සාර්ථකම කෝවිඩ් ඒකකයක් ඇති බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල

පෙබරවාරි 7, 2022

කොරෝනා වසංගතය හමුවේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ඇතිවූයේ විශාල ප්‍රබෝධයකි. බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු යැයි පැවසුවත් දේශීය වෛද්‍ය ක්‍රම හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ වූ විශ්වාසය වඩාත් තහවුරු වූයේ එයින් ලද ප්‍රත්‍යක්ෂ වූ සාර්ථක ප්‍රතිඵල නිසයි. නිරතුරුවම හුමාලය ඇල්ලීම, දේශීය කැඳ වර්ග පානය කිරීම, දේශීය පලතුරු වර්ග ආහාරයට ගැනීමට ජනතාව උනන්දු වුයේ එහි වටිනාකම වඩාත් හොඳින්ම අවබෝධ කර ගනිමිනි.

මෙවැනි පසුබිමක දෙවැනි කෝවිඩ් රැල්ල වේගයෙන් පැතිර ගිය අතර දේශීය වෛද්‍ය ක්‍රම සඳහා උනන්දුව වැඩිවූ රෝගීන් දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහල් කරා පැමිණෙන්නට විය. ගම්පහ ආයුර්වේද රෝහල, නාවින්න වෛද්‍ය පර්යේෂණායතනය හා බොරැල්ල ආයුර්වේද රෝහල් කරා පැමිණි කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවිය. එයට පිළියමක් ලෙසින් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂ කෝවිඩ් ඒකකයක් ආරම්භ කරනු ලැබුවේ නේවාසික ප්‍රතිකාර ලැබීමේ වාට්ටු සංකීර්ණයක් ද සමඟිනි. මේ විශේෂ වූ ඒකකය වෙත රෝගීන් ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබඳ දැන ගැනීම සඳහා අප එහි ගියේ මේ වනවිටත් ඔමික්‍රෝන් ප්‍රභේදය කෙමෙන් හිස ඔසවන වකවානුවකය.

එහිදී අපට හමු වූ එම රෝහලේ කෝවිඩ් 19 අන්තර් ප්‍රතිකාර ඒකකයේ කාර්යය භාර වෛද්‍ය නිලධාරි වසන්ත පද්මකුමාර එහි කටයුතු පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

“ආයුර්වේද සභාව මඟින් කෝවිඩ් ඒකකය අපගේ රෝහලේ ඇරඹිමේ අරමුණ වුණේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මඟින් කෝවිඩ් රෝගීන් සුවපත් කිරීමයි. ඒ වගේම අපි රෝගය නිසා ඇතිවන සංකූලතා අපේ දේශීය ප්‍රතිකාර මඟින් අවම කරලා, වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ ඒකකය ස්ථාපිත කළේ. මෙවැනි ඒකකයක් සෑම ආයුර්වේද රෝහලක ආරම්භ කිරීමේ සංකල්පයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ තිබුණා. අපි මේ රෝහලේ ප්‍රතිකාර සිදුකරන්නේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලට අනුකුලවයි. එයට අමතරව අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමත් සිදු වෙනවා. මේ රෝහලේ ප්‍රතිකාර කිරීමට අමතරව ජීවිත සුරක්ෂිතතාව රැක ගැනීමට අපට හැකි වී තිබෙනවා.

සමහර අවස්ථාවකදී මෙහි ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී රෝගියකුට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබාදීමේ පද්ධතියක් අපට තිබෙනවා. ඒ වගේම හදිසියේ හදවත් රෝගයක්, නියුමෝනියා තත්ත්වයක් හෝ කිසියම් හදිසි ප්‍රතිකාර ලබාදීමේ තත්ත්වයක් ඇතිවුණොත් ඒ සඳහා ජාතික රෝහලට හෝ කාසල් රෝහලට ක්ෂණිකව යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ ඇතිවන ඕනෑම සංකූලතාවකට ඔරොත්තු දෙන ආකාරයටයි.

නමුත් අපගේ ප්‍රතිකාර ක්‍රම අනුව එලෙස වෙනත් බටහිර රෝහලකට යොමු කිරීමට සිදු වුණේ ඉතාමත් අඩු රෝගීන් සංඛ්‍යාවක්. දැනට රෝගීන් දෙතුන් දෙනකුට වඩා එලෙස ප්‍රතිකාර ගැනීම සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ වෛද්‍යවරියකගේ සේවය මේ රෝහලේ තිබීම තවත් විශේෂත්වයක්. අපේක්ෂා රෝහලේ මලිති දිසානායක මහත්මිය අපේ ඒකකයේ සේවය කරනවා. ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සිටිනවා. මෙයට අමතරව අපේ ඒකකයේ විශේෂ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් 12ක කණ්ඩායමක් සේවය කරනවා. ඊට අමතරව IDH රෝහලේ පුහුණුව ලැබූ 08 දෙනකුගෙන් යුත් හෙද කණ්ඩායමක් මෙහි සේවය කරනවා. ඒ වගේම උපස්ථායක සහ කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 12ක කණ්ඩායමක් පැය 24 පුරාම ඉතාම කැපවීමෙන් කටයුතු කිරීමත් අගය කළ යුතුයි. අපේ මේ කණ්ඩායමේ සාමූහිකත්වයෙන් තමයි මෙහි සියලු කටයුතු සිද්ධ වෙන්නේ.

