වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබටත් මේ මානසික ගැටලු තිබෙනවාද?
කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට උත්සාහ ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.
ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.
අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.
අභියෝගවලට මුහුණ දීමට බියයි
ප්රශ්නය
මම 26 වියැති තරුණියක්. උසස් පෙළ දක්වා ඉගෙන ගෙන ඇත. ඉන්පසුව පාඨමාලා කිහිපයකට සම්බන්ධ වුණෙමි. මා රැකියා කිහිපයකට ඉල්ලුම් කළත් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට ඇති බිය නිසාම ඒවා අතහැර දැමුවෙමි. පියාගේ මිතුරෙකුගේ මාර්ගගෙන් සම්මුඛ පරීක්ෂණයකට පෙනී නොසිට රැකියාවක් ලබා ගැනීමට හැකි වුවත් මට රැකියාවට යෑමට බියක් ඇති වෙයි. ඔවුන් සමඟ වැඩ කරන්න වගේම මට පවරන වැඩ හොඳින් කිරීමට හැකි දැයි සිතමින් බියෙන් පසුවෙමි. මේ නිසා මා අසනීප බව දන්වමින් දින දෙකක් රැකියාවට නොගොස් සිටියෙමි. රැකියාවට යන්න හදන සෑම දිනකම මා හට උදරාබාධයක් ඇති වෙයි. මෙවැනිම අවස්ථා කිහිපයක් මා මඟහැර ගත්තෙමි. මාගේ මේ බිය රෝගයක් ද?
මතුගම - දිනේෂා
පිළිතුර
ඔබට ඇත්තේ කාංසාව නැමැති මානසික රෝගී තත්ත්වයයි. කාංසාවේ මූලික රෝග ලක්ෂණ කිහිපයකි.
අන් අය සහ අවස්ථා මඟහැරීම, ස්වයංපාලනයක් නැති බව දැනීම, අසරණකම, තමන් බල රහිත අයෙකු බව සිතීම, චිත්තවේගීය සහ චර්යාත්මක රෝග ලක්ෂණවලට අමතරව, අසාර්ථක වීමේ බිය ඇති පුද්ගලයින්ට වේගවත් හෘද ස්පන්දනය, පපුවේ තද ගතිය, වෙව්ලීම, කරකැවිල්ල, දහඩිය දැමීම ආහාර ජීර්ණ ගැටලු ඇතුළු ශාරීරික රෝග ලක්ෂණ අත්විඳිය හැකියි.
ඔබ තුළ ඇති භීතිය හඳුනා ගන්නේ මෙහෙමයි.
යමක් සාක්ෂාත්කර ගැනීමට ඔබට කුසලතා හෝ දැනුමක් නොමැති බව විශ්වාස කිරීම, ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට නොහැකි වනු ඇතැයි හැඟීම, ඔබ අසමත් වුවහොත් අන් අය ඔබ ගැන කලකිරෙනු ඇතැයි සිතා කනස්සල්ලට පත්වීම, සමහර අවස්ථාවලදී, අසාර්ථක වීමේ බිය නිසා සම්පූර්ණයෙන්ම උත්සාහ කිරීමෙන් වැළකී සිටිය හැක. උත්සාහකර සාර්ථක නොවනු ඇතැයි ඔවුන් තුළ ඇති බිය නිසා, මුහුණදීමට සිදුවිය හැකි වේදනාව, ලැජ්ජාව හෝ බලාපොරොත්තු කඩවීම වැළැක්වීම සඳහා ඔවුන් කිසිසේත් උත්සාහ නොකර සිටීමට තීරණය කරයි.
මීට ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙන නිසා බිය වීමට අවශ්‍ය නැත. අසාර්ථක වීමේ බිය සඳහා ප්‍රතිකාර කිරීම රඳා පවතින්නේ ඔබ මෙම බිය අත්විඳින ආකාරය සහ එය ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම ඇතුළු විවිධ සාධක මතයි. අසාර්ථකත්වය පිළිබඳ බිය ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බාධාවක් නම්, මනෝ චිකිත්සකවරයකු සමඟ කතා කිරීම වැදගත්.
