අභියෝග හමුවේ නොසැලෙන පෞරුෂයක් හිමිවන්නට නම්

අගෝස්තු 18, 2021

 

ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබාදීම පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම මව්පියන් ද දැනගත යුතුම කරුණු ගැන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල රැගෙන එන උපදෙස් මාලාව
 

 

අතමිට ගුලි කරවා , දෙනෙත් පියා මෙලොවට පියමනින පුංචි පැටියා තම මව් ඇකයේ උණුසුමට නතු වන්නේ නිරායාසයෙනි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් බාහිර පරිසරයට හුරුපුරුදු වන ඔහු අතපය විසි කරමින් දුවන්නට පනින්නට පටන් ගනියි. ඒ විතරක් නොව රිද්මයකට තම ඇඟපත සොලවමින් නර්තනයේ යෙදෙයි. ගී ගයයි.

 

මෙලෙස ක්‍රමානුකූලව බාහිර ලෝකය සමඟ සම්බන්ධවන දරුවා තම ජීවිත කාලය පුරාවටම විවිධාකාරයේ ක්‍රියාකාරකම්වල නියැළෙන්නට පන්නරය ලබාගන්නේ මේ ළමා අවධියේ දීමයි. අනතුරුව පෙර පාසල් සහ පාසල් අධ්‍යාපනය වෙත යොමුවන ඔහු ගණිතය, සිංහල, විද්‍යාව ආදී වශයෙන් වූ විවිධාකාරයේ විෂයයන් හැදෑරීමට යොමු වේ. ඊට අමතරව ක්‍රීඩා , නැටුම් , සංගීතය වැනි විෂයය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් හරහා තම පෞරුෂය හරි අපුරුවට ගොඩනගා ගනියි.

 

එබැවින් අද අපි විෂයය පරිබාහිර ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාගේ පෞරුෂය ගොඩ නංවා ගත හැකි ආකාරය ගැන දැනුවත් වෙමු.

 

විදුහල්පතිතුමියනි,

 

වසර දහතුනක් පුරා විෂයානුබද්ධ අධ්‍යාපනයක් ලබන්නට පාසලට ගොඩ වන දරුවා ඉන් ඔබ්බට ගොස් විෂයය බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට ද දායක වෙයි . ඉතින් ක්‍රීඩා, නැටුම්, සංගීතය මෙන්ම වෙනත් පෞරුෂ වර්ධන කාර්යයන් සඳහා දරුවන් යොමු කිරීමේ වැදගත්කම පහදා දෙන්න.

 

" අධ්‍යාපනයේ අරමුණ තමයි පරිපූර්ණ පුරවැසියකු රටට දායාද කිරීම. හැම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකම, හැම අධ්‍යාපන ප්‍රතිපත්තියකම, හැම අධ්‍යාපන ආයතනයකම පරිපූර්ණ පුරවැසියා බිහි කිරීමේ අරමුණ ගැබ් වෙලා තියෙනවා. මෙහිදී පරිපූර්ණ පුරවැසියා කියන්නේ සෑම අංශයකින්ම සංවර්ධනය වූ දරුවෙක්."

 

මොනවද මේ සංවර්ධන අංශ කියලා පැහැදිලි කළොත්.....

 

" අධ්‍යාපනික සංවර්ධනය, බුද්ධි සංවර්ධනය, කායික කුසලතා සංවර්ධනය, සෞන්දර්යාත්මක සංවර්ධනය, සදාචාර සංවර්ධනය, චිත්තවේගික සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය එවැනි සංවර්ධන අංශයි. දරුවා පරිපූර්ණ වන්නේ මේ හැම අංශයක්ම සංවර්ධනය වූ විටයි.

රෝගී තරුණියක අපයෝජනයට ලක් කරන වෛද්‍යවරයකු බිහිවන්නේත්, මුදලට තරග පාවාදෙන සුපිරි ක්‍රීඩකයකු බිහිවන්නේත්, න්‍යෂ්ටික අවි නිර්මාණය කරන ඉංජිනේරුවකු බිහිවන්නේත් අපරිපුර්ණ අධ්‍යාපන නිමැවුම් ලෙසටයි.

 

පාසල් පන්ති කාමරයේ කාලසටහනට අනුව සිදු කරන අධ්‍යාපන ක්‍රියාවලියට අමතරව පාසලේ තවත් සුවිශේෂී ඉගෙනුම් ක්‍රියාවලියක් සිදුවෙනවා.