අපගේ රෝහලට ඇතුළත් කර ගැනීම සිදු වෙන්නේ දිවයින පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවා ජාලය හරහා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් සෘජුවම රෝගීන් අපගේ රෝහලට යොමු කිරීම මඟින්. එසේම සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවකයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔවුන්ට වඩාත් හොඳ ප්‍රතිකාර ලබාදීම සඳහා අප වෙත යොමු කරනවා. ඒකට හේතුව අපගේ ප්‍රතිකාර ක්‍රම හරිම ඉහළ මට්ටමක පවතිනව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගෙන තිබීමයි. ඒවගේම සෘජුවම රෝගීන් ඉල්ලීම් කරනවා අපට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන ලෙසට. අප ඒ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු කේන්ද්‍රයට යොමු කරනවා. එම ඒකකය හරහා අපගේ රෝහලට ඇතුළත් කර ගැනීම සිදු වෙනවා.

එයින් අපගේ රෝහලට රෝගීන් 600 පමණ ඇතුළත් වී තිබෙනවා. රෝගීන් 500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ සුවය ලබා පිටවී ගිහින් තියෙනවා. මේ වන විට අපගේ රෝහලේ 105ක් පමණ ගැහැනු හා පිරිමි දෙපාර්ශ්වයම ප්‍රතිකාර ලබනවා. ඇත්තටම මේ රෝහලේ මේ ඒකකය ආරම්භ කළේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භයත් සමඟයි. එදා සිට මේ දක්වා අපගේ ඒකකයට ඇතුළත් වු කිසිම රෝගියෙක් මිය ගිහින් නැතිවීම විශේෂ වාර්තාවක්.

මේ රෝහල ආයුර්වේද සභාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශික්ෂණ රෝහල ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මෙහි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතර ශික්ෂණ කටයුතු සිසුන්ට ඉගැනීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. මේ රෝහලේ කෝවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ ආමය ප්‍රමුඛ කරගෙනයි. රෝගියා ආහාර ගත් පසු විස තත්ත්වයක් ඇති වුණොත් එය කෝවිඩ් රෝගය වැඩි කිරීමට හේතුවන බවයි අප විශ්වාස කරන්නේ. ඒ නිසා අප රෝගීන්ට ආහාර ලබාදෙන්නේ විශේෂ රටාවකට අනුවයි. එය ආයුර්වේද ක්‍රමයකට අනුව තමයි ආහාර සහ ඖෂධ සියල්ල ලබාදීම සිද්ධ වෙන්නේ. රෝගීන්ගේ සංකූලතා තත්ත්වය අනුවයි එක් එක් රෝගියාට ප්‍රතිකාර සිදුකරන්නේ. මේ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර තමයි ඖෂධීය හුමාලය ඇල්ලීම. එසේම වාෂ්ප තෙල් ඇල්ලීම කරනවා. ඊට අමතරව දිනපතා ඖෂධීය පානයක් කිහිප වරක් ලබා දෙනවා. ආහාර ලබාදීමට පෙර ලුණු කැඳ, තැම්බුම් හොද්ද වැනි දේ ලබා දෙනවා. අපි උදේ හා දවල් ආහාරයට අමතරව සවස සුප් වර්ගයක් ලබා දෙනවා. දවල් ආහාරයට පෙර තැම්බුම් හොද්ද ලබාදීමත් අනිවාරයයෙන් සිදුවන කටයුත්තක්. මේ සියලු දේ සිදුවන්නේ ආයුර්වේද ප්‍රතිකාරවලට අනුකූලවයි.

අපගේ රෝහලට ඇතුළත් වී දින 2 - 3කින් හොඳ තත්ත්වයට පත්වීම තුළ ඇතිවෙන විශ්වාසය නිසා රෝගීන්ට ඉතා ඉක්මනින් ගෙදර යෑමට අවස්ථාව උදා වෙනවා. එසේම අපගේ ප්‍රතිකාර තුළින් පසුව ඇතිවන සංකුලතා අවමයි. ඇවිදීමට නොහැකිවීම, මාංසපේශීන් රිදීම, මහන්සි ගතිය වැනි දේ ගැන රෝගීන්ගෙන් ලැබෙන පශ්චාත් සංකූලතා හරිම අඩුවීම අපගේ ප්‍රතිකාරවල තවත් විශේෂත්වයක්. අප පසු විපරම හා ප්‍රතිකාර කිරීමත් නිරන්තරයෙන්ම සිදු කරනවා. මෙහිදී අපගේ ඖෂධ නිෂ්පාදනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමා හා කාර්යය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂතුමිය හා මුළුතැන්ගෙයි කාර්යය මණ්ඩලය සියලුම කාර්යය මණ්ඩලයන් අප සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම අපට විශාල පහසුවක් සේම විශාල ශක්තියක්. ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම මත තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ."

 

විශේෂ ස්තූතිය -

කෝවිඩ් ඒකකය භාර ප්‍රධාන හෙද නිලධාරි

චතුරංග මහතාට