නිවෙසේ සිටින කාන්තාවන්ට තමන්ගේම කියා අමතර ආදායමක් උපයා ගැනීමටත්, නිර්මාණශීලි විනෝදාංශයක නිරත වීමටත් කදිම අවස්ථාවක් ලෙස Wire Wrapping Jewelry හෙවත් කම්බි ආභරණ කලාව හඳුන්වා දිය හැකියි. කාන්තාවන්ට ඉතා අඩු පිරිවැයකින් සහ සරල මෙවලම් කිහිපයකින් මෙම ව්‍යාපාරය ආරම්භ කළ හැකියි.
වර්තමානයේ බොහෝ කාන්තාවන් උත්සාහ කරන්නේ තම ගෘහිණියකගේ භූමිකාවට බාධාවක් නොවන පරිදි ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනඟා ගැනීමටයි. ඒ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ තමන් සතු නිර්මාණශීලි හැකියාව උපයෝගී කරගෙන වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති යමක් නිෂ්පාදනය කිරීමයි. මේ දිනවල අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය කලාවක් වන Wire Wrapping හෙවත් කම්බි ආභරණ කලාව, එවැනි සාර්ථක ගමනක් යාමට කැමැති ඔබට කදිම අවස්ථාවකි.

මොකක්ද මේ Wire Wrapping කියන්නේ?
මෙය ලෝහ කම්බි භාවිතයෙන්, කිසිදු පෑස්සීමක් හෝ රත් කිරීමක් නොමැතිව, විවිධ වූ කම්බි එතීමේ හා ගැටගැසීමේ ශිල්පීය ක්‍රම මඟින් ආභරණ නිපදවීමේ පුරාණ මෙන්ම ඉතා කලාත්මක ශිල්පයකි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එකම නිර්මාණයක් නැවත ඒ අයුරින්ම කළ නොහැකි වීමයි. එබැවින් ඔබ නිර්මාණය කරන සෑම පෙන්ඩනයක් හෝ කරාබු යුවළක්ම ලොව ඇති එකම නිර්මාණය බවට පත්වේ.
ආරම්භ කිරීමට අවශ්‍ය මූලික උපකරණ සහ අමුද්‍රව්‍ය
මෙම කලාවට පිවිසීමට ඔබට විශාල වැඩබිමක් හෝ මිල අධික යන්ත්‍ර අවශ්‍ය නොවේ. ඔබේ සාලයේ ඇති කුඩා මේසයක් වුවද මේ සඳහා ප්‍රමාණවත්ය.
කම්බි නැවීමට සහ කැපීමට අඬුවක්
ආභරණ නිපදවන කම්බි: මුලින්ම පුහුණුව සඳහා තඹ (Copper) හෝ ඇලුමිනියම් කම්බි භාවිත කළ හැකියි. පසුව දියුණු වන විට රිදී හෝ රන් ආලේපිත කම්බි භාවිත කළ හැකිය. මේවායේ ප්‍රමාණයන් (Gauge) කිහිපයකින් ලබාගත යුතුය (උදා: ග්‍රෑම්18, 20, 24, 28).
අලංකාර ස්වාභාවික ගල් වර්ග, පබළු, හෝ සාමාන්‍ය ඔප දැමූ වීදුරු කැබලි පවා මෙහිදී මැණික් ගල් ලෙස නිර්මාණශීලිව යොදාගත හැකියි.
ඉගෙන ගන්නෙ කොහොමද?
අද වන විට ලෝකයේ ඕනෑම විෂයක් ඉගෙන ගැනීමට ඇති හොඳම තැන YouTube ය. Wire Wrapping for Beginners ලෙස සෙවුම් කළ විට ඔබට දහස් ගණනක් පාඩම් මාලා සොයා ගත හැකිය.
මෙය හුදෙක් විනෝදාංශයකට එහා ගිය ලාභදායී ව්‍යාපාරයක් කර ගත හැක්කේ ඇයි?
අමුද්‍රව්‍ය පිරිවැය අවම වීම: සාපේක්ෂව අඩු මිලට ගත හැකි තඹ කම්බි සහ ස්වාභාවික ගල් භාවිත කර ඉතා ඉහළ මිලකට විකිණිය හැකි, ඕනෑම අයකුට පැලඳිය හැකි ආභරණ නිපදවිය හැකියි.
අපනයන වෙළඳපොළ:
විදේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමෙන් ඩොලර් ආදායමක් පවා උපයා ගත හැකිය.
සුවිශේෂීත්වය: ප්ලාස්ටික් ආභරණවලට වඩා ස්වාභාවික පෙනුමක් සහ කලාත්මක වටිනාකමක් ඇති නිසා ඉහළ පෙළැන්තියේ පාරිභෝගිකයන් මෙයට වැඩි කැමැත්තක් දක්වයි.
මෙය ඉවසීම සහ පුහුණුව අත්‍යවශ්‍ය කලාවකි. මුල් දින කිහිපයේදී කම්බි හසුරුවා ගැනීම තරමක් අපහසු යැයි හැඟුණත්, දින කිහිපයක පුහුණුවෙන් පසු ඔබේ දෑතින් අලංකාර නිර්මාණ බිහිවන විට දැනෙන මානසික තෘප්තිය අතිමහත්ය. එබැවින්, ගෘහිණියක් ලෙස ඔබ ගෙවන කාර්යබහුල ජීවිතයට නිර්මාණශීලි විවේකයක් එක්කර ගන්නා අතරම ඔබේම නාමයකින් යුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙලඹෙන්නේ නම් එය ඉතා වටී.
TEXT – ඉඳුෂා ආශිංසනී
