ගෙදරදී ම සීනි පාලනය කරන සරල ක්‍රම 7ක්

නොවැම්බර් 3, 2021

 

බොහෝ දෙනා පුරුදු වී සිටිනවා ලේසියට පහසුවට කඩ කෑම ආහාරයට ගන්න. නමුත් මේ කඩ කෑම කියන්නේ අඩික ලෙස තෙල්, පිටි, හා විවිධ රසකාරක වර්ග යොදපු කෑම, කිසිම ගුණයකින් තොර මේ වගේ කෑම නිසා දියවැඩියාව හැදෙන එක බොහොම ඉක්මනට වෙන්න පුළිවන්.

ඇවිදිම කියන්නේ හොඳ ව්‍යායාමයක්. දියවැඩියාවෙන් තොර නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න ව්‍යායාම අත්‍යවශ්‍යයි. කඩේට, පොළට, පාසලට යන පොඩි දුර ඇවිදගෙන යන්න පුළුවන් නම් දියවැඩියාව වගේ බෝ නොවන රෝග ඔබේ කිට්ටුවටවත් එන එකක් නැහැ.

 

දියවැඩියාව පුංචි වචනයක් වුණාට බොහොම දරුණු ප්‍රථිපල ගෙන දෙන්න පුළුවන් ජාතියේ රෝගයක්. ලංකාවේ පමණක් නොවෙයි මුලු ලෝකේ පුරාම බෝ නොවන රෝග අතරින් උඩින්ම තියෙන්නේ දියවැඩියාව.

දියවැඩියාව හැදුනට පස්සේ බෙහෙත් බොනවට වඩා හදා ගන්නේ නැතුව ඉන්න එකයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් අම්මා කෙනෙක්, ගෘහණියක්, බිරියක් විදිහට  දියවැඩියා රෝගයෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් ක්‍රම 7ක් තියෙනවා අපිට අනුගමනය කරන්න පුලුවන්. මේ කරුණු හිතට ගත්තොත් දියවැඩියාව පාලනය කරගන්නත් දියවැඩියාව වැළදීමෙන් වැළකී සිටින්නත් හේතුවක් වේවී.

 

නිසි පමණට ආහාර පිසිමු

 

නිසි පමණට ආහර පිසීම යනුවෙන් අදහස් කරන්නේ පවුලේ අවශ්‍යතාවය අනූව පමණක් ආහාර පිසීම ගැනයි. පවුලේ ඉන්නේ සිව් දෙනෙකු නම් පස් දෙනකුට හරියන්න ආහාර පිසීමෙන් සිදුවන්නේ ඉතුරු ආහාර ප්‍රමාණය අපතේ දාන්න ලෝබ කමට අපහසුවෙන් හරි ආහාරයට ගන්න එක. නිවෙසෙක අවසානයටම ආහාර ගන්නේ බොහෝ දුරට මව. ඇයට තමයි ඒ ආහාර සියල්ලම කන්න වෙන්නේ. එහෙම නැත්නම් පවුලේ හැමෝම වැඩිපුර ආහර ගන්නවා වැඩිපුර ආහාර තිබෙන නිසා. වැඩිපුර ආහාර ගැනීම දිගින් දිගටම පවත්වාගෙන යෑම දියවැඩියාවට අත වනන කාරණාවක්.

එනිසා පවුලේ සාමාජිකයන්ට ගැලපෙන පමණට ආහාර පිසීමෙන් දියවැඩියාවෙන් පමණක් නොවෙයි ආහාර නාස්තියෙනුත් වැළකෙන්න පුළුවන්.

 

නිසි වේලාවට නිසි ප්‍රමාණයෙන් ගන්න

 

බොහෝ දෙනා පුරුදුව සිටිනවා කාර්යබහුලත්වය නිසාම ආහාර වේල් මගහැර සිටින්න. ගෙදර දොරේ වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු එක්ක ගෘහණියන්ට ආහාර වේල් අමතක වෙනවා වගේම රැකියාවේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙද්දි සැමියන්ටත් ආහාර වේල් මගහැරෙනවා. බොහෝ විට මඟහැර ගන්නේ උදෑසන ආහාර වේලයි. නියමිත ආහාර වේල මඟහැරුනම අධික කුසගින්නකින් තමයි ආහාර ගන්න පටන් ගන්නේ. මෙන්න මේ අධික කුසගින්න නිසා ආහාර විශාල ප්‍රමාණයක් නොදැනීම ආහාරයට ගැනෙනවා. දිනපතා මේ විදිහට කුසගින්නේ සිට අධික ලෙස ආහාර ගැනීමත් දියවැඩියාව වැළදෙන්න හේතුවක්. ඒ නිසා අධිකව කුසගින්න ඇති වෙන්න කලින් නියමිත ආහාර වේල් හරි වෙලාවට ගන්න.

