ලෝකේ මොන මොන රස කෑම කෑවත් රසම අම්මා හා බිරිය හදන කෑම තමයි රස...

ඔලිම්පික් සම්මාන පහක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී සංගමයේ සභාපති දිමුතු කුමාරසිංහ
අගෝස්තු 22, 2022

 

 

රජකුට වුණත් සිව් සැට කලාව නො දැන රජකම කරන්න නොහැකි වුණා කියලා අතීතයේ අපූරු කතාබහක් වෙයි. මේ සිව්සැට කලාවන් අතුරින් ඉහුම් පිහුම් කලාව කියන්නෙත් අමුතුම කලාවක්. අපේ හෙළ ආහාර රස ගැන්වීමේ කලාවට ඒ තරම් දිගු ඉතිහාසයක් තිබෙනවා. අපේ මේ වටිනා ඉහුම් පිහුම් කලාව ලෝකය ගෙන යන්න හැකි වුණු සූපවේදියෝ, සූපවේදිනියෝ රැසක්ම අප අතර සිටිනවා.

 

දිමුතු කුමාරසිංහ කියන්නෙත් එවැනි දක්ෂ සූපවේදියෙක්. වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් සූපවේදීන්ගේ තරගාවලියේ රන් පදක්කම් දිනාගෙන ඔහු අප ලක් මතාව රනින් බැබළවූ චරිතයක්. ඒ වගේම තමයි ලෝකයේ කුඩාම කේක් නිර්මාණය වගේම ලොව මිල අධිකම කේක් නිර්මාණයේ හිමිකරුවා වන්නේ ද ඔහු තමයි. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසින් විශාල කාර්යයභාරයක් සිදු කරනවා. ඔහුගේ මේ සුවිශාල සේවය නිසාම පසුගියදා සම්මානයකුත් හිමි වෙනවා. මෙලෙස සම්මාන හා ගෞරවයන් හිමි කරගත් දිමුතු ආ මඟ දුෂ්කරයි.

සිය සහෝදරයන්ගේ අඩි පාරේ යමින් වයස අවුරුදු 17 දී සූපවේදයට අත්පොත් තබන ඔහු 1990 වසරේ දී සාමාන්‍ය පෙළ සමත්ව සූපවේදී කලාවට පිවිසියේ චිත්‍ර කලාව පිළිබඳ වූ සුවිශේෂී හැකියාව ද සමඟිනි. 2004 වසරේ දී ලෝක ඔලිම්පික් තරගාවලියට එක් වෙමින් රටවල් 56ක් සමඟ කරට කර තරග වදිමින් ඔහු ලෝක වාර්තාවක් පිහිටුවන්නේ රන් පදක්කම් පහකට හිමිකම් කියමිනි.

එපමණක් ද නොව සෙන්ටිමීටර් 1.1 තරම් කුඩා වූ ලොව කුඩාම කේක් නිර්මාණයේ හිමිකරු වන්නේ ඔහුමය. ඩොලර් 35000ක් වටිනා ලොව වටිනාම කේක් නිර්මාණය ද කළ ඔහු එවැනි නිර්මාණ රැසකට හිමිකම් කියන්නේ ලෝක වාර්තා පොතේ සුවිශේෂී සටහනක් තබමිනි.

වාර්තා තබමින් දිමුතු ආ දිගු ගමන ඉතා ආදර්ශවත්ය. අප හා සොඳුරු පිළිසඳරකට එක් වෙමින් ඔහු ඒ ගැන අදහස් පළ කළේ මෙලෙසිනි.

 

චෙෆ් අපට මුලින්ම කියන්නකෝ ඔබේ අතීතය ගැන...

ඉපදුණේ මතුගම, නවතුඩුව කියන පුංචි ගමේ. තාත්තා පුංචි ව්‍යාපාරයක් කරගෙන ගියා. මම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ කාලේ හුඟාක්ම කළේ ගෙදරට හොරෙන් සයිකල් පදින එක තමයි. අපේ ප‍වුලේ හතර ‍දෙනයි. අයියයි, මල්ලියි, අක්කයි, මමයි තමයි පවුලේ ඉන්නේ. අපි හරිම එකමුතුව තමයි හිටියේ. අයියා ඒ වෙනකොට හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. මම සා.පෙළ කළාට පස්සේ රැකියාවක් කරන්න තිබුණු ආසාවට 1989 දී අයියා සේවය කරපු බේරුවල හෝටලයක මුළුතැන්ගෙයි උදව්කරුවෙක් ලෙස පිඟන් සෝදන්න ගියා.

 

ඔබ ඇයි මේ ක්ෂේත්‍රයට යොමු වුණේ..?

මට පුංචි කාලේ නම් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් විභාගේ කළාට පස්සේ යාළුවෝ රැකියාවක් කරනවා දකින කොට මටත් හිතුණා කට්ටක් කාලා රැකියාවක් කරලා ගොඩ යනවා කියලා. කොට කලිසමකුත් ඇඳගෙන තමයි මුලින්ම රැකියාව කළේ. ඒ කාලේ හෝටල් රැකියාව හරිම අපහසුයි. රැකියාව නිම වෙන වෙලාවක් නැහැ. රෑ එක දෙක වෙනකම් වැඩ කරනවා. නමුත් පස්සේ ඒ රැකියාවට කැමැති වුණා.

