ඇඳුම් තෙමෙන තරමට දහදිය දමනවා

දෙසැම්බර් 11, 2019

ප්‍රශ්නය

මම 28 හැවිරිදි තරුණියක්මි. මා හට නිතරම දහදිය දමනවා. අතැම් විට ඇඳ සිටින ඇඳුම් තෙමෙන තරමට අධිකව දහදිය දමනවා. මේ නිසා මා දැඩි අපහසුතාවට පත්වෙන වාර අනන්තයි. මෙලෙස අධිකව දහදිය දමන්නේ ඇයි ? මේ සඳහා ප්‍රතිකාරයක් තිබෙනවා ද?

හොරණ - හංසිකා

පිළිතුර

අපගේ ශරීරය සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා දහදිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවිට දහදිය දමන්නේ ඒ නිසයි. නමුත් දහදිය දැමීම සඳහා හේතුවන එකම සාධකය වන්නේ උෂ්ණත්වය පමණක්ම නොවෙයි. ව්‍යායාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවන චිත්තවේගවල බලපෑම නිසා ද දහදිය ග්‍රන්ථි විසින් දහදිය පිට කරනවා.

නමුත් මේ කියන ස්වාභාවික හේතු නිසා නොව අසාමාන්‍ය ලෙස දහදිය පිටවනවා නම්, එය පිටුපස නිධන්ගත රෝගයක් තිබෙන්නට පුළුවන්.

තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩිපුර හෝර්මෝන නිපදවන විට නොනවත්වාම දහදිය දමනවා. එම නිසා අධික ලෙස දහදිය දැමීම තයිරොයිඩතාවයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධි තයිරොයිඩතාවය හේතුවෙන් බර අඩුවීම සහ හෘද ස්පන්දනය වේගවත් වීමක් ද සිදුවෙනවා.

රුධිර සීනි මට්ටම අඩුවීමේ ලක්ෂණයක් ලෙස ද අධික ලෙස දහදිය දමන්නට පුළුවන්. ආහාර වේල් මඟහරින විට, රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුවනවා. එවිට ශරීරය විසින් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇඩ්රිනලින් හෝර්මෝනය නිදහස් කරන අතර එම නිසා වැඩිපුර දහදිය දැමීමක් සිදුවනවා.

එමෙන්ම විවිධ ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසත් අධිකව දහදිය දමන්න පුළුවන්. රුධිර පීඩනය විධිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහදිය දැමීමේ හැකියාව තිබෙනවා.

හෘදයාබාධයක් පිළිබඳ අනතුරු අඟවා සිටින ලක්ෂණයක් ලෙස අධිකව දහදිය දැමීම සහ හිස කරකැවිල්ල ඇතිවිය හැකියි.ඔබට ඇත්තේ මෙවැනි හේතුවක් නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා සුදුසු වෛද්‍යවරයකු වෙත යොමුවන්න. නිතරම ජලය පානය කරන්න. ඇඟ නිවෙන ආහාර පාන වර්ග ලබාගන්න.

 

උපදෙස් - කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානායක

 

2019/12/11 තරුණි බලන්න