ඔබත් සුද යෑම සඟවා සිටින්නියක් ද?

මාර්තු 7, 2022

රෝගයක්ම නොවුණත් කරදරකාරී අවස්ථාවක් වන සුද යෑම

දියණිවරුන් මේ බව මවගෙන් සඟවා තබන්නට උත්සාහ ගත්තත් ගැටවර වයසේ සිටින දියණියගේ මවක් ඇගේ යට ඇඳුම් පරීක්ෂා කර බැලීම වගකීමකි. සුද යන්නේ නම් යට ඇඳුම් බොහෝ විට දුර්වර්ණ වේවි. ඇතැම් විට දුගඳක් හමාවි.

ගැටවර වියේ පසුවන්නියන්, යුවතියන්, කාන්තාවන් මේ බොහොමයක් දෙනා ‘සුද යෑම‘ යන තත්ත්වයෙන් පෙළෙන අය. එහෙත් ඒ බව සඟවා සිටින්නටයි ඔවුන් වැඩිදෙනෙක් උත්සාහ දරන්නේ.

වැඩිවියට පත්වන්නටත් පෙර කුඩා දරුවන්ටත් මේ තත්ත්වය ඇති බව ඔබ දන්නවාද? දියණියකගේ ආදරණීය මවක්වන ඔබ මේ පිළිබඳ සොයා බැලීම හරිම වටීවි.

දියණිවරුන් මේ බව මවගෙන් සඟවා තබන්නට උත්සාහ ගත්තත් ගැටවර වයසේ සිටින දියණියගේ මවක් ඇගේ යට ඇඳුම් පරීක්ෂා කර බැලීම වගකීමකි. සුද යන්නේ නම් යට ඇඳුම් බොහෝ විට දුර්වර්ණ වේවි. ඇතැම් විට දුගඳක් හමාවි.

කුඩා දැරියන් යට ඇඳුමක් නො අන්දවා වැලි පොළොවේ තැබීම නිසා නොයෙකුත් දිලීර රෝග ආසාදනය විය හැකියි. ඊට අමතරව යම් යම් කෘමි සතුන්, පණුවන්, පබළු ඇට වැනි දෑද යෝනි මුඛයෙන් ශරීරයට ඇතුළු විය හැකියි. එමඟින් එම ප්‍රතික්‍රියාවන් නිසා ද යෝනිය, ගර්භාෂය ආසාදනයට ලක් විය හැකියි.

කාන්තාවන් පරිහරණය කරන යට ඇඳුම් ඉතා පිරිසුදුව භාවිත කළ යුතුවේ. යට ඇඳුම් අයන් කර ඇඳීම අනවශ්‍ය ක්‍රියාවකි. නිතර නිතර සබන් දමා යෝනි මාර්ගය අසල සේදීම ද අනුවණ ක්‍රියාවකි. මන්ද යෝනි මාර්ගය අවට හිතකර බැක්ටීරියා වර්ග ද ජීවත් වේ. ඒවා සබන්වල විසබීජනාශක ගුණය නිසා මිය යයි. එම විසබීජවලින් කෙරෙනුයේ යෝනි මාර්ගය අවට ස්වභාවිකව ලැබෙන රැකවරණය විශේෂයෙන්ම Ecoli වලින් සිදුවන ආසාදන මැඩ පැවැත්වීමයි.

සුද යෑම නොහොත් ශ්වේත ප්‍රදරය ඉතා අසාධ්‍ය රෝගයක් නොවී එක්තරා මට්ටමක යම් යෝනි ස්‍රාවයක් පැවතිය හැකියි. එය බොහෝ විට අවර්ණ, දුගඳකින් තොර තත්ත්වයකි. දුඟදත් සමඟ කහ, රතු මිශ්‍ර වර්ණයකින් යෝනි ස්‍රාව පවතින්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුවේ. යෝනිය අවට කැසීමක්, බිබිලි දැමීමක්, සැරව ගැලීමක් ඇත්නම් පළපුරුදු ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයකු හමුවන්න.