 

ඔබ ජීවිතයේ දී ලැබුණු අත්දැකීම් කොයි වගේද?

බහරේන්වල එක දිගට එකම හෝටලේක රැකියාව කළේ නැහැ. අවුරුදු 5 -6 යනකොට ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලේ ප්‍රධාන සූපවේදියකු ලෙස කටයුතු කළා. ඒ කාලේ තරගකාරිත්වයක් තිබුණේ නැහැ. අද වගේ අධ්‍යාපන සුදුසුකම් වැදගත් වුණේ නැහැ. නමුත් අද තත්ත්වය වෙනස්. අපට දක්ෂතාව තිබුණ නිසා දුර ගමනක් ගියා. නමුත් අද කාලය වැඩියි. තරගකාරීත්වය වැඩියි.

බහරේන් රාජ්‍යය අවුරුදු 8ක් විතර ඉඳලා ඔස්ට්‍රේලියාවට ගියා. 2000 වසරේ දී තමයි නැවත ලංකාවට ආවේ. ඒ රටවල දී මට තරග රැසකට යන්න අවස්ථාව උදා වුණා. භාෂා රැසක් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. මගේ කාලය කිසිම දවසක නාස්ති කළේ නැහැ. මගේ හෝටල් රැකියාවේ ලබපු හොඳම අත්දැකීමක් තමයි 1990 දී ශ්‍රී ලංකා සූපවේදී සංගමය මඟින් පවත්තපු තරගයක දී ජයග්‍රහණය කිරීම. ඒකෙන් මට මුලින්ම හෙලිකොප්ටර් සවාරියක් යන්න අවස්ථාව ලැබුණා. ඒ සිදුවීම අමතක කරන්න බැහැ.

 

ඔබ විදේශ රටක පුරවැසිභාවය අතහැරලා ලංකාවට ආවේ ඇයි?

ඇත්තටම මම ලංකාවට ආදරෙයි. මට ඔස්ට්‍රේලියාවේ පුරවැසිබව පවා හිමි වුණා. නමුත් මම ලංකාවට තිබුණු ආදරය නිසා ලංකාවට ආවේ සියලු දේ අතහැරලා. මම කොයිතරම් දක්ෂ සූපවේදියකු වුණත් වැඩියෙන්ම කැමැති මගේ බිරිය චමිලා උයන කෑම කන්න. අම්මා උයන බත් ටිකක් කන්න තමයි.

 

ඔබ ඔලිම්පික් තරගය ජයග්‍රහණයේ කිරීම ගැනත් කතා කළොත්...

ඇත්තටම 2004 වසරේ දී මම ඔලිම්පික් ගන්න සිහිනයක් වත් තිබුණේ නැහැ. නමුත් මගේ ආයතනයෙන් තමයි මාව යොමු කළේ. දිනන්නම නෙවෙයි මේ තරගයට ගියේ. සහභාගී වෙන්න විතරයි. ඒකට මගේ මිත්‍ර‍ෙයකුත් උදව් කළා. නමුත් මම රටවල් 56ක් පරාජය කරලා ජයග්‍රහණය කළා. ඒකට මගේ Staff එක උදව් කළා. මාස හයක් විතර මහන්සි වුණා. මගේ ගෝලයොත් උදව් කරන්න ආවා.

ඊට අමතරව ලෝකයේ තියෙන පුංචිම කේක් එක හැදුවෙත් අහම්බෙන්. ඒ වගේම මිල අධිකම කේක් එක හැදුවේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ආපු වෙලාවේ සිහිවටනයක් ලෙසයි.

 

ඔබ ළඟදී සම්මානයක් දිනා ගත්තානේ. ඒ ගැන කියන්නකෝ....

ඒ ලැබුණු සම්මානය President Award කියලා එකක්. ඒක ලෝක සුපවේදී සංගමය මඟින් ලැබෙන සම්මානයක්. මේ සම්මානයට රටවල් 110ක් සහභාගි වුණා. මම ලෝකය පුරාම සිටින සිසුන්ට සූපශාස්ත්‍රය කියා දීම වෙනුවෙන් තමයි පිරිනැමුණේ.

මේ සම්මානය මේ වසරේ පස් දෙනකුට පිරිනැමුණා. ලෝකයේ විශාල රටවල් රාශියක් මේකට සහභාගි වුණා. මට මේ සම්මානය ලැබෙන්න ඔලිම්පික් ජයග්‍රහණයත් හේතු වුණා.

 

ඔබ දැන් සේවය කරන්නේ කොහෙද?

සූපවේදී සංගමයේ සහභාගිත්වය දැරීමට අමතර Aitken Spence Hotel සමූහයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. මේ සියලු දේ කරන අතර තමයි ලෝකය පුරාම පැවැත්වෙන තරග විනිශ්චය කිරීමට සහභාගි වෙන්නේ.