මේ පාසල් වාරයේ දරුවන් ගැන වෙනදාට වඩා සොයා බලන්න

දෙසැම්බර් 2, 2020

කොරෝනා වසංගතයේ නිමාවක් වන දිනයක් අවිනිශ්චිතය. එහෙත් මේ භයානකත්වය සමඟ ජීවිතය යායුතුය. එය පැයෙන් පැය දවසින් දවස අපගේ හදවතට තදින්ම දැනෙයි. නමුත් මෙහි භයානකත්වය අපේ පුංචි දුවා දරුවන්ට නොතේරෙයි. කෙළි සෙල්ලමින් ගත කරන දරුවන්ගේ ලෝකය බෙහෙවින්ම පිවිතුරුය.

ඒ ලෝකයේ අනාගතය සකසන්නට සෑම වැඩිහිටියකුම අපමණ වෙහෙසක් මහන්සියක් ගනියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමුන්ට හැකි පමණින් මුදල් වියදම් කරන්නට මවුපියන් සූදානමින් සිටියත් පවතින වාතාවරණය හමුවේ පවතින්නේ අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ ජීවිතය හා සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීමේ අරගලයකි. මේ සියලු අභියෝගය වෙනුවෙන් රජය විසින් ගන්නා උත්සාහ ද සුළුපටු නොවේ.

අපට නොපෙනෙන, නොදැනෙන විශාල වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතින අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් ද වැය කරයි. මෙම දැවැන්ත වූ කටයුත්ත වෙනුවෙන් උපදේශකත්වය හා මඟ පෙන්වීම ලබා දෙනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයයි. එම කාර්යංශයේ පාසල් සෞඛ්‍ය ඒකකය මඟින් ඉටු කරන සේවාව ගැන ඔබව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් අපි එම ඒකකයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය හමුවූයෙමු. කාර්යබහුල වූ කටයුතු රැසක් මැද ඇය මෙය සිදුවන ආකාරය ගැන අපට පැහැදිලි කළේ මහත් උනන්දුවෙනි.

“පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි එකතු වී වැඩ කිරීමේ කටයුත්ත ආරම්භ කළේ 1918 වර්ෂයේ පටන්. අප දෙපාර්ශවය අතර සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කළේ 2007 වසරේදී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉලක්ක ගත උපදේශන වැඩසටහන් සැකසීම සිදු කරන්නේ අපගේ ඒකකයයි. ඒ අනුව අප මුලින්ම පාසල් විවෘත කළ යුතු ආකාරය පිළිබඳ උපදේශන මාලාවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. එය අප ලබා දුන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදී. මෙම උපදෙස් අනුව හැම පාසලකම අත්සේදීම සඳහා සින්ක් සවිකිරීම, ප්‍රතිකාර කිරීමේ කාමරයක් ආදිය සාදා ගන්නා ආකාරය එම උපදේශන මාලාවේ පැහහැදිලිවම සඳහන් වෙනවා. එම උපදේශන වැඩසටහනට අමතරව සෑම පාසලකටම සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සවිස්තරාත්මක විස්තර පත්‍රිකාවක් ලබාදීමත් සිදු කළා.

මෙයට අමතරව මෙම සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුදල් ලබාදීමක් සිදු කළා. ඒ සඳහා මුල්වරට මිලියන 780 ක මුදලක් ලබා දුන්නා. මීට අමතරව පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සියලුම විදුහල්පතිවරු දැනුවත් කිරීමත් සිදු කළා. සෞඛ්‍ය ආරක්ෂිතව පාසල පවත්වාගෙන යෑම පිළිබඳව අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ට උපදෙස් ලබා දීම සිදු කළා. ඒ ආකාරයට තමයි අපගේ වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ.

