අලුත් බබා අඬනවාද? ඔයත් හේතු දන්නවාද ?

ජුනි 24, 2024

 

අලුත උපන් බබෙක් ගෙදරට ගෙනා පසු නිවෙසේ අය පමණක් නොව අහල පහල අය ද නිදි වර්ජිත රාත්‍රීන් ගත කළ යුතු බව නො රහසකි.

 

දරුවන් මෙලෙස අඬන්නේ ඇයි ?

අලුත උපන් බිලිඳුන් සමහරක් බඩගිනි වූ විට හෝ වෙනත් හේතුවක් ඇතුව පමණක් හඬයි.

හේතුවක් සොයා ගත නොහැකි ලෙස රාත්‍රී කාලය පුරාමත් සවස කාලයේත් සමහර විටෙක මුළු දවස පුරාමත් හඬන දරු පැටවුන්ද වෙති.

මුහුණ රතුකරගෙන, කකුල් උඩට ඔසවාලමින් අත පය තදින් දරදඬු කරමින්, සුදුමැලි වී නැතහොත් රතු පැහැ වී හෝ කලාතුරකින් නිල් පැහැ වී පවා පීඩාකාරී ලෙස හඬන දරුවන් අප දැක ඇත.

මව්කිරි දුන්නත් හෝ නළවමින් ඇවිද්දත් ,කෙසේවත් නළවා ගැනීමට අපහසු බිලිඳුන් ද සිටියි.

අලුත උපන් දරුවන් මෙලෙස හඬන්නේ ඇයි ?

බඩගිනි වීම , අපහසුතාව, බිය, නිදිමත, රස්නය වැනි අලුත් බිලිඳුන් හඬනා හේතු කිහිපයක් ඇත. නමුත් මේ හේතු කිසිවක් නොමැතිව සමහර දරුවන් අතොරක් නැතුව ඇඬීම, එසේම දවසේ තෝරා ගත් එක්තරා කාලසීමාවකදී ඇඬීම දරුවාගේ උදරයේ යම්කිසි අපහසුතාවක් පෙන්නුම් කරයි. මෙය වෛද්‍ය විද්‍යාවේ කොලික් (Colic Pain) ලෙස හැඳින්වේ. කොලික් යනු ළදරු වියේදී ඇතිවන කරදරකාරීම තත්ත්වයකි. මේ හැඟීම බිලිඳා මාස දෙකක් පමණ ගතවන විට කෙමෙන් අඩු වී යයි.

සමහර බිලිඳුන් ඉපදී කිහිප දවසක් හොඳින් ගත කොට සති කිහිපයකට පසු මෙලෙස හඬන්නට පටන් ගනී.

මේ සඳහා ඖෂධ හෝ විශේෂිත ප්‍රතිකාර නැති අතර පහත සරල ක්‍රම මඟින් හැඬීම පාලනය කරගත හැකියි.

දරුවා වඩා ගැනීමේ හා නිදි කරවීමේ ඉරියව්

* මුණින් අතට තැබීම.

* සහනදායි ස්පර්ශය,තුරුලු කරගැනීම

(කැන්ගරු ක්‍රමයට දරුවා තබා ගැනීම)

*උදර සම්බාහනය

* අස්වසා සැනසීම

* සිත වෙන අතකට යොමු කිරීම

* නැළවිලි ගී කියා නැළවීම

වැනි ක්‍රමවේද අනුගමනය කරමින් දරුවා නළවා ගත යුතුය. නමුත් සියලුම දරුවන් හැම විටම හඬන්නේ කොලික් තත්ත්වයම නිසා නොවන බැවින් දරුවා වෙනත් හේතූන් නිසා අඬන සෑම හේතුවක්ම පිළිබඳව සැලකිල්ලෙන් සිට දරුවාගේ අවශ්‍යතා සපුරා දරුවා හැකි පමණ සුව පහසුවෙන් තැබීම කළ යුතු ය.

 

දරුවා හඬන හේතුව හඳුනා ගන්නේ කෙසේද?

