මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළදී ගුරුවරුන් ක්‍රියාත්මක විය යුතු ආකාරය

ජූලි 14, 2021

 

කොරෝනා වසංගතය හමුවේ මුළු ලෝකයම අඩපණ වෙලා. අපේ රටත් එහි ගොදුරක් බවට පත් වී දැන් වසර එකහමාරකටත් අධික කාලයක්. විවිධ හැල හැප්පීම් දුෂ්කරතා සමඟ කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙරට ජනතාව අතරේ ඉතාමත් පීඩනයට හසු වූ පිරිසක් ද සිටිනවා. ඒ තමයි නිදහසේ හැදුණු වැඩුණු අපේ අනාගත දරු පරම්පරාව.

 

ඉතින් කොරෝනා වසංගතයත් සමගම දරුවන් ද නිවෙස් තුළටම කොටු වුණා. නිදහසේ පාසලට ගොස් ක්‍රමානුකූලව ලබාගත් අධ්‍යාපන දැනුම පමණක් නොව විෂයය බාහිර ක්‍රියාකාරකම් පවා ඔවුන් වෙතින් ගිලිහුණා. අද දවසේ මෙරට පාසල් දරුවන්ගේ ප්‍රධානතම ඉගෙනුම් මාධ්‍යය බවට පත්වී ඇත්තේ ඔන්ලයින් අධ්‍යාපනයයි.

ඉතින් මේ ඔන්ලයින් අධ්‍යාපනය එහෙමත් නැතිනම් මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය අපේ රටට ඉතාමත් නැවුම් අත්දැකීමක්. මේ නිසා එය ක්‍රියාත්මක කරගෙන යාමේ දී විවිධාකාරයේ ගැටලු ප්‍රශ්න පැන නගිනවා. එබැවින් මේ කටයුත්තේ දී ගුරුවරුන්, සිසු දරුවන් සේම මව්පියන් ද තම උපරිම සහයෝගය ඒ සඳහා ලබාදීම ඉතා වැදගත්.

විශේෂයෙන්ම නිදහසේ ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදෙන්නට හැකිවන ආකාරයෙන් දරුවන්හට සිය නිවෙසේ පරිසරය සකසා දිය යුතු වේ. එහිදී මව්පියන් කටයුතු කළ යුතු ආකාරය අපි පසුගිය සතියේ අවධානයට යොමු කළෙමු.

ඊට අමතරව සිසු දරුවන් මෙන්ම ගුරුවරුන් ද සිය උපරිම දායකත්වය මේ සඳහා දිය යුතු වේ. මෙලෙස අද දවසේ අපේ අවධානය යොමු වන්නේ ඒ පිළිබඳ විමසා බැලීමටයි.

 

විදුහල්පතිතුමියනි ,

ඔබතුමිය දකින ආකාරයට ඔන්ලයින් අධ්‍යාපනය කෙබඳු විය යුතු ද?

 

" ඇත්තටම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න නම් මම විශාඛා විද්‍යාලය කියන සීමාවෙන් පිටතට එන්න ඕනෙ.

මාර්ගගත අධ්‍යාපනය දිවයිනේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම ආවරණය වන සේ සම ප්‍රවේශ අවස්ථා ලබාදීම තමයි මූලිකම

අවශ්‍යතාව විය යුත්තේ. එම අවශ්‍යතාව සම්පූර්ණ වුවහොත් ඉතිරි ගැටලු ක්‍රමයෙන් ලිහිල් වෙනවා.

අපේ රටේ ඉතාමත් හොඳ ගුරු සම්පතක් තියෙනවා. අපට ඉතාමත් දක්ෂ, පරිණත පුහුණු ගුරුවරුන් සිටිනවා.ඒ වාගේම විධිමත් වූ විෂයය මාලාවක්, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ පෙළපොත් තිබෙනවා.

ජාතික විභාගවලදී මුළු ලංකාවෙම ශිෂ්‍යයින්ට ලැබෙන ප්‍රශ්න පත්‍රය සමානයි. ඒ නිසා මාර්ගගත අධ්‍යාපනය, අධ්‍යාපන

ක්‍රියාවලියට ඉගැන්වීම් ක්‍රමයක් ලෙස යෙදවීමේ දී සම සාධාරණ වන්නේ සියලු දෙනාට එම අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීමයි. එවිටයි රටේ සංවර්ධනයට අධ්‍යාපන නිමැවුම් ඔස්සේ ඉහළ දායකත්වයක් ලබාදිය හැක්කේ. නැතිනම් විවිධ විෂමතා මතුවීමට පුළුවනි.

 

මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළදී ගුරුවරුන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැනත් අපි කතාබහ කරමු ?

