වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
කාන්තාවන්ගේ ශීර්ෂ රෝග සඳහා ආයුර්වේද ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර
බොහෝ කාන්තාවන්ට පවතින අසහනකාරී හිසේ රෝග හෙවත් ශිරෝ රෝග ගැන අප දැනුවත් වීම වඩා වැදගත් වෙයි. වාත කෝපය නිසා හිසට කටුවලින් අනින ආකාරයේ ප්‍රබල වේදනාවක් හට ගනියි.
පිත් කෝපය ප්‍රබල වූ විට හිසේ දාහ ගතියක් සමඟ හිසේ වේදනාවක් හට ගනී. මේ අවස්ථාවේදී ඇස්වලින් හා කනෙන් දුම් පිටවීම වැනි ගතියක් දැනෙයි. එසේම සෙම් කෝපය නිසා ස්ත්‍රී හිසේ රුදාවේදී ප්‍රතික්ෂා ගතිය සහිතව නාසයෙන් දියර ගතිය, කිවිසුම යෑම, හිසේ බර ගතිය ඇතිව ශීර්ෂ වේදනාව ඇති කරයි.
එසේම දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශීර්ෂ රෝගයන් 11ක් වශයෙන් දක්වා තිබේ. මෙහිදී අප පළමුවෙන් හඳුන්වා දෙන්නේ ඉතාම පීඩාකාරී වූ ඉරුවාරුදාවයි. මෙය පිත කෝපවීමෙන් හටගන්නා ශීර්ෂ රෝගයකි. පිත හටගන්නේ ශරීරයේ අග්නි බලයෙනි. එම නිසා මෙම රෝගය වඩාත් බලගැන්වෙන්නේ හිරුගේ උදාවත් සමඟයි. මෙහිදී හිසරදය, හිසේ බර ගතිය, ක්ලාන්තය, නිද්‍රාශීලිගතිය ඇති වෙයි. රෝගියාගේ රුධිර පීඩනයද වැඩි බව පෙනේ. හිරු උදා වී මුදුන් වීමත් සමඟ මධ්‍යාහ්නය වන විට රෝගයද උත්සන්න වෙයි. රුධිර පීඩනයද වැඩි වෙයි. ක්‍රම ක්‍රමයෙන් හිරු බැස යාමේදී රෝගයද පහ වී රුධිර පීඩනයද අඩු වෙයි. මෙම රෝගය සඳහා අප සතුව නිට්ටාවට සුව කළ හැකි ඖෂධ පවතියි. සරල ප්‍රතිකාරයක් ලෙසට සුදු හඳුන්, සැවැන්දරා මුල් ඇල් දියෙන් අඹරා කපු රෙදිකඩක ගා නළල මත ප්ලාස්ටරයක් ලෙස යෙදීම සුවය ලද හැකි ප්‍රතිකාරයකි.
වියැළෙන්නට නොදී එම රෙදිකඩ දෙහි ඇඹුලෙන් හා කෝමාරිකා යුෂයෙන් වරින්වර තෙමිය යුතු වෙයි. මේ රෝගය නිට්ටාවට සුව කළ හැකි ආලේපන සහ කසාය වර්ග දේශීය වෛද්‍ය විද්‍යාවේ බොහෝ ප්‍රමාණයක් පවතී.
ඊළඟට අප විමසුමට ලක් කරන්නේ ආර්ද්‍රව භේදකය යනුවෙන් අප හඳුන්වන බටහිර වෛද්‍ය විද්‍යාවේ මිග්‍රේන් රෝගයයි. එම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ පිත, වාතය හෝ කප යන ත්‍රිදෝෂයම එක විට ප්‍රකෝප වීම නිසා දිනපතා හෝ දින දෙක තුනකට වරක් කරකැවිල්ල වැනි හිසරදයයි. මෙම වේදනාව හට ගන්නේ හිසේ එක් පැත්තකට පමණකි. මෙම රෝග පාරම්පරිකව මානසික ආතතිය නිසා හටගන්නා බව විශ්වාස කරයි. අනන්ත වාතය නම් හිසරදයේ රෝග ලක්ෂණ හිසට විදුලිය වැනි වේදනාවක් නළල ප්‍රදේශයෙන් හටගනී. ඇස්, හකු ප්‍රදේශය, කණ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙයි. වායු පිත විශාදය නම් හිසරද රෝගයේ ලක්ෂණ වන්නේ කෙස්වල මුල සීමිත ලෙස බෙල්ලේ හුඹස් මැටි වැනි දෙයක් හටගෙන සොටු දියර සෙම ගැලීම හටගනී. හිස්හොරි රෝගය ද තවත් ශීරෝධාර රෝගයකි. මෙය ශීර්ෂ මෙන්ම චර්ම රෝගයකි. මේ සඳහා ශීර්ෂාලේපන දේශීය වෛද්‍ය විද්‍යාවේ පවතී.
අමු නෙල්ලි දෙහි යුෂයෙන් අඹරා හොඳින් හිසේ ගා, සම්බාහනය කර, තලපයක් ලෙස පැයක් පමණ තබා, ස්නානය කර, හිස පිරිසුදු කර තල තෙල් හෝ විශාදී තෛලය හිස මත ගල්වන්න.
ශීර්ෂ කන්දතිය හෙවත් හිසේ කැසීමද තවත් ශීර්ෂ රෝගයකි. එයටද ඉහත ආලේපයම සුදුසු වන අතර ගොඩපර ගෙඩි තළා එම යුෂ හිසේ ගා පැයක් පමණ සිට නෑම සුදුසු වෙයි.
ඉන්ද්‍ර මුක්ත හෙවත් උඳුගොව්වන් කෑම ද තවත් ශීර්ෂ රෝගයකි. මෙහි ලක්ෂණ වන්නේ හිසේ තැනින් තැන කෙස් ගැලවී යාමයි. මෙය කිසි ලෙසකත් සතෙකුගෙන් සිදු නොවන බවත් හිස රක්ත රෝගයක් නිසා හටගන්නා බව දේශීය වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙයි.
මේ සඳහා ප්‍රතිකාර වන්නේ මනෝශීල කල්කය දෙහි ඇඹුලෙන් අඹරා ගෑමත්, හීරැස්ස පළු යුෂයෙන් නියඟලා අල අඹරා ගෑම, අළුහුණු වරා තෙලෙන් අඹරා ගෑම ද අත්දුටු ප්‍රතිකාර වෙයි. මේවා යෙදීමේදී ආසාදිත ප්‍රදේශයේ පමණක් යෙදීම ඉතා වැදගත් වෙයි.