බිලිඳුන්ගේ එකම සන්නිවේදන මාර්ගය ඇඬීම වුවත් හඬන රිද්මයෙන් පවා දරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමට හැකියාවක් මවකට ඇත.

* දිගු වේලාවක් කිරි නොබී සිට හෝ දෙතුන් වතාවක් මූත්‍රා කළ පසු හෝ දරුවා වඩා ගත්තත් නැළවෙන්නේ නැතුවම හඬන්නේ නම් තලු මරන්නේ නම් දිව පිටතට දමමින් පියයුර හොයන්නේ නම් ඒ දරුවා බඩගින්නේ සිටින බවයි.

සමහර විටෙක මෙවැනි බඩගිනි දරුවන් hunger striker මට්ටමට පත් වෙයි. එවිට ඉතා බඩගිනි වුවත් පියයුර ඉවත් කරමින් කිරි නොබී නොසන්සුන් ලෙස කෑ ගසා හඬයි. මෙවිට ඉතාම ඉවසීමෙන් යුතුව සෙමෙන් දරුවා සන්සුන්කර කිරි පෙවීම කළ යුතුයි.

* බබා තනිව කාමරයේ නිදා සිටින විට නැඟිට හඬන්නේ නම් හෝ තනිව මඳ වේලාවක් සිට සෙමෙන් සෙමෙන් හැඬීමට පටන් ගන්නේ නම් ඒ දරුවාට පාළුව, කාංසිය දැනීම හා මවගේ පහස, උණුසුම අවශ්‍ය බවයි.

* සමහර විටෙක දරුවා එක් වනම ඉතා හයියෙන් කෑ ගසා හඬන අවස්ථා ඇත. මූත්‍රා කිරීම, මලපහ කිරීම ආගන්තුක දෙයක් බැවින් ශරීරයේ සිදුවන අපහසුතාව පිළිබඳව බය වී එසේ කෑ ගසයි. මූත්‍රා ගියපසු, මලපහ කළ පසු හැඬීම නතර වේ. එසේත් නොමැති නම් මූත්‍රා කිරීමේ, මලපහ කිරීමේ ගැටලුවක් ඇතිවුවහොත් මෙලෙස තියුණු ලෙස හඬයි.

* ආමාශයේ වාතය පිරීම නිසා දරුවන් ඉතා අපහසුවෙන් ඇඹරෙමින් හඬයි. කිරි බිවූ පසු ගුඩුස් නොයැවීමෙන් මෙවැනි තත්ත්වයක් බොහෝ විට ඇති වේ. මෙවිට දරුවා උඩු අතට වඩා ගැනීම, උදර සම්බාහනය, මඳ උණුසුම් වතුර බේසමක ටික වේලාවක් වාඩි වෙන ඉරියව්වේ තැබීම වැනි දේවලින් සමනය කළ හැකියි.

* දිගින් දිගටම නොනවත්වා වරින් වර හඬයි නම් ශාරීරික වේදනාවක් හෝ යම්කිසි රෝග තත්ත්වයක් නිසා එලෙස හඬනු ඇත. සමහර විටෙක දරුවාගේ සිරුරේ උෂ්ණත්වය වැඩි වී තිබිය හැකියි. හැකි පමණ දරුවාට කිරි ලබා දීමත්, විවේකව තැබීමත් දරුවාගේ සිරුර පරීක්ෂාකර බැලීමත්, අවශ්‍ය විටෙක වෛද්‍ය උපදෙස් පැතීමත් කළ යුතුයි.

* දෑස්, මුහුණ, කන් පොඩි කරමින් හඬන්නේ නම් දරුවාට නිදි මත බවත් එවැනි අවස්ථාවක නැළවිලි ගීයක් කියා හෝ ඕනෑම සනසන ආකාරයකට දරුවා සනසා නිදිකර විය යුතුය.

* එක් වනම ඇහැරී හඬනවා නම් හෝ එක් වනම කකුල් උඩ දමමින් හඬනවා නම් දරුවා ඇඳුම් තෙමාගෙන විය හැකියි.

