ඔමික්‍රෝන් ගැන සැහැල්ලුවට හිතන්න එපා

පෙබරවාරි 7, 2022

 

(රොයිටර් පුවත්,බීබීසී හා ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අසුරිනි)

 

කෝවිඩ් එන්නත් නිසා ඇතිවන ඔසප් වෙනස්වීම් තාවකාලිකයි.

බ්‍රිතාන්‍යයේ කළ අධ්‍යයන දෙකකින් හෙළිවී අත්තේ කෝවිඩ් එන්නත් ලබා ගත් පසු ඇතැම් කාන්තාවන් ඔසප් චක්‍රය සම්බන්ධ විවිධ අත්දැකීම්වලට මුහුණ පා ඇති බවයි. සමහරුන්ට වැඩිපුර රුධිරය පිටවෙලා. වෙනදාට වඩා අඩුවෙන් ඔසප් වන අයත් ඉන්නවා. තවත් අයගේ දින වෙනස්වෙලා. බොහෝ දෙනකු ගේ ඔසප් චක්‍රය මාස දෙක තුනකට පසු යථා තත්ත්වයට පත්වෙලා. එන්නත් විරෝධීන් කෝවිඩ් එන්නත් නිසා මඳසරු වන බවට වැරැදි මතයක් ද සමාජයේ ප්‍රචලිත කළා. එය ද නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් වැරැදි මතයක් බව ඔප්පු කරලා. ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වැඩිපුරම මෙවැනි සංකූලතා ඇති වී තිබෙන්නේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන කාන්තාවන්.

 

මීළඟ ප්‍රභේදය ඔමික්‍රෝන්ටත් වඩා වේගයෙන් බෝ වෙනවා

 

නව කොරෝනා වෛරස් ප්‍රභේද ඔමික්‍රෝන්වලින් අවසන් වේවියි කියා සැනසුම් සුසුම් හෙළුවත් එය එසේ වන්නේ නැහැ.මීළඟ ප්‍රභේදය මීට වඩා බෙහෙවින් බෝවනසුලු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ දිනවල වෛරස් උණක් ද රටපුරා පැතිර යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

ශ්‍රී ලාංකික අප ඕනෑම දෙයක් ඉක්මනින් අමතක වන්නන් ලෙස චිර ප්‍රසිද්ධයි.

ශ්‍රී ලාංකික අප ඕනෑම දෙයක් ඉක්මනින් අමතක වන්නන් ලෙස චිර ප්‍රසිද්ධයි. මුහුණු ආවරණය නිකටේවත් නැති අය පවා අපට මඟ තොටේදී හමු වුණා. ඇතැම් සුපිරි වෙළෙඳ සල්වල ආරක්ෂක නිලධාරීන් පැමිණෙන පාරිභොගිකයන් දෑත් සෝදා ගෙන වෙළෙඳසලට ඇතුළු වනවා ද කියා සොයා බැලීම නතර කළා. උෂ්ණත්වමානය ද වෙළෙඳ සලේ මුල්ලකට තල්ලුවී ගොසින් තිබුණා. ජීවිතයට ම විනෝද ගමන් ගොස් නැති අන්දමින් පවුල් පිටින් විනෝද ගමන් යාමට පටන් ගත්තා. කාර්යාලවල මුහුණු ආවරණ නො පලඳමින් සුව නීති කඩන්නන් දවසින් දවස වැඩි වුණා. ලෙඩේ හැදිලා මැරැණත් දාඩිය දාද්දි මුහුණු ආවරණ දාන්න බැහැ කියන අයත් අප අතර ඉන්නවා. සිරීපාදයේ එක් පඩි පෙළක් නැඟ තවත් පඩි පෙළක් නැඟීමට කෙනකුට විනාඩි 15 ක් ගත වන තරමට එහි සෙනඟ පිරිලා. කෝවිඩ් - 19

නමින් වසංගතයක් තිබුණු බව වැඩි දෙනකුට අමතකවී ගිහින්. එසේ වූයේ තවමත් ඩෙල්ටා පවතිද්දීයි. සංගීත සන්දර්ශනවලට අයිස්ක්‍රීම් කානිවල්වලට යන බොහෝ දෙනා මුහුණු ආවරණ ගලවලා නිදහසේ ඔමික්‍රෝන්ට සිරුරට එන්න සලස්වනවා. නො දැනුවත්වම ඔමික්‍රෝන් සුනාමියකට මුල පිරෙනවා. මෙසේ ගියොත් කලින් පැවැති දරුණු තත්ත්වය ම නැත්නම් ඊට වැඩි දරුණු තත්ත්වයක් ඇති වීම වළක්වන්න නම් බැහැ. මුලින් ඔමික්‍රෝන් ගැන සුළුවෙන් හිතුවත් එයත් හිතූ තරම් අහිංසක නැති බව ලොවට ම ඔප්පු වෙලා. ඩෙල්ටාවල‍ට වඩා ඔමික්‍රෝන්වලින් මියයන ගණන අමෙරිකාවේ වැඩි බව වාර්තාකර තිබෙනවා. දැන් දැන් ඔමික්‍රෝන් ගැන වැඩියෙන් ලැබෙන්නේ නරක ආරංචියි.

 

වැඩිකාලයක් පවතිනවා

මේ දක්වා ලොව ආක්‍රමණය කළ සියලු ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්ලාස්ටික් ද්‍රව්‍ය මත හා මිනිස් සමේ වැඩි කල් පවතින බව ජපන් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. රසායනාගාර පර්යේෂණයකින් මේ බව හෙළිවී තිබෙනවා. මේ නිසා ඩෙල්ටා ආක්‍රමණය කරමින් ඔමික්‍රෝන් ලොව පුරා පැතිරෙනවා.මුල්ම නව කොරෝනා වෛරසය පැය 56 ක් ද, ඇල්ෆා පැය 191.3 ක් ද, බීටා පැය 156.6ක් ද ගැමා පැය 59.3 ක් ද ඩෙල්ටා පැය 114 ක් ද ප්ලාස්ටික් මතුපිටක පවතිනවා. ඔමික්‍රෝන් පැය 193.5 ක් පවතිනවා. මිනිස් සමේ පවතින කාලත් ඒ වාගෙයි. මුල්ම වෛරසය පැය 8.6 ක් ද ඇල්ෆා පැය 19.6 ක් ද බීටා පැය 19.1 ක් ද ගැමා පැය 11 ක් ද ඩෙල්ටා පැය 16.8 ක් ද මිනිස් සමේ වෛරසය පවතිනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය පැය 21.1 ක් පවතිනවා. සියලුම කොරෝනා ප්‍රභේද ඇල්කොහොල් අඩංගු සැනිටයිසර් ( විසබීජ නාශක දියරවලින් )

මඟින් තත්පර 15 කින් විනාශ වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසබීජ නාශක දියරවලින් නිතර දෑත් පිරිසුදු කිරීමේ වටිනාකම යළි යළිත් පෙන්වා දෙනවා.