්ම බැහැ. නිදහස සොයමින් ව්‍යාපාරයකින් හෝ ස්වයං රැකියාවකින් අපට දියුණු වෙන්න අපහසුයි.
ව්‍යාපාරයක් සාර්ථක වීමේ පස්වැනි සුදුසුකම වන්නේ මනා සම්බන්ධතාවයයි. ඔබ කරන මොන රැකියාව වුණත්, ව්‍යාපාරය වුණත් එය සාර්ථක වන්නේ personal relationship නැතිනම් PR එක මතයි. ඒක හදාගන්න කලින් ව්‍යාපාරයක් පටන් ගන්න එපා. උදාහරණයක් ලෙස ඔබ හෝටලයක් ආරම්භ කරනවා. ඒ හෝටලේ කෑම රසයි, මිල සාධාරණයි. නමුත් ඒ හෝටලයේ සේවා දායකයාට සලකන ආකාරය හා ඔවුන්ට ආමන්ත්‍රණය කරන ආකාරය හරිම දුර්වලයි නම් එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.
ඔබ ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරන විට මුදල් තබාගන්න. එම ව්‍යාපාරය ගැන හොඳින් ඉගෙන ගන්න. කට්ට කන්න පුරුදු වෙන්න. නිදහස සොයන්න එපා. ඔබේ සම්බන්ධතාව හොඳින් පවත්වාගෙන යන්න. මේ ටික අනුගමනය කළොත් ඔබ ආරම්භ කරන පුංචිම පුංචි ව්‍යාපාරය වුණත් ලෝකයේ ඉහළට ගෙන යන්න අපහසු නැහැ.
ගයාන් කරුණාරත්න
නීතිඥ, වරලත් ගණකාධිකාරී
මූල්‍ය ප්‍රධාන නිලධාරී ටොයෝටා ලංකා සමාගම