 

" මාර්ගගත අධ්‍යාපනයේ දී ගුරුවරයාට සිය සාම්ප්‍රදායික ගුරු භූමිකාවෙන් පරිණාමය වීමට සිදු වුණා. ප්‍රථමයෙන් මේ අලුත් අභියෝගාත්මක අධ්‍යාපන ක්‍රමයට, අලුත් අත්දැකීමට ගුරුවරයා පුහුණු විය යුතුයි. ඒ වාගේම යම් තරමක තොරතුරු තාක්ෂණ දැනුමත් උපයාගත යුතුයි. ඇත්තටම කිව්වොත් මෙය ප්‍රායෝගිකව නම් විසඳුණේ මෙහෙමයි. හැම ගුරුවරයකුටම, ගුරුවරියකටම නිවෙසේ දී තම දුවගෙන්, පුතාගෙන් හෝ අසල්වාසී පාසල් ශිෂ්‍යයකුගෙන් මේ තොරතුරු තාක්ෂණ දැනුම ලබාගත හැකි වුණා. ඒ වාගේම පාසල්වල සිටින තොරතුරු තාක්ෂණ ගුරු භවතුන් මේ සඳහා ඉමහත් වෙහෙසක් ගත් බව මා දන්නවා.

එක් පැත්තකින් වසංගත තත්ත්වය

වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා කිව්වොත් මා නිවැරැදියි. ඒ කොහොමද කිවුවොත් පරිගණකයක් දිහා නොබලපු ගුරුවරුත් දැන් ඉතා සාර්ථකව මාර්ගගත ඉගැන්වීම් කටයුතු කරනවා.

මෙහිදී පාඩම සඳහා නිවැරැදිව සූදානම් වී, අවශ්‍ය තෝරාගත් ඉගෙනුම් ආධාරක සපයාගෙන සාර්ථකව පාඩම ඉගැන්වීම තමයි කළ යුත්තේ. ඒ වාගේම තම පාඩම් කාලය තුළ සියලුම ශිෂ්‍යයින් පාඩමට සම්බන්ධ කරගැනීම, පාඩම අවසානය තෙක් සක්‍රියව රඳවා තබාගැනීම ඉතා වැදගත්.

පාඩම අතරතුරදී එන විවිධ තාක්ෂණික, භෞතික බාධාවන් කළමනාකරණයත් ඉතා වැදගත්.

තමා ඉගැන් වූ පාඩම සියලු දරුවන්ට අවබෝධ වී ද යන්න පිළිබඳ තක්සේරුවක් ගුරුවරයා විසින් මේ කාලය තුළම සිදු කළ

යුතුයි. මේ හැමතැනදීම ගුරුවරයාට මතුවෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පාඩමට සහභාගී නොවන ළමයාට

පාඩම ලබා දෙන්නේ කෙලෙසද යන්නයි.

පසුගිය සතියකදී මා සඳහන් කළ පරිදි මව්පියන් තම දරුවන්ට ප්‍රවේශ අවස්ථාව සැලසීම තමයි මෙයට පොදු පිළිතුර.

 

එසේ නම් මෙහිදී දරුවන්ගේ කාර්යභාරයත් සුළුපටු නැහැ. අපි ඒ පිළිබඳවත් කතා කරමු.

 

" මාර්ගගත අධ්‍යාපනයේ දී දරුවන් සම්පුර්ණ කාලය තුළම පාඩමට සක්‍රියව සහභාගී වීම ඉතා වැදගත්. ඒ වාගේම , අවශ්‍ය රූප සටහන්, සටහන් ආදිය නිවැරැදිව තබා ගැනීම එවේලේම සිදු කළ යුතුයි. එය පසුවට කල් දැමීම සුදුසු නැහැ.

අවශ්‍ය අවස්ථාවල දී ගුරුවරයා සමඟ මෙන්ම සමවයසිකයන් සමඟත් සුහදව පාඩමට ප්‍රතිචාර දක්වන්න. ඒ වගේම ඇගයීම් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමත් කළ යුතුමයි.

 

මෙහිදී දරුවා පාඩමට සක්‍රීයව සහභාගී වීම ගැන වචනයක් කියන්න ඕනෙ. හැම දරුවකුම මෙහිදී තමාට අවංක විය

යුතුයි. විශේෂයෙන් තමන් ඉගෙන ගන්නා ශිල්පයට ගරු කරන්න. හැම දරුවකු ගැනම නෙමෙයි මං මේ කියන්නෙ. පරිගණක ඉදිරියේ ඉඳන් අම්මා, තාත්තා පාඩම්වලට සහභාගී කරවා පැමිණීම ලකුණු කරවන දරුවන් ගැනයි මම මේ කතා කරන්නේ.

මම ඒ දරුවන්ට ගොඩක් ආදරෙන් කියන්නේ. තමන් ඉගෙන ගන්නා ශිල්පයට වංචා කරන්න එපා. එවැනි අවස්ථාවල ශිල්ප පිහිටන්නේ නෑ කියලයි අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙන්නේ.

ඉතින් මගේ ආදරණීය දරුවනේ,

ඔය හැම දරුවකුම තමන්ගේ පාඩම අවසන් වූ පසු තමන් තනිව නැවත පාඩම ආවර්ජනය කරලා, අපහසු තැන් නිරවුල් කරගන්න. ඔබ වැඩිපුර පොතපත කියවලා දැනුම ගොඩනගා ගත යුතුමයි.

ඔබ එදිනෙදා ඉගෙන ගන්නා පාඩම් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය නම් ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා ගැටලු නිරවුල් කරගන්න.

ඒ වාගේම මව්පියන් විදිහට දරුවාට පාඩමට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සහ නිදහසත්, නිවෙසේ පරිසරයත් සකස් කර දීම තමයි වැදගත් වන්නේ."