ඔබේ බියට සම්බන්ධ විය හැකි කාංසාව හෝ මානසික අවපීඩනය වැනි හැඟීම් කළමනාකරණය කිරීමට උත්සහ කරන්න ඕනෙ. යමක් කිරීමට පළමුව ප්‍රතිඵලය ගැන හොඳින් සිතන්න. යම්කිසි දෙයක් කිරීමට පළමුව, එම ක්‍රියාවේදී මුහුණදීමට සිදුවිය හැකි නරකම ප්‍රතිඵලය ගැන සිතා එයට ගැලපෙන අන්දමට ඔබගේ උපාය මාර්ග සකස්කර ගැනීමෙන් එම ක්‍රියාව සිදු කිරීමට යෑමේදී ඔබට සිදුවන අපහසුතා අවම කරගැනීමට පුළුවන්. ඔබට පාලනය කරගත හැකි දේවල් ගැන පමණක් සිතන්න.
අසාර්ථක වීමේ බිය සෑම කෙනෙකුම කලින් කලට අත්විඳීමට සිදුවියහැකි දෙයක්, නමුත් ඔබේ හැඟීම සහ සිතුවිලි අතරින් ඔබටම ඔබේ බිය දුරු කරගන්න පුළුවන්.
පුතුගේ හැසිරීමේ වෙනසක්
මාගේ පුතු සම්බන්ධ ගැටලුවකි. 18 හැවිරිදි අධ්‍යාපන කටයුතු අවසන් කොට නිවෙසට වී සිටිනවා. හෝටල් පාඨමාලාවක් කොට විදෙස් ගත වීමේ අරමුණින් මේ දිනවල ඔහු ඊට සූදානම් වෙනවා. නමුත් ඔහු ඊට ද එතරම් උනන්දුවක් ඇති බවක් නොපෙන්වයි. නිතර තනිවම සිටීමට කැමැතියි. යහළු මිත්‍රයින්ද නැත. මාත්, සැමියාත්, පුතා ඇතැම් අවස්ථාවල දී තනිවම කතා කරනවා දැක තිබේ. හේතුවක් නොමැතිව පොඩි දේටත් කේන්ති ගනියි. පුතාගේ මේ වෙනස් හැසිරීම මානසික රෝගයක් ද?
දෙහිවල - වසන්ති
පිළිතුර
ඔහු ගැන නිගමනයකට එළඹීමට කරුණු ප්‍රමාණවත් නොවේ. නමුත් ඔබ පවසන ලක්ෂණ අනූව ඔබේ පුතුට ඇත්තේ භින්නෝන්මාදය නමැති මානසික රෝගී තත්ත්වයයි.
භින්නෝන්මාදය එහෙමත් නැත්නම් ස්කිට්සොප්රෙනියාව (Schizophrenia) ඇතිවෙන්න ඔනේ තරම් හේතු තියෙන්න පුළුවන්, සමහර එවා ජානමය හේතු, තවත් සමහර ඒවා සමාජමය හේතු, තවත් සමහර ඒවා ස්නායුමය හේතු. බොහෝවිට මෙම රෝගයට එක් හේතුවක් හෝ හේතු කිහිපයක එකතුවක් තියෙන්න පුළුවන්. තරුණ වයස් කාණ්ඩය තුළ මේ මානසික තත්ත්වය දැකිය හැකියි.
තනිවම කතා කිරීම, විවිධ හඬවල් මායාවන් වැනි දර්ශන දැකීම, කතාකරන වචනවල සම්බන්ධයක් නොමැති වීම එනම් කීමට අවශ්‍ය දේ ප්‍රකාශ නොවීම, නින්ද නොයෑම, හුදෙකලා බව, හේතුවක් නොමැතිව කලබල වීම, නිතර අමතක වීම, පිළිවෙළක් නොමැති ඇඳුම් පැළදීම, පිරිසුදුකම ගැන සැලකිලිමත් නොවීම, හේතුවක් නොමැතිව කණගාටු වීම මෙවැනි රෝගීන්ගේ ස්වභාවයයි.
රෝගියාට අදාළ ප්‍රතිකාර ක්‍රමය නිර්ණය කරනු ලබන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ, රෝග ඉතිහාසය සලකා බැලීමෙන් අනුතුරුවයි. සත්තකින්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ක්‍රම රැසකි. පෙති/කරල් හෝ නික්ෂේපණ උපයෝගීකර ගනිමින් කරන සුලබ ඖෂධ ප්‍රතිකාරය. විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ද වැදගත්වේ. මේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේ දී රෝගීන්ට අතුරු ආබාධ ඇතිවිය හැකිය. අධික පිපාසය, තොල කට වියළීයාම, නිදිබර ගතිය ද බොහෝවිට මෙවැනි අතුරු ආබාධ ලක්ෂණ වේ. එලෙසම රෝගියා රැකබලා ගන්නා අය, රෝගියාගේ මානසික සෞඛ්‍යය මෙන්ම, කායික සෞඛ්‍යය ගැන ද උනන්දු විය යුතුය. රෝගියාගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.
