කොවිඩ් සමයේ අඹු සැමි ගැටලු අවබෝධයෙන් විසඳා ගන්න

මාර්තු 7, 2022

වෙනදට උදේම ගෙදරින් පිටත් වෙලා හවසට ගෙදර එන අඹු සැමියො දැන් දවසෙම ගෙදර. බොහෝ ස්වාමි පුරුෂයන් ඔන්ලයින් වැඩ. වෙනදා කාර්යාලයට ගිහින් රැකියාව කරද්දී වගේ නෙවෙයි ගෙදර පරිසරය.

නිතර දකින කුකුළගෙ කරමලේ සුදු වෙලා පේනවා වගේ දවස තිස්සෙම එකට ගැටි ගැටි ඉන්න දෙන්න දෙමහල්ලන් අතරේ පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇති වෙන එක ස්වාභාවිකයි. දරුවන් ඉන්නවා නම් ඒ අය පාසල් යන්නේ නැහැ. ඔන්ලයින් පන්තිත් නැහැ. ඉතින් දඟ කාරයෝ කෑ ගහන එකේ, දඟ වැඩ කරන එකේ ඉවරයක් නැහැ. දවසෙම ගෙදරට කොටුවෙලා ගතවෙන මේ කාලය හැමෝගෙම මානසික ආතතිය අහස උසට නග්ගලා තියෙන්නෙ.

වෙනදට රණ්ඩු වෙන්න දවසේ කාලය මදි වුණාට දැන් මේ කොරෝනා නිසා ඒකට ඕනවටත් වඩා කාලය හම්බ වෙලා. නමුත් මේ රණ්ඩු සරුවල්වලින් ඔබ නොහිතන පලුද්දක් ඔබගේ ආදරයට ඇති වෙන්න පුළුවන්.

නිරංජිගේ පුංචි කැදැල්ලෙත් ඒ වගේ පුංචි පුංචි නෝක්කඩු නිතර ඇති වෙනවා.. රටම සති දෙකකට වසා තිබුණත් නිරංජිට නම් වැඩ කෝටියයි.

වෙනදට උයලා පිහලා ටිකක් නිදහසේ ඉන්න තිබුණ කාලයත් දැන් නැති වෙලා. සැමියගේ වැඩයි පොඩ්ඩෝ දෙන්නගෙයි වැඩ එක්ක දවසම ඔට්ටු වෙලා නින්දට ගිය නිරංජි, උදෑසනම අවදි වුණේ දසුන්ට රැකියාවේ වැඩ දැන් ගෙදරට වෙලා කරන්න වෙලා තියෙන නිසයි. ඔන්ලයින් වැඩ එක්ක දවසම ලැප් එකයි ෆෝන් බදාගෙන ඉන්න දසුන්ව දක්කම නිරංජිගේ හිතට පුංචි තරහකුත් ඇති නොවෙනවා නොවෙයි.

නිරංජි උදේම කෑම ටික හදලා.. පොඩ්ඩෝ දෙන්නටත් කිරි ටික හදලා.. දසුන්ටත් උදේ කෑම එක බෙදලා දීලා.. පොඩ්ඩෝ සෙල්ලම් බඩු තැන තැන දාලා හැඩි කරලා දාපු ගේ අස් කරන්න ගත්තා...

නිරංජී පොඩ්ඩක් ඔය ළමයි දෙන්නට කියන්න කෑ නොගහ වැඩක් කරගන්න කියලා. මං මෙතන වැඩක්නේ. මෙතන ළමයි කෑ ගහද්දී මට ඔන්ලයින් වැඩ කරගන්න අමාරුයි..

"ඔය තරම් වැඩ මොනවද අනේ" වැඩ කරනවා කිව්වට හැම වෙලාවෙම ෆෝන් එකේමයි.මගේ මේ වැඩ වලටත් ටිකක් උදව් වෙන්න බැරි ද? මට මෙතන උයන්නයි ගෙවල් අස් කරන්නයි ළමයි බලාගන්නයි වැඩ දෙක තුනක් කරන්න බෑනේ. ඔන්ලයින් පංති තිබුණනම් මට ටිකක් හරි සැනසීමයි. දැන් ඒකත් නෑනේ."

"ඇත්තමයි ඔෆිස් එකට ගිහින් වැඩ කරගන්න තිබ්බනම් මට ඔයාගේ මේ කතන්දර අහන්න ඕනේ නෑනේ.."

නිරංජිගේ මේ කතා නිසා කේන්තියෙන් පුපුර පුපුර දසුන් කාමරේ දොර සද්දෙන් වහගත්තා..

"මේ නිරංජි ඔයාගේ ෆෝන් එක රිංග් වෙනවා සෑහෙන වෙලාවක් තිස්සේ ඉඳන්, ඔෆිස් රූම් එකේ ඔයා ෆෝන් එක තියලා ගිහින්." දසුන් කාමරේ දොරත් ඇරගෙනම නිරංජිට ෆෝන් එක දික් කර නැවත කාමරයට ගොස් දොර වසා ගත්තා.

