විදෙස් රටවලටත් බතික් ඇඳුම් අලෙවි කරන රංගනා

නොවැම්බර් 3, 2021

ඇය රංගනා ජයසූරිය. ජීවිතය යනු එක දෙයකට එක තැනකට සිරකර නොතැබිය යුත්තක් වග ක්‍රියාවෙන් ඔප්පුකළ තරුණ කාන්තාවක්. කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක වන ඇය වෘත්තියෙන් ගුරුවරියකි.

අන්තිමට අතට ලැබෙන පඩිපත ජීවිතයේ හීන වෙනුවෙන් ලබාගත් ණයවලට හිලව්කරමින් ජීවිතය ගෙවාදමන කාන්තාවන්ට රංගනා සපයන්නේ විසල් ආදර්ශයකි. ගෙවෙන හැම තත්පරයකටම වටිනාකමක් ලබාදීමට දැරූ වෙහෙසක ප්‍රථිඵලයක් ලෙස රංගනා සුප්‍රකට aiana බතික් ව්‍යාපාරයේ හිමිකාරිය ලෙස ඔබ හමුවට රැගෙන ඒමට අපට හැකිව තිබෙනවා.

රංගනා, මුලින්ම අපට ඔබ ගැන පවසන්න

''මගේ ගම ගම්පහ. මම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදයාලයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිය ලබාගත්තා. මගේ මගේ සැමියා හසිත සම්පත් යාපා ඔහුත් ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා ගුවන් යානා ඉන්ජිනේරු අංශයේ රැකියාවක් කරනවා. අපි විවාහ වෙලා අවුරුද්දක් දෙකක් ගත වෙත්දි අපිට හිතුණා මේ ගතවෙන කාලය හොඳ දේකට යොමුකළොත් අපේ ජීවිත මීටත් වඩා සාර්ථක කරගන්න හැකිවෙයි කියල. ඒ නිසා අපි මොකක් හරි අමතර ආදායමක් ලබන ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියල සැලසුම් කරමින් ඉන්න කාලෙක මම බතික් නිර්මාණ කරන හිතවත් කෙනකුට නිර්මාණ ටිකක් දීලා වැඩට අඳින්න සාරි කිහිපයක් හදවගත්තා. මේ නිර්මාණ ටික ගෙදර අරන් ආවට පස්සෙ අපිට මේකෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වෙයි කියල අදහසක් ආවා.''

අලුතින් ව්‍යාපාරයක් අරඹන්න හිතන කෙනෙකු සමඟ ඔබ ඔබේ ව්‍යාපාරික අත්දැකීම බෙදා දෙනව නම්

''2017 ඔක්තෝම්බර් 21 වැනිදා අපි එකතු කරගත්ත රුපියල් හතළිස් දහසක මුදලකින් අපිම නිර්මාණය කරගත්ත මෝස්තර වලට බතික් සාරි ටික්ක හදවගත්තා. මේ සාරි ටික අපි දන්න කියන අය අතර අලෙවි කළා. නොහිතුව විදිහට ඒ අයගෙන් අපිට තව සාරි වලට ඇනවුම් ලැබුණා. ඒ් අැනවුම් අපි බතික් සාරි හදවගත්ත තැනින් සාරිවල මිල ඉහළ දැම්මා ඒ වෙලාවෙ මම තේරුම් ගත්තා බතික් ගැන නොදැන මේ ව්‍යාපාරය දිගටම කරගන්න බැරිවෙයි කියල ඒ නිසා මම මුලින්ම බතික් උගන්වන පන්තියකට ගිහින් බතික් ඉගෙන ගත්තා. අපි ව්‍යපාරයක් පටන් ගන්නව නම් ඒ කරන ව්‍යාපාරය ගැන අපිට දැනුමක් තිබිය යුතුමයි. බතික් ඉගෙන ගෙන මමයි මගේ සැමියයි එකතුවෙලා බතික් සාරි සාම්පල කිහිපයක් නිර්මාණය කළා. වැඩේ හිතුවට වඩා අමාරුයි. ඒත් අපි අතහැරියෙ නැහැ.

මේ නිර්මාණ හිතවත් අය අතර විකුණන අතර අපි අපේ වෙළෙඳ පොළ පුළුල් කරගන්න සැලසුමක් ක්‍රියාත්මක කළා. ඩමියක් අඩු ගාණකට අරන් ඇවිත් හදපු සාරි අන්දල ෆෝන් එකෙන් ෆොටෝ අරන් පේජ් එකක් හදලා දාලා තමයි අපි අපේ ප්‍රචාරණ කටයුතු මුලින්ම පටන් ගත්තෙ. ඒ කාලෙ දැන් වගේ ඔන් ලයින් ව්‍යාපාරය දියුණු වෙලා තිබුණේ නැහැ. නමුත් ඔන් ලයින් වලින් අපිට හොඳ ගැනුම්කරුවන් පිරිසක් හැදුණා. අදටත් අපිට ප්‍රදර්ශනාගාර නැහැ. අලෙවි නියෝජිතයො නැහැ. ඔන් ලයින් තමයි සියලුම කටයුතු කරන්නෙ. දැන් ලංකාවෙ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වගේ රටවල ලංකාවේ අය පවත්වාගෙන යන දේශීය ඇඳුම් සාප්පු වලිනුත් අපිට අපේ සාරි සහ අනෙක් ඇඳුම් වලට ඉල්ලුමක් තියෙනවා.‘‘

ඔබ ඔබගේ නිෂ්පාදනය සඳහා හොඳ වෙළෙඳ පොළක් ඇතිකර ගන්න යොදාගත්ත උපක්‍රම මොනවද?