රැකියාව නිසා ආතතියෙන්
ප්රශ්නය
මා 28 හැවිරිදි විවාහක එක් දරු මවක්. මා පරිගණක ආශ්රිත රැකියාවක නිරත වෙමි. රැකියාව නිසා මාගේ පවුල් ජීවිතයේ බොහෝ දේවල් මඟ හැර ගතිමි. නිවෙසට ආ විගසත් කරන්නේ රැකියාවේ වැඩ කටයුතුය. පවුලේ කටයුතු මඟහැර රැකියාවේ කටයුතු කළත් ආයතන ප්‍රධානියාගෙන් මා කිසි දින හොඳක් අසා නැත. අන් අයට වඩා මා හට එම ආයතනයේ වැඩි වැඩ කොටසක් කිරීමට සිඳු වේ. එහෙත් පැවරුණු බොහෝ වැඩ නියමිත වෙලාවට කිරීමට අපොහොසත් වන්නේ එතරම් වැඩ ගොඩක් තනි පුද්ගලයෙකුට කිරීමට නොහැකි නිසාය. රාත්‍රී නින්දේදිත් මගේ හිතට වද දෙන්නේ රැකියාවේ වැඩ කටයුතුයි. රැකියාව නිසා මා දැඩි ආතතියකින් පෙළෙන බව මා හට හැඟෙයි. මා කළ යුත්තේ කුමක් ද?
වේවැල්දෙණිය - දසුනි
පිළිතුර
work related stress හෙවත් වැඩ සම්බන්ධ ආතතිය ලෙස මෙය හඳුන්වයි. නිශ්චිත කාල සීමාවකදී ඉටුකර ගැනීමට නොහැකි තරම් වැඩ ප්‍රමාණයක් ආයතනයක් විසින් යම් පුද්ගලයෙකු මත පවරනු ලබනවා නම්, මානසික ආතතිය ඇති විය හැකිය. එහෙමත් නැත්නම්, නිශ්චිත කාල වේලාවක් නොමැතිව දීර්ඝ කාලීනව වැඩ පැවරීම නිසා සේවකයාට අවශ්‍ය අනෙක් දේවල්, විනෝදාස්වාදය සඳහා, පවුලේ අයත් එක්ක ඉන්න හෝ එදිනෙදා වැඩ කටයුතුකර ගැනීමට බැරි වීමෙනුත් මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්.
තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකර ගැනීමට දක්ෂතාව, අත්දැකීම්, පළපුරුද්ද සහ දැනුම නොමැතිකම හේතුවෙන් බලාපොරොත්තුවන මට්ටමින් එය කරගැනීමට නොහැකි වීමෙන් ද මානසික ආතතිය ඇති විය හැකිය.
තව ද තමන් වුවමනාවට වඩා අධීක්ෂණයට ලක්වන විට සහ ආයතනය තුළ පනවා ඇති නීතිරීති හේතුවෙන් ඇතිවන පීඩනයෙන් වගේම. උසස් වීම් දිගින් දිගටම නොමැති වීම නිසා පීඩාවට ලක් වෙන්න පුළුවන්, තමන් දෙන ශ්රමයට නිසි වේතනයක් නැති වුණා ම, එහෙම නැතිනම් වාචික ප්‍රශංසා කිරීම් නැතිකම සහ තමන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක්වන බව දැනීම," ආදිය ද ඊට හේතු වේ. රැකියාව ඒකාකාරී වීම, රැකියාව කරන පරිසරයේ ස්වභාවය, නිවාඩු නොලබා දීර්ඝ කාලයක් වැඩ කිරීම සහ නිදිවරා වැඩ කිරීම හේතුවෙන් ද ආතතිය ඇති විය හැකිය.
මේ අතතිතය දිගින් දිගටම තිබීම විෂාද තත්ත්වය දක්වා යා හැකිය. දින කිහිපයක විවේකයක් ගෙන සිත නිදහස් තැනකට යන්න. විවේකයක් ලැබුණු විට පවුලේ අයත් සමඟ ගත කරන්න. රැකියාවට පෙර තමාට මුල් තැන දෙන්න. ප්‍රතිඵලයක් නැතිනම් වෛද්‍යවරයෙකු හමුවන්න.
උපදෙස් විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්