"මේ ලොකු අක්කනේ. අක්කේ මට නම් වෙනදටත් වඩා වැඩ. දසුන්ගේ වැඩේම දවසම ඔන්ලයින් වැඩ කිය කිය ෆෝන් එක බදාගෙන ඉන්න එකනේ. මට මෙතන වැඩ කෝටියයි. මට නම් එපා වෙලා තියෙන්නේ. දසුන්ටයි ළමයින්ටයි දවසම කෑ ගගහා ඉන්න වෙලා තියෙන්නේ මට."

"නංගි මෙහෙත් එහෙම තමයි. මාත් ඔෆිස් එකේ වැඩ ඔන්ලයින් කරන නිසා එකේ තියන අමාරුකම මම දන්නවා. ඒ නිසා නංඟිත් තේරුම් අරං වැඩ කරන්න. මේ වැඩ අස්සේ නංගි නිතරම දසුන්ට නිතර අඩාපාලි කියන්න ගත්තොත් ඒක එයාට මානසික වදයක් වෙයි."

"අනේ ඇත්තමයි අක්කේ මට ඔය ඔන්ලයින් වැඩ කරන එක ගැන තේරුමක් නෑනේ.. මං හිතුවේ දවසම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා කියලා."

"මේ දවස්වල ගොඩක් ගෙවල්වල ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ඕක තමයි නංඟි. මේ වගේ පුංචි පුංචි දේවල්වලට ගෙවල් අපායක් කරන් තියෙන්නේ..

හැබැයි ඉතිං ඔයාගේ වැඩවලටත් ඔයා ෂේප් එකේ උදව් ගන්න. ගෙදර දොරේ වැඩ කටයුතු බිරියම පමණක් කළ යුතුයි කියා නියමයක් නැනේ.

නංගි කෑම උයන කොට දසුන්ට කියලා ඊට අවශ්‍ය එළවළු කපා ගන්න. නංගි ගේ අතුගානකොට එයාට කියන්න මිදුල අතුගාන්න කියලා. හැබැයි ඒ උදව් ගන්න ඕනේ දසුන් නිදහසේ ඉන්න වෙලාවක් බලලයි.

ඇත්ත තමයි අක්කේ මං කවදාවත් එයාගෙන් උදව්වක් ඉල්ලලා නෑනේ හිතෙන් බැන බැන හිටියා මිසක්.

අනික දසුන් ගෙදර ඉන්න වෙලාවට නිතරම එයා මොකද කරන්නේ කිය කිය බල බලා එයාගේ පස්සෙන් වැටෙන්න එපා. එතකොට ඒක එයාටත් වදයක්නේ. නංගිට පුළුවන් එයා ඔන්ලයින් වැඩ එක්ක හිරවෙලා ඉන්න වෙලාවට එයාට තේ එකක් හදලා දෙන්න.

ඇත්තටම නංගි මේ දවල් මේ කොරන්ටයින් කාලේ බිරියකගේ වගකීම්.. පවුල් ජීවිතයේ හොඳින් සතුටින් ගෙනියන්න මේ වගේ පුංචි දේවල් කරන්න වෙනවා."

"මං මේ ළමයින්ගේ වැඩත් එක්ක ඕවා ගැන හිතුවේ නැහැ අක්කේ."

"මේවා තමයි නංගි හිතන්නම ඕනේ දේවල්. මේ කෝරානා වසංගතය ඇත්තටම අපේ ජීවිතවලට සමහර දේවල් ඉගැන්නුවා. නංගිගේ පොඩ්ඩො දෙන්නගේ දඟ වැඩ ටිකත් නවත්තගන්න පුළුවන් දෙන්නත් එක්කම එකතු වෙලා ආදරයෙන් කතා කරලා පහදලා දෙන්න. දරුවන්ට නිතර නිතර බනින්න ගහන්න ගියාම තවත් මුරණ්ඩු වෙනවා.

ආදරෙන් පහදලා දෙන්න ඕනේ.ඒ වගේම නංගි දසුන් කරන කරන සෑම වැඩකටම අඩුපාඩු කියන්න ගත්තොත් ඉක්මනටම දෙන්නගෙ ආදරේ යටපත් වී රණ්ඩු දබර මතු වෙන්න පුළුවන්.

එයා කරන වැඩවල අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙත් මේ අඩු පාඩු ගැන නිතර නිතර කියමින් රණ්ඩු වීමට සුදුසු වෙලාවක් නොවෙයි. ඒ වෙනුවට එයා කරපු වැඩ කොටස අගය කරන්න. අඩුපාඩු ඇත්නම් දෝෂාරෝපණ ස්වරූපයෙන් නැතුව ආදරයෙන් කියන්න. මේ අපහසු කාලය පහසුවෙන් ගෙවාගන්න පුළුවන් විදිහට කටයුතු කළොත් දෙන්නා දෙමහල්ලනේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.දසුන් වැඩ කරන වෙලාවට නංඟිට විවේකයක් ලැබුණොත් දරුවො දෙන්නත් එකතුකරන් රූපවාහිනිය බලන්න. නැත්නම් රසවත් ආහරයක් සකසන්න."

"දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු බත ඉදෙනකම් විතරයි කියනවනේ නංගි.. "

 

සටහන
විදුමිණි දිසාකරුණා