අප මේ ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළත් දෙවරක් පාසල් වසා දමන්න සිදු වුණා. එක් වරක් කන්දකාඩු පොකුර ඇති වූ අවස්ථාවේදීත් ගම්පහ පොකුර සැදුණු අවස්ථවේදි ඒ ආකාරයෙන් පාසල් වහන්න සිදුවුණා. ඊළඟට අප මේ තුන්වැනි පාසල් වාරයට තමයි නැවතත් පාසල් ආරම්භ කළේ. අප පෙර අවස්ථාවේදී පාසල් සියල්ල එක්වර ආරම්භ කිරීමේ හැකියාව තිබුණා. නමුත් දැන් පවතින තත්ත්වය අනුව එක්වර පාසල් සියල්ල ආරම්භ කළොත් අපට විවිධ දුෂ්කරතා මතුවෙනවා. ඒ නිසා අප තීරණය කළා බස්නාහිර පළාත සහ හුදකලා කළ ප්‍රදේශ හැර පාසල් විවෘත කිරීමට. එසේ පාසල් විවෘත කිරීමේදී නැවතත් අප උපදේශන මාලාවක් පාසල්වලට ලබාදීම සිදු කළා. දැනට පාසල්වලට පැමිණීමේ යම් අඩුවක් පවතිනවා. නමුත් අප පාසල් ආරම්භ කිරීමට තීරණය කළේ පාසල් දරුවන්ගේ ඇති මානසික ගැටලු විසඳීමට. විශේෂයෙන්ම කොළඹ හා කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල දරුවන්ට ර්‍ණදතඪදඥ ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව තිබෙනවා. නමුත් දුෂ්කර ප්‍රදේශවල මෙවර සාපෙළට පෙනී සිටින දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්න නැති නිසා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් තමයි පාසල් ආරම්භ කළේ.

ඊට අමතරව අපට පාසල් විවෘත කිරීමේ තවත් විශේෂ හේතුවක් තිබෙනවා. දරුවන් ගෙවල් තුළම සිරවී සිටින විට විවිධ හැල හැප්පිලි සිද්ධ වෙනවා. මවුපියන් සමඟ සහෝදර සහෝදරියන් සමඟ විවිධ ගැටුම් හැලහැප්පිලිකම් සිද්ධ වෙනවා. එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන සාධකයක්. මේ ආකාරයෙන් දරුවන් නිවෙස තුළම රඳවා ගැනීම වැඩිහිටියන්ටත් විශාල ගැටලුවක්. ඒ නිසා දරුවන්ට තම සමකාලීන මිතුරන් සමග සමාජශීලීවීම ඉතාම වැදගත්.

මෙයට අමතරව දරුවන් මේ ආකාරයෙන් නිවෙසේ කොටුවීම නිසා ජංගම දුරකථනයටත්, පරිගණකයටත් ඇබ්බැහි වෙනවා. නව තාක්ෂණික මෙවලම්වලට දරුවන් ඇබ්බැහිවීමත් හරිම හානිදායකයි. මේ දෙකෙන්ම දරුවා වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි අපි කොයි තරම් බාධක පැවතියත් නව පාසල් වාරය ආරම්භ කිරීමට තීරණය කළේ.

අප මේ අවස්ථාවේදී මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. තමුන්ගේ දරුවා පාසලට එවීමට කිසිම බියක් ඇතිකර ගන්න එපා. අවදානම අඩු ප්‍රදේශවල පමණක් පාසල් විවෘත කරපු නිසා දරුවන්ට මෙය පැතිරීමට ඇති අවස්ථාව අඩුයි. අප සමඟ එකතුව සියලුම විද්‍යාලවල විදුහල්පතිවරු ගුරුවරු මෙය පැතිරීම වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ඇරගෙන තිබෙනවා. නමුත් මවුපියන්ටත් වගකීමක් තිබෙනවා මේ කටයුත්තට තමුන්ට හැකි ආකාරයෙන් සහයෝගය දැක්වීමට. ඒ නිසා මවුපියන්ගෙන් අප ඉල්ලා සිටිනවා ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවදියෙන් සිටින්න. කිසියම් රෝග ලක්ෂණයක් ඔබේ පවුලේ අයකුට ඇතිනම් දරුවා පාසලට යැවීමෙන් වැළකී සිටීම එම පාසලේ සෑම දරුවකුගේම ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන කටයුත්තක්.

