වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කෝවිඩ් - 19 ගැන ඇසෙන නවත ම තොරතුරු
අවුරුද්ද පුරාම එකම මාතෘකාවක් ලොව පුරාම එක හා සමානව කතාබහ වුණු වෙනත් වසරක් අපගේ මතකයේ නැත. කෝවිඩ් - 19 නම් වසංගතය ගැන මිහිපිට කතා නො කළේ ගොළුවන් පමණි. 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට කතා බහට ලක්වුණු නව කොරෝනා වෛරසය තව බාහෝ කලක් යන තුරු අපේ දෛනික ජීවිත උඩු යටිකුරු කරනු ඇත. එනිසා නිරන්තරයෙන් ඒ පිළිබඳ ලැබෙන පුවත් ගැන විමසිලිමත් වීම වැදගත්ය.
සතුට ගෙනෙන හෝර්මෝනයටත් කොරෝනාවෙන් බාධා
නව කොරෝනා වෛරසය සිරුරට බල නො පාන තැනක් නැති තරම්ය. සවුදි අරාබියේ විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා අනාවරණය කරගන්නා ලද්දේ කෝවිඩ් - 19 ආසාදනය වීම සහ මොළයේ ඩොපමීන් රසායනය මුදාහැරීම අතර වැදගත් සම්බන්ධතාවක් ඇති බවයි. ඩොපමීන් මොළයේ රසායනික පණ්වුඩකරුවකු බඳුය. මේ රසායනය අඩු වීම හෝ වැඩි වීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු පැන නඟියි. පාකින්සන් වැනි බරපතළ රෝග ද ඒ අතර තිබෙයි. ඩොපමින් අධ්‍යාපනයට, ක්‍රියාකාරිත්වයට, හෘද ස්පන්දන වේගයට, රුධිර නාල ක්‍රියාකාරිත්වයට, වකුගඩු වැඩ කිරීමට, කිරි දීමට, නින්දට, මානසිකත්වයට, අවධානය යොමු කිරීමට, වමනය - ඔක්කාරය පාලනය කිරීමට ආදී වශයෙන් බොහෝ දේට බලපායි. ඇතැම් වෛරස ශරීරගත වූ විට සිරුරේ ඩොපමින් මට්ටම ඉහළ යයි. එයින් වෛරසයට සිරුරේ සෛලවලට පහසුවෙන් ඇතුළු විය හැකිය. ඩොපමින් සාන්ද්‍රණය වෙනස් වීම නිසා වසා සෛලවල ක්‍රියාකාරිත්වය අඩාල වෙයි. සිරුරේ තිබෙන ප්‍රතිශක්තිය ද අඩාල වෙයි. තෙහෙට්ටුව, කරකැවිල්ල, සිහි නැති වීම වැනි ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග ලක්ෂණ ඇති වීමට හේතු වෙයි. මීට අමතරව ඩොපමින් ප්‍රමාණය ඉහළ යාම නිසා සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට ද ඉඩ තිබෙයි. රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් පැන නඟින්නේ මෙනිසා විය හැකි බවට පර්යේෂකයන් අනුමාන කරයි.
දරුණු රෝගීන් හඳුනා ගැනීමට ශීඝ්‍ර ප්‍රතිදේහ පරීක්ෂාව සාර්ථකයි
වරින් වර වෙනස් වෙමින් චණ්ඩ කුනාටුවක් මෙන් පැතිරෙන වසංගතය හඳුනා ගැනීමේදී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෙවත් ශීඝ්‍ර ප්‍රතිදේහ පරීක්ෂාව සාර්ථක බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ඉතා දරුණු ලෙස ආසාදිතවූවන් මෙමඟින් පහසුවෙන් හඳුනා ගත හැකිය.
පටු කොරිඩෝවකින් ගමන් කරන්නේ පරෙස්සමෙන්....
වෙනදා නිදහසේ ඒ මේ අත ඇවිද ගිය ද මේ කාලයේ නම් එය කෙසේවත් නො කළ යුත්තකි. මුව ආවරණ නො පලඳා පටු කොරිඩෝවකින් ආසාදිත කෙනකු දිගු වෙලාවක් ගමන් කළොත් ඔහු / ඇය පිටුපසින් නව කොරෝනා වෛරස් විසබීජ අඩි 16 ක් පමණ දුරට පැතිර යයි. කොරිඩෝවේ රෝගියාට පිටුපසින් ගමන් කරන වැඩිහිටියකුගේ පපු පෙදෙස දක්වා උසටත් ළමයකුගේ හිස මට්ටමටත් විසබීජය පැතිර පවතියි.
මාස්ක් නැත්නම් ෆේස් ෂීල්ඩ්වලින් වැඩක් නෑ
සමහරු මුව ආවරණ නො පැලඳ මුලු මුහුණ ඉදිරියෙන් ආවරණය වන සේ මුහුණු ආරක්ෂකයක් ( ෆේස් ෂීල්ඩ් ) පැලඳීමට පුරුදුවී සිටිනවා. එහෙත් මුව ආවරණයක් පලඳීන්නේ නැතිව මුහුණු ආරක්ෂකයක් පැලඳීමෙන් රෝගයෙන් ආරක්ෂා නො වන බව මෑතකදී කළ අධ්‍යයන මඟින් හෙළිවී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම
මේ වන විට ලෝක ජනගහනයෙන් සියයට දහයකට එනම් මිලියන 760 කට කෝවිඩ් - 19 වැලඳී අවසන්ය. එහෙත් බිලියන 7.6 ක් වන ලෝක ජනගහනයේ ඉතිරි ජනකාය ද සිටින්නේ රෝගී වීමේ අවදානමේය. එනිසා සුව නීති අකුරටම පිළිපදින ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙයි. නැත්නම් 2021 වසර උදාවන්නේම කෝවිඩ් - 19 ආසාදිතයන් පිළිබඳ අවාසනාවන්ත පුවත් සමඟිනි.
අන්තර්ජාලයෙනි