කාන්තාවෙනි මේ ලකුණු නොසලකා ඉන්න එපා

මාර්තු 11, 2020

කාන්තාවක යනු ලෝකයට තවත් ජීවයක් ගෙන එන්නියයි. දරු උපතකට පසු ඇයගේ ජීවිතය වන්නේ තමන් නොව ඉපදුණු දරු පැටියාය. තමන්ට වඩා අනුන් ගැන සිතීම ඇයගේ ජානගත පුරුද්දයි. එහෙත් මේ නිසාම ඇය අකාලයේ මරුමුවට පත්වන වාරයන්ට උදාහරණ ඕනෑ තරම්ය.

බරපතළ රෝග ලකුණු මඟ හැරීමෙන් නොසලකා සිටීමෙන් ඇය පවුලට අවශ්‍යම මොහොතක අහිමිවන අවස්ථාවන් එමටය.

මේ කාන්තාවන් බොහෝ විට නොසලකා හරින රෝල ලකුණුය.

රුධිරය පිටවීම ඕනෑම කෙනකුට මුත්‍රා සමග හෝ කහින විට හෝ මල සමඟ හෝ රුධිරය පිටවීම කොහෙත්ම නොසලකා සිටිය යුතු ලකුණක් නොවෙයි. කාන්තාවක නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ඔසප් චක්‍ර දෙකක් අතර රුධිරය පිටවෙනවා නම්

හෝ රුධිර බිඳුවක් පිටවූවා නම්

අධිකව රුධිරය වහනය වනවා නම්

කායික එක්වීමේදී වේදනාවක් දැනෙනවා නම්

ආර්තවහරණයෙන් පසු එනම් සම්පූර්ණයෙන් ආර්තවය නතර වු පසු රුධිරය පිටවුවහොත් රුධිරය බිඳුවක් පිට වුවත් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

මෙසේ රුධිරය පිටවීමට හේතුව රෝගයක් නොවිය හැකිය. එහෙත් වෛද්‍ය උපදෙස් පැතීම නම් අනිවාර්යයෙන් කළ යුතුය.

වයස අවුරුදු 40 ට පසු මෙසේ රුධිරය පිට වන්නේ ආර්තවහරණයට පෙර ලකුණක් නිසා විය හැකිය. එසේත් නැත්නම් ගර්භාෂ, ගැබ්ගෙල හෝ ඩිම්බ ආශ්‍රිත පිළිකාවක් නිසා විය හැකිය. ඇතැම් විට පොලිසිස්ටික් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය, ශ්‍රෝණි ප්‍රදාහයන්, මෙන්ම ෆයිබ්‍රොයිඩ්ස් ද මෙවැනි තත්ත්වයකට බලපායි.

උපත් පාලන පෙති වැනි සමහර ඖෂධ ආතතියද හේතුවන අවස්ථා තිබේ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැත. කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පැතීමයි.

අසාමාන්‍ය ලෙස බර වැඩිවීම හෝ බර අඩුවීම

කෙනකුගේ ශරීරයේ බරින් සියයට 5 - 10 ක් මාස හයක කාලයකද අඩුවීම වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යාමට ලැබෙන ඉඟියකි.

මෙවැනි තත්ත්වයන්ටද තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරිත්වය, පිළිකා, විෂාදය, ඩිමෙන්ෂියා වැනි කාරණා රැසක් බලපායි.

ඇතැම් විට නිසි ලෙස ආහාරවලින් පෝෂක උරා නොගැනීමත් හේතුවක් විය හැකිය.

ස්ටීරොයිඩ් ගණයේ ඖෂධ, විෂාදයට දෙන ඖෂධ, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් වැනි හෝර්මෝන බලපාන රෝග තත්ත්වයන්ද මේ කෙරෙහි බලපායි.

වෙහෙස හෝ දුබල බවක් දැනීම

වෙහෙස, කාන්තාවකට නම් හෘදයාබාධයක පෙර නිමිත්තක් විය හැකියි. වැඩ කිරීමේදී වෙහෙස වැඩි වෙනවා නම් එය බලා සිටිය යුතු තත්ත්වයක් නොවෙයි.

හදවත් රෝගයක් වැලඳෙන්න කලින් බොහෝ කාන්තාවන් සති ගණනක් තිස්සේ පැහැදිලිකර ගත නොහැකි වෙහෙසකින් පීඩා විඳියි.

ඒ සමඟම අජීර්ණය, පපුවේ දැවිල්ල (ගැස්ට්‍රයිටිස්), හුස්ම ගැනීමේ අසිරුතාව, පපුව තදවීම, පපුවේ අපහසුතාව, බෙල්ලේ උරහිස් වල අපහහසුවක්, කාංසාවක් ඇතිවෙයි.

පිරිමින්ට වඩා කාන්තාවකගේ හෘදරෝග ලකුණු වෙනස්ය.

මේ නිසාම හාද රීග ලකුණු ඇති වුණත් කාන්තාවන් වරදවා වටහා ගනියි.

තයිරොයිඩ් ග්‍රනථියේ අධි ක්‍රියාකාරීත්වය, රක්තහීනතාව, ලියුකීමියා වැනි සමහර පිළිකාද මීට හේතු වෙයි.

උපදෙස් - ප්‍රජා වෛද්‍ය  විශේෂඥ අමිල චන්ද්‍රසිරි

 

 

2020/03/11 තරුණි බලන්න