කෝවිඩ් කාලේ බිත්තර මේ තරම් වැදගත් වුණේ ඇයි ?

පෙබරවාරි 7, 2022

“ප්‍රතිශක්තිය වැඩි කරගන්න බිත්තරයක් කෑමට ගන්න. “ වසංගතයත් සමඟ බොහෝ දෙනකුට ඒ අවවාදය ලැබුණා. කෝවිඩ් - 19 වැලඳුණු අය වගේම නීරෝගි අයත් මේ කාලයේ වැඩිපුර බිත්තරයක් කෑම පිඟානට එක්කර ගන්න අමතක කරන්නේ නැහැ. බිත්තරවලට මේ තරම් ඉල්ලුමක් ආවේ ඇයි ?

සැබැවින් ම මෙහි ප්‍රතිශක්තිය ඉහළ නංවන ගුණයක් පවතිනවා. නීරෝගි කෙනකුට කිසිදු ගැටලුවක් නැතිව දිනකට බිත්තරයක් කෑමට ගැනීමට පුළුවන්. එයින් අහිතකර කොලෙස්ටරෝල් වැඩි වීමක් වන්නේ නැහැ. මෙහි අඩංගු සිලේනියම් හදවතට ද ගුණයි. සිලේනියම් අහිතකර කොලෙස්ටරෝල් කපා හරිනවා.මෙහි අධික ලෙස ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට මේවා නැතිව ම බැහැ. සෑම බිත්තරයක ම වාගේ මාංසපේශී වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන ග්‍රෑම් 7 ක් අඩංගුයි. ඊ‍ට අමතරව සිලේනියම්, විටමින් A, B, K වර්ධනය ඉහළ නංවන රයිබොෆ්ලෙවින් වගේ විටමින් බී කාණ්ඩ අඩංගුයි. දිනකට බිත්තරයක් කෑමට ගන්නවා නම් සිරුර රෝගවලින් බේරා ගෙන රැක ගැනීම ඉතා පහසුයි.

උණ, ඉන්ෆ්ලුවෙන්සාව ඇති විට බිත්තර නිතර කෑමට දීම කාලයක සිටම බොහෝ ජාතීන් අතර පවතින පුරුද්දක්. මෙහි අඩංගු සින්ක් ඉක්මනින් ම සෙම්ප්‍රතිෂ්‍යාව සුව වීමට උපකාරී වෙනවා. බිත්තරයක විටමින් බී කාණ්ඩ රැසක් ඇති නිසා රෝගී වූ විට පවා සිරුරට ජවයක්, ප්‍රබෝධයක් ලැබෙනවා.වැඩි දෙනෙක් හිතන්නේ බිත්තරයේ පෝෂණ ගුණයෙන් අධිකම කොටස සුදු මදය කියායි. සමහරු කහ මදය කෑමට ගන්නෙත් නැහැ. ඒත් කහ මදයේ ප්‍රෝටීන හා සිලේනියම් අධිකව අඩංගුයි. ඒ නිසා බිත්තර කහ මදයට කුඩම්මා‍ ගේ සැලකිලි දක්වන්න එපා.