ඇන්තූරියම් මලෙන් උපන් උඩරට මැණිකේ

ජුනි 30, 2025

Every Successful Person has a Painfull story. Every painful story has a successful ending. Accept the pain and get ready for succes. ඕනෑම සාර්ථක පුද්ගලයෙක් පසුපසම වේදනාත්මක කතාවක් තිබේ. එම වේදනාත්මක කතාවේ අවසානය සාර්ථකත්වයයි. ඔබ සාර්ථකත්වය කරා ළඟාවීමට වේදනාව දරා ගැනීමට හුරු වෙන්න.

මේ ජනප්‍රිය උපමා පූර්විකාව හමුවේ අපගේ ජීවිතයට ළඟා කර ගත හැකි පාඩම් බොහෝය. අභියෝගාත්මක ගමනක අවසානයේ ලබන ප්‍රතිඵලය අපගේ ජීවිතයට උත්ප්‍රේරකයක් වූ මේ කතාවේ නායිකාව අපට හමුවන්නේ කටුගස්තොට, මැදවල ගම්මානයෙනි. විශේෂවේදී මූල්‍ය කළමනාකරණ උපාධියක් ලබාගනිමින් දිගු ගමනක් යන්නට සිිහින මැවූ සකුන්තලා චතුරංගි තම ඉලක්කය වෙත සාර්ථක ලෙසින් ළඟා වී ඇත්තේ ඇන්තූරියම් වගාවෙනි.

තමා ලැබූ උපාධියට වඩා තම උත්සාහය පිළිබඳ ආත්ම විශ්වාසය තැබූ සකුන්තලා වසර හතක් වැනි කාලයක් තුළ දිගු ගමනක් පැමිණ ඇත්තේ ව්‍යාපාරික ඇන්තූරියම් වගාවේ සාර්ථකත්වයේ පල නෙළා ගනිමිනි. එම සාර්ථක ගමනේදී අැයගේ ව්‍යාපාරික දක්ෂතාවයෙන් තවත් කාන්තාවන් අසූවකට පමණ තම දිවිය සරු කරගැනීමට මඟ පෙන්වීමට හැකිවීම ඇය ලැබූ විශාලතම ජයග්‍රහණයයි. දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද හොඳම ඉල්ලුමක් පවතින ඇන්තූරියම් ප්‍රභේද 150කට වඩා වැඩි ප්‍රමාණයක හිමිකාරියක් වී සිටින ඇය අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක ඇන්තූරියම් පැළ පනස් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් වගාකර ඇත්තේ ඉතාමත් ආකර්ෂණීය ලෙසිනි. මේ මනරම් වූ උද්‍යානයේ හිමිකාරිය වූ සකුන්තලා චතුරංගි ඇය ආ ගමන් මඟ ගැන මතක ආවර්ජනය කරමින් අපගේ පිළිසඳරට ප්‍රවේශ වූයේ මෙලෙසිනි.

‘මගේ පාසල් කාලයේ පටන්ම සිහිනයක් වුණේ මගේම ව්‍යාපාරයක් පටන් ගැනීම. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහියංගණය ජාතික පාසලෙන්. එම පාසලෙන් උසස් පෙළ සමත් වෙලා සබරගමුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ උපාධිය හැදෑරීමට අවස්ථාව උදා වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වුණේ විශ්වවිද්‍යාලයේදී.

මම හිතුවා උපාධියක් ලබාගෙන රැකියාව කරමින් එක තැන හිරවෙන එක ලොකු පාඩුවක් කියලා. මම විවාහ වුණේ විද‍ත් ඉංංංජිනේරුවරයෙක් සමඟ. ඔහුගේ නම උදය කුමාර. මගේ සැමියා කිවුවා රැකියාවකට කොටුවෙලා ඉන්නවාට වඩා මගේම දෙයක් පටන් ගන්න කියලා. නමුත් මොකක් ද පටන් ගන්්නෙ කියලා අදහසක් තිබුණේ නැහැ. ඔය අතරේ මම මල් වගා කරන්න පටන් ගත්තා. මගේ මිතුරියෝ කණ්ඩායමක් සමඟ විවිධ වර්ගයේ මල් වගා කරගෙන යනකොට මගේ සැමියා කිවුවා පොඩි නෙට් හවුස් එකක් ගහලා ඇන්තූරියම් වගා කළොත් අපට පොඩි ආදායමක් ලබාගන්න පුළුවන් කියලා. මමත් ඒ අදහසට එක පයින් කැමැති වුණා.