 

 

" ඔව්.මෙය පන්ති කාමරයෙන් බැහැරව ගෙවන හැම වෙලාවකදීම සිදුවන්නක්. උදෑසන ආගමික වැඩසටහනේ සිට සවස් වනතුරා පාසලේ විවිධ ස්ථානවල සිදුවන මෙම ඉගැන්වීම් ක්‍රියාවලිය සැඟවුණු විෂයය මාලාව ලෙසයි හැඳින්වෙන්නේ. ක්‍රීඩා කටයුතු, විවිධ සමිති, නැටුම්, සංගීත ඇතුළු සෞන්දර්යය ක්‍රියාකාරකම්, බාලදක්ෂ, ශිෂ්‍යභට, සෞඛ්‍යදාන, රතුකුරුස වැනි වැඩසටහන්, පරිසර පදක්කම් වැඩසටහන, ශිෂ්‍ය පාර්ලිමේන්තුව මෙවැනි විෂයය බාහිර ක්‍රියාකාරකම් වෙනවා.

ක්‍රීඩා සහ ව්‍යායාමවලින් දරුවන්ගේ ශාරීරික සංවර්ධනය, කණ්ඩායම් හැඟීම්, නායකත්වය, ක්‍රීඩකත්ව ගුණාංග වැඩිදියුණු වෙනවා. ජය, පරාජය විඳගැනීමට ලැබෙන හැකියාව එයින් ඉතා වැදගත්. සෞන්දර්යය හා විවිධ සමිති සමාගම් ක්‍රියාකාරකම්වලින් නිර්මාණශීලී චින්තනය වාගේම නිදහස් චින්තනය, චිත්තවේග සමබරතාව, කායික කුසලතා වර්ධනය, කණ්ඩායම් හැඟීම, අන්‍යෝන්‍ය සහයෝගීත්වය වැනි ගුණාංග වැඩි දියුණු වෙනවා. ඒ වාගේම විවිධ ආගමික, සංස්කෘතික වැඩසටහන් හරහා අධ්‍යාත්මික සංවර්ධනය, සදාචාර සංවර්ධනය, සංහිඳියාව, සංස්කෘතික වටිනාකම් වැඩිදියුණු වෙනවා. ශිෂ්‍යනායක, ශිෂ්‍යභට, බාලදක්ෂ, ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආදිය දරුවන්ට සමබර නායකත්ව පෞරුෂ උරුම කර දෙන වටිනා ක්‍රියාකාරකම්."

 

මෙහිදී මව්පියන් සහ වැඩිහිටියන් අතින් ඉටුවිය යුතු කාර්යභාරයක් ද තිබෙනවා නේද ?

" ඇත්තටම දරුවකු පරිපූර්ණ පුරවැසියකු බවට පත් කරන්නට දරුවා මෙන්ම මව්පියන් ද උනන්දු විය යුතුමයි. විශේෂයෙන් මේ සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ පාසල් වේලාවෙන් පසුවයි. ඒනිසා ඒවාට සහභාගී වීමට දරුවාට අවස්ථාව වාගේම පහසුකම් ද ඔබ සලසා දිය යුතුමයි.

 

මොකද මේ සියලු විෂයය සමගාමී ක්‍රියාකාරම්වලින් තමයි අභියෝග හමුවේ නොසැලෙන පෞරුෂය දරුවන්ට හිමිවන්නේ. මෙවැනි සමබර පෞරුෂ නොමැති වූ විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පවා සියදිවි නසාගන්නා තත්ත්වයට පත්වෙලා තියෙනවා.

අපි දන්නවා සමහර නායකයන් ඉන්නවා ඉබේම අනුගාමිකයන් බිහිවෙනවා. එයට හේතුව ඔවුන්ගේ සමාජ කුසලතා ඉහළ වීමයි. වර්තමානයේ මෘදු කුසලතා ලෙසත් මේවා අර්ථකතනය කරනවා. ඒ කියන්නේ මිනිසුන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමේ, හැසිරීමේ , වැඩ කිරීමේ කලාවයි. එම කලාව පිහිටන්නේ පාසල් කාලයේ පන්ති කාමරයෙන් පිටත තිබුණු මේ ලස්සන අත්දැකීම් විඳගත් කෙනකුටයි.

 

ඒනිසා මානුෂීය ගුණයෙන් පිරිපුන් උසස් නායකයන් බිහිකරන්නට මේ විෂයය සමගාමී ක්‍රියාකාරකම් මනා පිටිවහලක් සපයන බව මට විශ්වාසයි."