‘‘අපේ පළමු අරමුණ වුණේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු වෙනස් නිෂ්පාදනයි. අපි කාගෙවත් නිර්මාණ කොපි කළේ නැහැ. පැරැණි දේ ඇතුළෙ සිරවෙලා හිටයෙත් නැහැ. අපි බතික් කලාවෙ සාම්ප්‍රදායික මෝස්තර වලට වඩා වෙනස් තැනකට අරන් ගිහින් අයානා සන්නාමයට අනන්‍යවූ මෝස්තර හදාගත්තා. තව කෙනෙක් කරපු නිර්මාණ අපෙන් හදල ඉල්ලුවත් අපි ඒකට එකඟ වුණේ නැහැ. වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් කරල වැඩි දෙනකුට දෙනවට වඩා අපි බැලුවෙ උසස් නිර්මාණ කිරීමයි.

අපි යොදාගත්තෙ පලපුරුදු බතික් ශිල්පීන්. අපේ බතික් නිර්මාණ කරන දේශාන් බණ්ඩාර සහ ජය භාරති අවු 20 පමණ බතික් කලාව ගැන අත්දැකීම් තිබෙන නිර්මාණ කරුවන් දෙදෙනෙක්. ඇඳුම් නිර්මාණය හා මැහුම් කටයුතු කරන්නෙ කල්පනී වාකිෂ්ඨ. ඇයත් පළපුරුදු මැහුම් ශිල්පිනියක්. ඔවුන්ගේ පළපුරුද්දත් අපේ සාර්ථකත්වයට බලපෑවා.‘‘

කෝවිඩ් සමයේ ව්‍යාපාර කටයුතු වල බිඳවැටීම්ක් වුණේ නැතිද?

‘‘මෙහෙමයි ව්‍යාපාරයක නැගීම් වගේම වැටීම් තියෙන කාල එනවා. අපි පටන් ගත්තෙ පුංචිම තැනින් ඇඳුම් විකුණන්න. සාප්පුවක් හෝ ලොකු මුදලක් අපි ළඟ තිබුණෙ නැහැ. අපි දියුණු වුණේ පියවරෙන් පියවර. ඒ ගමන ගැන හිතත්දි අපිට ලාබ ඉදිරියේ සතුටු වෙනව වගේම පාඩු ළඟ නොසැලී ඉන්නත් හැකියාව තියෙනවා. මගේ සැමියා හසිත මේ හැමදෙයකටම මට ලොකු ශක්තියක්. කෝවිඩ් කාලෙ අනිත් ව්‍යාපාර වල වගේම අපෙත් බිස්නස් අඩු වුණා. එහෙමයි කියල අපි අපේ ව්‍යාපාරය දාලා යන තැනකට වැටුණෙ නැහැ. කෙනෙක් ව්‍යපාරයකට අත ගහනව නම් ලාබ පාඩු විඳදරාගන්න හැකියාව ඇතිකරගත යුතුයි.

මේ ව්‍යාපාරය ඇසුරෙන් රංගනාගේ ජීවිතයට ලැබුණ දේවල් මොනවද?

අයානා කියන්නෙ අපේ ලොකු දුවගෙ නම. අපි අපේ දරුවන්ගේ නම යොදාගෙන බාල තත්ත්වයේ දේවල් මිනිසුන්ට විකුණන්නෙ නැහැ. ව්‍යාපාරික ආචාරධර්ම සියයට සියයක් රකිමිනුයි අපි මේ ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. ආයානා නිෂ්පාදන කෙරෙහි පාරිභොගිකයා තුළ ඇති ගරුත්වය අපිට හරි ආඩම්බරයක්. තරුණ යුවලක් විදිහට අපේ ජීවිත වල තිබූ බොහෝ අපේක්ෂා ඉටුකර ගැනීමට මේ ව්‍යාපාරයෙන් ලැබුණ ආදායම ඉවහල් වුණා. අද අපි හොඳ දෙයක් කරල හොඳ ජීවන මට්ටමක් පවත්වාගෙන යෑමේ සතුට අත්විඳිනවා. අද අපි මේ ව්‍යාපාරයෙන් ලාබ ලබනව වගේම මේක අනාගතයේ අපේ දරුවෙක් වෙනුවෙන් කරන ආයෝජනයක්. නිකන්ම ගෙදරට වෙලා හිටියා නම් අපිට මේ දේවල් ලැබෙන්නෙ නැහැ. මම කියන්නෙ තමන් රැකියාවක් කළත් නොකළත් දෙයක් කරන්න අදහසක් තියෙනව නම් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් කැපවීමෙන් වැඩ කරන්න.