නිවෙසේ සිටින නොපෙනෙන මාරයා ගැන ඔබ දැනුම්වත් ද?

නොවැම්බර් 3, 2021

හෝල්ඩර් හෝ ප්ලග් බේස් සවි නොකර සක්‍රීය විදුලි ධාරා සහිත වයර් අනාරක්ෂිතව තබන්නට එපා.

 

අපගේ ජීවිත කාලය තුළ මෙතෙක් අත් නොවිඳි අභාග්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වීමට සිදුවී තිබෙනවා. ආර්ථික දුෂ්කරතා විතරක් නෙවෙයි;

"....නිදහසේ හුස්ම ටිකක් ගන්නත් බැහැ..."

හැබැයි ඉතින් ඒ ගැන නොහිතා මුඛ ආවරණය නැතිව හුස්ම ගන්න ගියොත් මාරයා ඉන්නෙත් අපි අවටමයි කියන එක මොහොතකටවත් අමතක කරන්න එපා. ගතවුණු වසර දෙකකට ආසන්න කාලයේදී හිතන්න අවශ්‍ය කාරනා ටිකකුත් ලැබුණු බව අමතක කරන්න බැහැ. අරපිරිමැස්ම, හොඳ සෞඛ්‍ය පුරුදු, සරල දිවි පැවැත්ම වගේ දේවල් ජීවිතයට ගළපා ගන්න ඉතාම හොඳ අවස්ථාවක් ලැබුණා.

කොරෝනා වසංගතය තව කොතෙක් කාලයක් අපි අතර තියේවිදැයි කියන්න වෛද්‍ය විශේෂඥයන්ටවත් හැකියාවක් නැහැ. වරින්වර පැවැති සංචරණ සීමා පැනවීම්, රට වසා දැමීම් අතරේ නිවෙසට කොටු වෙලා හිටපු කාලය ඔබ කොතෙක් දුරට ඵලදායි විදිහට යොදා ගත්තාද? වත්තපිටිය සුද්ධ කරගන්න, එළවළු පලාවක්, රම්පෙ, කරපිංචා, කහ, ඉඟුරු ටිකක් හිටවා ගන්න, වල්වැදී තිබුණු ගෙඋයන යළි සකසා ගන්න, නිවෙසේ අලුත්වැඩියා කිරීම් ආදිය ගැන ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද? එහෙම කරගත්තානම් ඔබ

බොහෝ නිවාසවල දකින්නට තිබෙන දෙයක් තමයි, ක්‍රියා විරහිත පුළිඟු පේනු (plug point) ඒ වාගේම සමහර විදුලි බුබුළු නිසි ලෙස දැල්වෙන්නේ නැහැ. ඒවායේ රංචුන (Holder) අබලන් වී ඇති නිසා. සමහර ස්විච් ඉහළ පහළ කිරීම ඉතාම අසීරුයි. තවත් තැනක ප්ලග් පොයින්ට් එකකම විදුලි උපකරණයක් සම්බන්ධ කරන්නට බැහැ ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වෙනවා. සමහර නිවාසවල විදුලි පරිපථ, ස්විච්, ප්ලග් නිසි ක්‍රියාකාරි බවින් යුක්ත වුණත්, හදිසි විදුලි කාන්දුවක දී හෝ නිවෙස ආසන්නයේම පුපුරා යන අකුණක් හේතුවෙන් ලැබෙන අධි වෝල්ටීයතාවයක දී ට්‍රිප් ස්විචය ස්වයංක්‍රීයව විසන්ධි වන්නේ නැහැ. සමහර නිවාසවල බිත්ති ලාම්බු, විදුලි පංකා මෙන්ම ප්ලග් පොයින්ට් සඳහා අදිනු ලැබූ විදුලි රැහුන්, උපකරණ සවි නොකර අතිශය අනාරක්ෂිත තත්ත්වයක පවතිනවා.

දැන් ඔබ කල්පනා කර බලන්න ඔබගේ නිවෙසේ මෙවැනි අඩුපාඩු තිබෙනවා ද කියා...නැතිනම් හොඳටම හොඳයි... එසේ කියන අයට, විදුලි ශිල්පය පිළිබඳ දැනුමක් නැති අයට මෙම ලිපිය අතිශයින් ම වැදගත් වේවි. ගැටලු නැති අයටත් ඉදිරියේ දී අවශ්‍ය වියහැක බැවින් සියලු දෙනාගේ ම අවධානය පිණිසයි.

පළමු උපදේශය සහ තරයේ කෙරෙන අවවාදය වන්නේ, හෝල්ඩර් හෝ ප්ලග් බේස් සවි නොකර සක්‍රීය විදුලි ධාරා සහිත වයර් අනාරක්ෂිතව තබන්නට එපා. මෙම අනාරක්ෂිත විදුලි රැහැන් බොහෝ නිවාසවල දක්නට ලැබෙන පොදු තත්ත්වයක්.

* එසේ තිබෙන්නේ කුමන ස්ථානවලද?