එළවළු පලතුරුවලට මුල් තැන

 

දියවැඩියාවට මූලිකම හේතුව වැරදි ආහාර රටාවයි. ඊට තෙල්, පිටි, සීනි, අඩංගු ආහාර දිනපතා ලබා ගැනීම කියන කාරණාව මූලිකවම බලපානවා. අධික පිෂ්ඨය සහිත ග්ලූකෝස් මට්ටම වැඩි පැණි රස ආහාරත් සුදුසු නොවේ. ඒ වෙනුවට නිවුඩු සහිත තැම්බූ සහල් වඩා සුදුසුයි. ආහාර සකස් කිරීම බොහෝ දුරට තියෙන්නේ ගෘහණිය අතේ නිසා මේ අහිතකර කෑම වර්ගවලින් ඈත් වෙලා ඉන්න පුළුවන් තරම් උත්සහ කරන්න පුළුවන්. පිශ්ඨය අඩංගු ආහාර වෙනුවට කෑම වේලට වැඩිපුර එළවළු, ප්‍රෝටීන් අඩංගු ආහාර, පළතුරු වගේ ශරීරයට වඩාත් ගුණදායී ආහාර වට්ටෝරු පිළියෙල කරන්න පුළුවන් නම් දියවැඩියාවෙන් බේරිලා ඉන්න අපට පුළුවන්.

 

කඩ කෑමෙන් දුරස් වෙමු

 

බොහෝ දෙනා පුරුදු වී සිටිනවා ලේසියට පහසුවට කඩ කෑම ආහාරයට ගන්න. නමුත් මේ කඩ කෑම කියන්නේ අඩික ලෙස තෙල්, පිටි, හා විවිධ රසකාරක වර්ග යොදපු කෑම, කිසිම ගුණයකින් තොර මේ වගේ කෑම නිසා දියවැඩියාව හැදෙන එක බොහොම ඉක්මනට වෙන්න පුළිවන්. උදාහරණයක් විදිහට කඩෙන් ගේන තෙල් අධික ෆ්‍රයිඩ් රයිස් වෙනුවට එළවළු, බිත්තර දාලා ගෙදරම ෆ්‍රයිඩ් රයිස් හැදුවොත් රස වගේම ගුණත් වැඩිපුර ලබා ගන්න පුළුවන්. පාන් පිටි ආහාර වෙනුවට ආටා පිටි, සහල් පිටි ආහාර වඩා සුදුසුයි.

 

පොඩි බඩගින්නට පලතුරු කන්න

 

ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරමැද එන පොඩි පොඩි බඩගිනිවලට කාන්තාවන් පුරුදු වෙලා ඉන්නේ පැණි රස කෑමක් හරි පිටි කෑමක් හරි කන්න. කේක් වර්ග, රෝල්ස්, පැටිස් වගේ ජාති මේ අතරින් ඉදියෙන්ම තියෙනවා. හැබැයි මේ කෑම වර්ග දීර්ඝ කාලයක් තිස්සේ දිනපතා ආහාරයට ගත්තොත් දියවැඩියාව හැඳීම වළක්වන්න බැහැ. ඉතින් පොඩි බඩගින්නට මේ කෑම ජාති නොකා ඒ වෙනුවට නැවුම් පළතුරු, රටකජු, ආමන්ඩ් වගේ ඇට වර්ග, යෝගට් වගේ දේවල් ගත්තොත් නීරෝගී දිවියක් පවත්වාගෙන යන්න හොඳ අත්වැලක් වනවා. පළතුරු යුෂ වෙනුවට නැවුම් පලතුරුම ආහාරයට ගන්න.

 

හැකි සැමවිට ඇවිදන්න

 

ඇවිඳීම කියන්නේ හොඳ ව්‍යායාමයක්. දියවැඩියාවෙන් තොර නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න ව්‍යායාම අත්‍යාවශ්‍යයි. කඩේට, පොළට, පාසලට යන පොඩි දුර ඇවිදගෙන යන්න පුළුවන් නම් දියවැඩියාව වගේ බෝ නොවන රෝග ඔබේ කිට්ටුවටවත් එන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි. විදුලි සෝපානය පාවිච්චි කරන එක නවත්වලා ඒ වෙනුවට පඩිපෙළ භාවිත කරන්න පුළුවන්. නිවෙස පිරිසුදු කිරීම්, ගෙවතු වැඩ, අතු ගෑම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම වඩා සුදුසුයි. තට්ටු නිවාසවල ජීවත්වන අයට දවසකට කීප වතාවක් පඩිපෙළ නැඟලා බහින්න පුළුවන්නම් ක්‍රියාශීලි ජීවිතයක් ලබා ගන්න වගේම දියවැඩියාවෙන් ඈත් වෙලා ඉන්නත් පුළුවන්.

 

වැඩ පහසු කරන උපකරණවලින් දුරස් වෙමු

 

දැන් කාලේ කාන්තාවන්ට හැම වැඩේම ලේසියෙන් කර ගන්න විදුලි උපකරණ බොහොමයක් තියෙනවා. හැබැයි මේ උපකරණවලින් වැඩ පහසු කරනවා විතරක් නොවෙයි, දියවැඩියාව වගේ ලෙඩ රෝග රෝගත් නොමිලේම කාන්තාවන්ට ලැබෙනවා. හැකි සෑම විටම මේ උපකරණවලින් ඈත් වෙලා ඔබේ වැඩ ශරීරය වෙහෙසලා කරන්න පුළුවන් නම් ලෙඩ රෝගවලින් ඈත් වෙන්න එය හේතුවක් වනවා. වොශින් මැෂින් එකේ දාලා රෙදි හෝදනවට වඩා පොඩි පොඩි රෙදි අතේ හෝඳන එක, බ්ලෙන්ඩර් එක වෙනුවට මිරිස්ගල වංගෙඩිය භාවිතාව වගේ දේවල් අපිට කරන්න පුළුවන්නම් නීරෝගීව ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා.

 

 

උපදෙස්

කායික රෝග පිළිබඳ විශේඥ වෛද්‍ය

තුෂාර ද සිල්වා