සිරුර සිසිල් කරන රස පිරි බීම

උපදෙස් - ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා
මාර්තු 7, 2022

රසාර පවුලේ පෝෂණීය රස සංග්‍රහය

මේ දිනවල පවතින රස්නය වෙලාවකට දරා ගැනීමට අපහසු තරම්. ගතේ දාහය සිතට ද ගෙනෙන්නේ විඩාබර බවක්. මේ දාහය නිවා ගත සිසිල් කළ හැකි බීමක් තිබුණොත්? ‘පංකාදු පහයි‘ ඔබට සිතේවි.

ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි මේ බීම වර්ග නිවෙසේ අයට වගේම නිවෙසට පැමිණෙන අමුත්තන්ටත් පිළිගන්වන්න පුළුවන්. සිරුරට සිසිලස මෙන්ම මුවට රසය දනවන මේ බීම වර්ග සකසා ගන්නා ආකාරය අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳගත්තේ දශක ගණනාවක සිටම තරුණී සමඟින් පාඨක ඔබ දැනුම්වත් කරන ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා ය.

සීනි කැකිරි සමඟ බීට්රූට් පානය

අවශ්‍ය වන්නේ

සිනි කැකිරි ග්‍රෑම් 400ක්

බීට්රූට් ග්‍රෑම් 200ක්

නිවුණු උණු වතුර අඬු කෝප්ප 04ක්

සීනි ග්‍රෑම් 75ක්

ලුණු ස්වල්පයක්

 

දැන් එය මෙලෙසින් හදමු

සීනි කැකිරි සුද්ධකර කැබැලිවලට කපා ගන්න. එයට වතුර අඬු කෝප්ප 3ක් දමා සීනි සහ ලුණු එකතුකර බ්ලෙන්ඩ්කර පෙරා ගන්න.

බිට්රූට් සුද්ධකර තරමක් කුඩා කැබැලිවලට කපා වතුර අඬු කෝප්පයක් දමා බ්ලෙන්ඩ්කර පෙරා ගන්න.

වීදුරුවක් ගෙන එයට සීනි කැකිරි යුෂ 3/4ක පමණ ප්‍රමාණයක් දමන්න. එයට උඩින් බීට්රූට් යුෂ මේස හැදි 02ක් පමණ දමන්න.

ටූත් පික් එකක් හෝ ඉරටු කැබැල්ලක් මඟින් බීට්රූට් යුෂ මත ඉරි හෝ යම් රටාවක් ඇඳීමෙන් වෙනස් පෙනුමකින් යුතුව මෙය අමුත්තන්ට පිළිගැන්විය හැකියි.

 

සම්බන්ධීකරණය නිමාකෝ ද සිල්වා

සටහන
අයන්ති උඩුගම්පල