* අලංකාරයට සවිකරන බිත්ති ලාම්පු

* බිත්තිවල සවි කරන විදුලි පංකා

* නිවෙසේ දෙපස පිටත බිත්ති හෝ වහලයේ සවි කෙරෙන විදුලි බුබුළු සඳහා

* සාලයේ / කාමර/ මුළුතැන්ගෙය ආදියෙහි වැඩිපුර යොදා ඇති ප්ලග් බේස් ස්ථානගත කිරීම්

* ගේට්ටු කණු දෙක / තාප්පය දිගට යොදන විදුලි ලාම්පු සඳහා

මධ්‍යම පාන්තික සහ ඉන් පහළ ස්ථර නිවාසවල මෙබඳු තැන් බහුල වශයෙන් දක්නට ලැබෙනවා. බොහෝ විට මෙය සිදුවන්නේ මුදල් හිඟතාවය නිසයි. පසුව සවිකරන බවට සිතා ගෙන සිටියත් මෙය දිගින් දිගටම මඟ හැරෙනවා, කල් දැමෙනවා. විදුලි රැහැන් ඇදීමත් ඉතාම කරදරකාරී වැඩක්. ඒ වගේම අධික වියදමක් දැරීමටත් සිදුවෙනවා. කෙසේ වෙතත් මෙවැනි අනාරක්ෂිත විදුලි රැහැන් මාරාන්තික විය හැකි සහ එලෙස සිදුවුණු අවස්ථා කොතෙකුත් තිබෙනවා. අන්න ඒ නිසා පවුලේ ආදරණීයයන්ගේ මෙන්ම ඔබගේ ද ආරක්ෂාව සඳහා 'විදුලිය' නැමැති 'නොපෙනෙන මාරයා' ගැන උනන්දුවීම ඔබගේ පරම වගකීමක්. එබැවින්,

"හෝල්ඩර් / ප්ලග් බේස් සවිකර නොමැති තැන්වලට ඒවා සවි කරන්න. මෙතැනදී වඩාත් ම අන්තරායකාරි වන්නේ ප්ලග් බේස් සඳහා ඇද තිබෙන විදුලි රැහැන් බව අමතක කරන්නට එපා. ඇයි දන්නවාද? එතැන නිරන්තරයෙන් ම විදුලිය සහිත රැහැනක් තිබෙනවා. එබැවින් මෙබඳු ස්ථානවල ප්ලග් බේස් සවි කිරීමට මූල්‍ය දුෂ්කරතා තිබේනම් එවැනි තැන්වලට කනෙක්ටර් බාර් කැබැල්ලකට වයර් අග්‍ර සවි කර, එය වටකර ඉන්සියුලේට් ටේප් යොදා ආවරණය කර තබන්න. මේ සඳහා විදුලි කාර්මිකයෙකු ගේ සහාය ලබා ගැනීම වැදගත් (මෙය ඔබටම කරගත හැකි ආකාරය පිළිබඳ උපදෙස් ලබන සතියේ බලාපොරොත්තු වන්න)."

* විදුලි බුබුළු සඳහා විදුලි රැහැන් ඇද තිබෙන තැන්වලට සාමාන්‍ය හෝල්ඩර් සවිකරන්න. (බිත්ති ලාම්පු සහ විදුලි පංකා) මෙය එතරම් වියදම් යන දෙයක් නොවෙයි. එසේ ම කිසිම හෝල්ඩරයක් විදුලි බුබුළක් සවි නොකර තබන්නටත් එපා. අවම වශයෙන් දැවී ගිය විදුලි බුබුළක් හෝ රඳවා තබන්න. ඇයි දන්නවද...? ඔයාල අතින් නොදැනීම සිදුවෙන විශාල වරදක් තිබෙනවා... මොකක්ද දන්නවද...?

විදුලි බුබුළු සවි කර නැති වුණත් ඒ සඳහා ස්විච් සවිකිරීම බොහෝ විට සිදු කරනවා. විදුලි බුබුළක් දැල්වීමේ දී එයට නියමිත ස්විචය (එකම පුවරුවේ ස්වීච් දෙකටක වැඩි සංඛ්‍යාවක් තිබෙන තැන්වල) කුමක්දැයි මතකයේ නොමැතිකම නිසා ස්විච් සියල්ලම දමා (ON) බැලීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් සමහරුන් අතින් අනවශ්‍ය ලෙස ON කළ ස්විච් ක්‍රියාවිරහිත (OFF) වීම අමතකවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් ස්විචය OFF කර ඇති විටෙක හෝල්ඩරයක විදුලි නැහැ. කුමන හෝ හේතුවක් නිසා ස්විචය ON කර ඇති විදුලි රැහැනක / හෝල්ඩරය තුළට වැරැදීමකින් ඇඟිල්ලක් හෝ ලෝහ කූරක් යොමුවුවහොත් නියතයක් ලෙස විදුලි සැර වදිනවා.

විදුලිය යනු වර්තමානයේ දී අපට නැතිව බැරි බලශක්තියක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙම අවදානම් තත්ත්වය පවතින්නේ Alternative Current හෙවත් ප්‍රත්‍යාවර්තක ධාරාව තුළයි.(230 walt) අවාසනාවකට මෙන් අප භාවිතා කරන්නේ එයයි. විදුලියෙන් ආරක්ෂා වී එහි ප්‍රයෝජන ඵලදායි ලෙස ලබා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු බොහෝ දෑ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කලාපවලින් අවධානය යොමු කරමු.