සාමාන්‍ය පුද්ගලයකුට වඩා පාසල් දරුවන් පිළිබඳ අප කවුරුත් අවධානය යොමු කරනවා. පවතින තත්ත්වය අනුව කිසියම් පාසලක රෝගී දරුවකු හෝ ආසාධිත පවුලක දරුවෙක් නොදැනුවත්ව හෝ පාසලට පැමිණියා නම් පාසල වැසීමට පෙර එය එම ප්‍රදේශයේ අදාළ සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීම විදුහල්පති විසින් මුලින්ම කළ යුතුයි. එසේ නොමැතිව එක් පාසලක සිද්ධියක් නිසා සමස්ත පාසල් පද්ධතියම වසා දැමීම අසාධාරණයි. ඒ නිසා අප උත්සාහ කරන්නේ මෙම රෝගය පැතිරීම පාලනය කර ගනිමින් දරුවන් ආරක්ෂා කර ගනිමින් කොයි ආකාරයෙන් හෝ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමයි. ඒ සඳහා මවුපියන්ගේ සහයෝගය අපට විශේෂයෙන් වැදගත්. එසේම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරතුරුවම අවදියෙන්ම සිටින්න කියලා අප සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මීට අමතරව විශේෂ අවස්ථාවකදී 1390 අංකය ඇමතීනේ පාසලකට අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් හා සහය ලබා ගන්න අවස්ථාව තිබෙනවා.”

මේ කාලය තුළ දරුවා පාසලට පැමිණෙන විට මවුපියන් දරුවන් පිළිබඳ විශේෂයෙන් සොයා බැලිය යුතු අවශ්‍යතා කිහිපයක් ගැන ද ඇය දැනුවත් කළේ මෙලෙසිනි.

“මේ කාලයේදී දරුවාට සමබල ආහාර වේලක් ලබාදීම ඉතා වැදගත්. එසේම දරුවන් පිරිසුදු ජලය ප්‍රමාණවත් තරම් පානය කළ යුතුයි. ඒ සඳහා තම දරුවාට පිරිසුදු බෝතලයකට ජලය පුරවා කෝප්පයක් සමඟ එවීමට අමතක නොකරන්න. එසේම දරුවාගේ ආහාර නිවෙසේ සකස් කර එවීමට මේ කාලයේ සැමවිටම කටයුතු කිරීමත් ඉතා වැදගත්.

මේ රෝගය පැතිරීම සිදු වන්නේ කෙළ බිඳිති මගින් නිසා මුඛ ආවරණයක් පලඳා දරුවා පාසලට එවිම අනිවාර්යයෙන්ම කරන්න. ඒ සඳහා දරුවාට නැවත භාවිත කළ හැකි මුඛ ආවරණ තුනක්වත් නිවෙසේදී සාදා දෙන්න. එය නිසි ලෙස සෑම දිනකම සෝදා පවිත්‍ර කරන්න. සෑම දිනකම දරුවා අඳින ඇඳුම් එදිනම සෝදා සකස් කර දීමත් කළ යුතුම දෙයක්. එසේම දරුවා පාසල් ගොස් පැමිණි පසු පාවහන් සෝදා අව්වේ වේළා පසුදා පාවිච්චියට දෙන්න. අත් ඔරලෝසු වැනි දෑ දරුවන්ට පැළඳීමට ඉඩ නොදෙන්න. නිවෙසට පැමිණි පසු පොත් බෑග් උපකරණ වෙනම ස්ථානයක තැබීමත්, ඒවා විසබීජනාශක දියරයකින් පිරිසුදු කර අව්වේ වේළා ගැනීමට හැකි නම් වඩාත් හොදයි. පවුලේ අනෙක් අය සමග සම්බන්ධවීමට පෙර ඇඟ සේදීම හෝ නෑමට දරුවන් හුරු කරවන්න.

මෙයට අමතරව අප පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ටත් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් උපදේශන මාලාවක් ලබාදී තිබෙනවා.

 

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ

උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අයේෂා ලොකුබාලසූරිය