Monday, May 4, 2026
Epaper
Home කෙටි කතාවප්‍රමාදය

ප්‍රමාදය

by Shanaka Lakehouse

පූර්ව දිග පුන් පොහෝ දිනක් වූ බැවින් පරිසරය එක ලෙස සඳ රැසින් පිරී ඇත. කාමරයේ තිර පොටින් විවර වූ ජ‍ෙනල් වීදුරුව මත ලෙළ දෙන තුරු පත් විසිතුරු රටා මවයි. වඩ වඩා දීප්තියෙන් වැඩෙන සඳ රැස් කිරි වර්ෂාවකට පෙරළෙයි. මේ සිදුවන විපර්යාසය කිමෙක්දැයි මම මවිත වීමි. හිටි අඩියේ ස්වර්ණ වර්ණ ආලෝක දහරාවක් පතුරුවමින් මා අබියසට පැමිණියේ දේවතාවෙකි. ඔහු මට මෙසේ පැවසීය.

“මම තොපට වර තුනක් දෙමි. එයින් එක් වරමක් තොපට තෝරා ගත හැකිය. මා විසින් දෙන ලද කාලය තුළ තොප කිසියම් තෝරා ගැනීමක් කිරීමට අපොහොසත් වුව හොත් තොපගේ මුළු ආත්මයම මැඩියකුගේ ආත්මභාවයට ඇතුළු කරමි. හොඳින් අසා ගනුව. වර තුන මෙසේය: තොප දැනට විඳින සියලු සැප අත්හැර මා සමඟ දිව්‍ය ලෝකයට යා යුතුය. එසේ නොවී නම් තොප අවීචි මහා නරකයට යා යුතුය. නැත් නම් දැනට ගෙවන ජීවිතය සදා කල් ගෙවිය යුතුය.”

ඉහත වර තුන ඉදිරිපත් කළ දෙවියා “මා නැවත තොප අබියසට එන්නට පෙර තොපට සුදුසු වරය තෝරා ගත යුතුය. එසේ නොවේ නම් දඬුවම හොඳින් මතක තබා ගත යුතුය” කියමින් අතුරුදන් විය. මම දස අතේ කල්පනා කළෙමි. අපායට නම් කෙසේවත් නොයා යුතුය. මගේ පවුලේ අපමණ වගකීම් සහිතව සිටින මා මෙසේ හදිසියේ දෙව්ලොව යන්නේ කෙසේද? පිළිසරණක් ඉල්ලීමට දෙවියා අහලකවත් නැත. මේ ලැබුණු අවස්ථාව අත්හැර දැමීම ද කෙසේ වත් නොකළ යුතුය. මනුෂ්‍ය ආත්මභාවයේ වද වේදනා තව දුරටත් විඳීමේ තේරුමක් ද නැත.

මා දැන් ඉල්ලන්නේ කුමන වරයදැයි මම දිගින් දිගටම කල්පනා කළෙමි. දෙව්ලොව හා මිනිස් ලොව අතර එගොඩ මෙගොඩ තරණය කිරීමට අපමණ වෙහෙස වූ මට දෙවියා කී අනෙක් කරුණු මතකයට නගා ගැනීමට උත්සාහ කළ ද සියල්ල අබිබවා මා ඉදිරියේ පෙනී යන්නේ දෙව්ලොව හා මිනිස් ලොව පමණි. දිගු වේලාවක් දෙව්ලොව අතර ගැටුණු මට ගෙවී ගිය කාලය ද අමතක ව ගොස් තිබුණි. හිටි අඩියේ ආලෝක දහරාවක් විහිදුවා ගෙන නැවත මා ඉදිරියේ පෙනී සිටි දෙවියා “දැන් තොපගේ වරය ඉල්ලව. තොපට බොහෝ කාලයක් දී ඇති බැවින් තවත් තත්පරයක්වත් හිමි නැත. වහා කියව” යි කීවේය.