අපි කුරුණෑගල - නුවර, පෑදෙණිය පාරේ නව නිවෙසක් ඉදි කළා. ඒ නිවෙසේ පැත්තක තමයි පොඩියට මේ වැඩේ පටන් ගත්තේ. ටික කාලයක් කරගෙන යනකොට Facebook එකෙන් මට ඕඩර්ස් ලැබෙන්න පටන් ගත්තා. ඇන්තූරියම් අලුත් වර්ග හඳුනා ගත්තා. මේ විදිහට අවුරුදු දෙක තුනක් කරගෙන යනකොට මගේ ව්‍යාපාරය යම් ස්ථාවරයක් ගොඩනඟා ගන්න අවස්ථාව ලැබුණා. මට හිතුණා මේ ව්‍යාපාරයෙන් තවත් කාටහරි පිළිසරණක් වෙන්න ක්‍රමවේදයක් හදන්න. එහෙම හිතලා තමයි මගේ හිතවත් කිහිපදෙනෙකු මේ ව්‍යාපාරයට සම්බන්ධ කර ගත්තේ. ටික කාලයක් මේ පිරිසත් සමඟ කරගෙන යනකොට ඒ අයට ලැබෙන ආදායම දැකලා තවත් අය අපිත් සමඟ එකතු වෙන්න පටන් ගත්තා. හැබැයි ඒ සම්බන්ධ වෙන අයට ප්‍රාග්ධනයක් නැති නිසා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ගැටලුවක් තිබුණා. මේ ගැටලුවට විසඳුමක් ලෙස ලංකා බැංකුව ‘මිතුරු කණ්ඩායම්‘ ක්‍රමය හරහා රුපියල් ලක්ෂයක පමණ ණයක් ලබාදීමේ ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ හරහා මාත් සමඟ ලොකු පිරිසක් එකතු වුණා. අපත් සමඟ සම්බන්ධ වුණු සාමාජිකයන්ට මවු ශාක පැළ ලබාදීමට මම කටයුතු කළා. මේ ලබාදෙන ණයට අමතරව මේ කටයුත්තට සම්බන්ධ වෙන අයගේ ශ්‍රම දායකත්වය මත තමයි මුලින්ම තමුන්ගේ Net House එක සකස් කර ගත යුත්තේ. එසේ සකස් කරගත් Net House එකේ පැළ වගා කිරීම සඳහා උපදෙස් හා පුහුණුව මම ඔවුන්ට නොමිලේ ලබා දෙනවා.

මේ කටයුත්ත සඳහා ලංකාවේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ ආයතනය විසින් ඔවුන් වගා කරන මල් හෝ පැළ නැවත ආපසු මිලදී ගන්නා බවට සහතික වෙන්නේ නැහැ. එසේ කිරීම සඳහා අප ගිවිසුමක් අත්සන් කළොත් එය ඉටු කිරීමට අපි බැඳී ඉන්නවා. නමුත් ගිවිසුමකින් තොරව පැළ මිලදී ගැනීම අපි සිදු කරනවා. බොහෝ විට මේ ව්‍යාපාර ජාලයේ ගැටලු ඇති වෙන්නේ මේ නිසයි. අපි බැංකුව හරහා ණය ලබා ගැනීම සඳහා ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙනවා. පසුව ඕනෑම කෙනෙකුට තමුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මේ ණය ලබාදීම හා අය කර ගැනීමේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ අපගේ සම්බන්ධීකරණය යටතේ.

මේ ව්‍යාපාරික ඇන්තූරියම් වගාවට ප්‍රවේශවීමට අදහස් තිබෙන ඕනෑම කණ්ඩායමකට උදවු කරන්න පුළුවන්. හැබැයි අප ඒ උපදෙස් හා මඟ පෙන්වීම ලබා දෙන්නේ විශ්වාසය මතයි. ඒ විශ්වාසය තහවුරු වෙන ආකාරයට කටයුතු කිරීමේ ඇති හැකියාව පිළිබඳ මුලින්ම සොයා බලනවා. දැනට කාන්තා ව්‍යාවසායිකාවන් 80ක් පමණ රට පුරාම අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ අය සියලුම දෙනා දැන් ඉතාම විශ්වාසයෙන් යුතුව තමුන්ගේ බැංකු ණය ගෙවලා අවසන් කර තිබෙනවා. දැන් ඒ අය ස්වාධීනව තමුන්ගේ ව්‍යාපාර කටයුතු අපත් සමඟ පවත්වාගෙන යනවා. ඒ බැඳීම තමයි හරිම වටින්නේ. ඒ අය ව්‍යාපාරික ඇන්තූරියම් වගාවෙන් ශක්තිමත් ආර්ථික මට්ටමක් ගොඩනඟා ගැනීම අපට ලොකු සතුටක්. ඒ සතුට මිල කරන්න බැරි තරම් වටිනවා. මම වගේම තවත් කාන්තාවක් දිරියෙන් නැඟී සිටීමට අත දෙන්න ලැබීම ගැන ඇත්තටම මට ලොකු සතුටක් වගේම අභිමානයක් තිබෙනවා.

 

ඔබත් මෙවැනි ව්‍යාපාරයක් මඟින් ජීවිතය ජයගන්නට සිහින මවන්නේ නම් ඒ සඳහා මඟ පෙන්වීමට තරුණී පුවත්පත නිබඳවම සූදානම්. ඔබත් ඇන්තූරියම් වගාවෙන් තම ජීවිතය ගොඩනඟා ගන්නට කැමැතිනම් ඔබගේ ඇන්තූරියම් වගාව දියුණු කර ගැනීමට හා පැළ අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළක් ගොඩනඟා ගැනීමට අපගේ 0112 429592 අංකය අමතන්න.

 

pix-  රුක්මල් ගමගේ