ශාරීරික හා මානසික රෝගයන්, පුරුෂයන් කිහිපදෙනකු සමඟ සංසර්ගයේ යෙදීම, කාන්තාව අකැමැත්තෙන් සංසර්ගයේ යෙදීම, යෝනි මාර්ග සංසර්ග ක්‍රමවලට අමතරව වෙනත් සංසර්ග ක්‍රම භාවිතය, මාසික ඔසප් දිනවල සංසර්ගයේ යෙදීම, පණු රෝග ආශ්‍රිත රෝගවලදී‍, රහස් ප්‍රදේශය පිරිසුදුව නොතිබීම, ගර්භාෂයේ ගෙඩි, යෝනි තොල් ආසාදනය වීම, කුඩා දියණියක් නම් යෝනිය තුළට බාහිර දෙයක් (ධාන්‍ය වර්ග, පබළු වැනි) ඇතුළු කරගෙන තිබීම. ගර්භාෂ ග්‍රීවයේ ඝනවීම් (Cervix Uterus) ගර්භාෂ ගෙඩි ද බලපායි. ස්වේත ප්‍රදර අවස්ථාවලදී කාන්තාව කෙට්ටුවී සිරුරට යම් යම් අපහසුතා ද ඇති වේ. කොන්දේ කැක්කුම්, අතපයේ වේදනා, නොරිස්සුම් ගතිය ද ඇතිවේ.

ඔබ විවාහක කාන්තාවක් නම් එම රෝගී අවස්ථා පවුල් ජීවිතයට ද බලපෑ හැකියි. ලිංගික ඉන්ද්‍රීයයන් අවට පිරිසුදුකම විවාහ ජීවිතයට ද තදින් බලපායි.

සුද යෑම රෝගී තත්ත්වයක් ලෙසට ම සැලකෙන්නේ නැහැ. එහෙත් එය කරදරකාරි අවස්ථාවක්. කොහොම නමුත් නොසලකා හරින්නත් බැහැ. රෝග ලක්ෂණ අනුව පළපුරුදු වෛද්‍යවරයෙක් මේ බව හඳුනා ගනීවි. මන්ද යම් හෙයකින් කාන්තා ඔබ පෙළෙන්නේ ලිංගාශ්‍රිත රෝග තත්ත්වයක මුල් අවධියේ නම් එය සුළුවෙන් තකන්නට බැහැ. එවිට යෝනි පරීක්ෂාවක් සහ රසායනාගාර වාර්තා මඟින් රෝග විනිශ්චය කරාවි.

සුද යෑම අඛණ්ඩවම නොවුණත් කාලෙන් කාලෙටත් සිදුවන අවස්ථා දැක ගත හැකිවේවි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සෙම සහ පිත කෝපවීම නිසා ඇත්වන්නකි. මීට අමතරව යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන නිසා ද සුද යෑම හා ඊට සමාන රෝගී තත්ත්වයන් ඇතිවේවි.

සුද යෑම ආශ්‍රිත තත්ත්වයක් පවතියි නම් උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටීම යහපත්. දීර්ඝකාලීනව මානසික ආතතියකින් පෙළේ නම් එය ද හේතුවක් වේවි.

සුද යෑම නොසලකා හැරිය නොහැකිවන්නේ එය ඇතැම් විටෙක තවත් රෝග රාශියකට මූලාරම්භය විය හැකි නිසයි.

සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනයවන කාලයේදී, මාසික ඔසප් වීම ආසන්නයේදී, ලිංගික උත්තේජනයන්වලදී, ගර්භණීත්වය යන අවස්ථාවලදී දුර්ගන්ධයෙන් තොර අවර්ණ සුද යෑමක් තිබිය හැකියි.

එහෙත් ලිංගික සබඳතාවක් නොපවත්වන තරුණියන් අතර, ආර්තවහරණය සිදු වූ වැඩිහිටි කාන්තාවන් අතර සුද යෑමක් ඇත්නම් එය දුර්ගන්ධයක් සහිතව පවතී.

 

උපදෙස්
ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය සුදත් ගුණතිලක

 

සටහන
ආශිර්වාදිනි
හෙට්ටිආරච්චි