* කෙඳිරිගාමින් ඉතා අපහසුවෙන් හඬන්නේ බොහෝවිට දරුවාට උෂ්ණත්වය වැඩි වීම නිසයි. දරුවා නිතර සෝදා පිරිසුදුව තැබීමත් සිසිල් පිරිසුදු පරිසරයක තැබීමත් දරුවා

සන්සුන් කරයි.

මීට අමතරව දරුවන් හඬන විට වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදෙස් අවශ්‍යවන අවස්ථා ඇත.

* දිගින් දිගටම කිරි බීම ප්‍රතික්ෂේප කරමින් හැඬීම.

* දරුවාගේ සිරුරේ උෂ්ණත්වය වැඩි වීම සහ දිගින් දිගටම හැඬීම.

* උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම හා අසාමාන්‍ය ශ්වසන රටාවක් සමඟ හැඬීම.

* පැය කිහිපයක් එක දිගට ම දරුවාගේ හැඬීම.

 

මත හා විශ්වාස

මීට අමතරව දරුවන්ගේ හැඬීම පිළිබඳව ලංකාවේ ජනශ්‍රැ‍ති ඇසුරේ ඇති මත සහ විශ්වාස බොහෝමයකි. කුඩා දරුවන් මෙලෙස හඬන්නේ බාලගිරි දෝෂය හේතුකොට බව ලංකාවේ පැරැන්නෝ විශ්වාස කළහ.

ගැබ් පෙළහර නිසිලෙස සිද්ධ නොවීමත් බාලගිරි දෝෂ නිසාත් මෙලෙස දරුවන් අසාමාන්‍ය ලෙසින් හඬන බවට මත ඇත.

ගැබ් පෙළහර යනු මවක් ගැබ් ගත් දා සිට ඇයට ඇගේ නිවෙසේ සහ අවට සිටින සමාජය ලබා දෙන විශේෂ සැලකිලි,සත්කාර පිළිවෙළ වෙයි.

බාලගිරි දෝෂ යනු ලංකාවේ තදින් මුල් බැස ගෙන ඇති මතයක්වන අතර අදට ද අලුත උපන් දරුවකු ගෙදරට ගෙනා පසු නිවෙසේ දොරටුවේ හෝ හොඳින් පෙනෙන යම් තැනක

...බාලගිරි අද නොවේ හෙට...

ලෙස ලියා ප්‍රදර්ශනය කරයි.

මෙලෙස කරන්නේ ගිරි දේවියගේ නැතහොත් බාලගිරි නම් යක්ෂණියගේ දෝෂයෙන් දරුවා ආරක්ෂාකර ගැනීමටයි.

ගිරි දේවිය නම් දේවතාවිය මිය ගොස් දුෂ්ට යක්ෂණියක් ව ගිරිලියන් දොළසක් ලෙසින් කුඩා දරුවන්ට අවතාර පාන බව ගැමියන්ගේ විශ්වාසයයි.

ඉපදී මුල් මාස දොළහේ දී එක් මාසයට එක් යක්ෂණිය බැගින් යක්ෂණියන් දොළොස් දෙනෙකු දරුවන් වෙත එන බව සහ එලෙස පැමිණෙන දරුවන් බිය ගන්වන බවත් කියවෙයි.

හඬන දරුවන්ට මෙම යක්ෂණියන්ගේ දෝෂ ඉවත් කිරීමට නූලක් මතුරා නළලේ තැබීම, තෙල් මැතිරීම, දෙහි කැපීම වැනි සිරිත් ආදී ජනයා සිදු කරන ලදී. මේවායේ මිථ්‍යාව හෝ සත්‍ය කෙසේ වෙතත් අවධානයෙන් ගර්භිණී මවක කුඩා දරුවකු බලා ගැනීම මේ සිරිත්වලදී සිදු විය. සිරුරට හානියක් නොවන ලෙස සිදු කරන මිථ්‍යා ප්‍රතිකාරවල ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵලද සැබැවින් ම අප දැක ඇත්තෙමු.

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