අසරණ වූ මම දෙවියා දෙස බැලීමි. දෑත් ඔසවා වැඳ වැටුණෙමි. තවත් කාලයක් දෙන ලෙස ඉල්ලා සිටියෙමි. “නැත. නැත. තොප වහාම මැඩියකු බවට පත් කරමි” යි කී දෙවියා අතුරුදහන් විය. මා සැබවින් ම මැඩියකු බවට පත්ව සිටියෙමි. මගේ ප්‍රමාදයට යළි සමාව දී මෙම මැඩි ආත්මයෙන් මා මුදවන්නැයි දෙවියන් යදින්නට උත්සාහ කළද “බක බක” හඬ මිසක් වෙනත් හඬක් මා මුවින් පිට නොවීය.

මගේ “බක බක” හඬින් අවදි වූ මගේ බිරිය “ඊයියා… මේ කාලකණ්ණි මැඩියෙක්… ඇඳටම නැඟලා” කියමින් ඇඳ ඇතිරිල්ල පිටින් ගුළි කොට එළියට විසි කළාය. “අයියෝ ශීට් එකත් අපිරිසුදු කරලා ඇති. දුවේ පුතේ ඔය තාත්තට කතා කරන්නකෝ. මේ මැඩියා අල්ලලා විසික් කරන්න කියලා” ඇය දුවට කතා කළාය. එළියට ආ දුව “තාත්තේ… තාත්තේ… මෙහෙ එන්නකෝ ඉක්මනට” කෑ ගසා කියයි. “කෝ… මේ තාත්තා පේන්නවත් නෑ නෙ.” “මේ මනුස්සයා පාන්දර කොහේ ගිහිල්ලද මන්දා? ෂුවර් එකටම උදේ පාන්දර පුරුද්දට කඩේට යන්න ඇති. මොන මල කරදරයක් ද මන්දා” කී ඇය ඇඳ ඇතිරිල්ල නැවත දිග හැර ඈතට ගැසුවාය.

රෙදි පොටින් ගිලිහී ගිය මම ගේ ඉදිරිපිට තිබූ සීතල පොකුණෙහි ගිලී ගියෙමි. තද සීතලින් මගේ ඇඟ කිළිපොළා ගියේය. මම වෑයමින් පොකුණේ කණ්ඩියට ගොඩවී බිත්ති කණ්ඩිය බඩගා බිත්තිය මතට නැග්ගෙමි. “මල කරදර. ශීට් එකත් හෝදන්න වෙනවා. වැඩ නැතුවට වැඩ” කියමින් ඇතිරිල්ල අතට ගත් බිරිය ගෙට වැදුණාය. “තාත්තා කොහේද කියලා බලන්න පුතේ. මෙච්චර වෙලා කොහේ ගියාද? කියන්නෙත් නැතුව.” “කොහේවත් ගියේ නෑ. මම මෙහේ. බිත්ති කණ්ඩිය උඩ” යයි කියන්නට මා උත්සාහ කළද මගේ මුවින් නැවත නිකුත් වූයේ “බක බක” හඬමය. “අන්න අන්න ආපහු සද්දෙ දානවා… බලන්න… ආපහු ගෙට ඇවිල්ලද කියලා” බිරිය දියණියට කීවාය.

“කෝ අම්මේ තාත්තා තාම නෑ.” “බලන්න දුරකතනය ගෙනිහිල්ලද කියලා.” “මේ දුරකතනය මෙතන තියෙන්නේ.” “මෙච්චර දවල් වනතුරු කියන්නෙත් නැතුව.” මා සිටින බව කීමට ක්‍රමයක් නැති වුයෙන් මම කුස්සියේ දොර උළුවස්සට පැන්නෙමි. මගේ ප්‍රයත්නය වැරදී ගියෙන් උළුවස්සේ වැදී කුස්සියේ සින්ක් එක මතට වැටුණෙමි. “අයියෝ මොන කරුමයක්ද මන්දා? මේ ගෙම්බ තඩියා ආපහු කුස්සියට පැන්නා. හිටපන්… උඹට හොඳ වැඩක් කරන්න” කී බිරිය කොස්ස ගෙන මා බිමට දමා කොස්සේ කොහුවලට පැටලෙන සේ ගෙන ඈතට විසි කළාය.

වේගයෙන් විසි වී ගිය මම ගෙය ඉදිරිපිට ඇති කොහොඹ ගසේ වැදී මිදුලට පතිත වීමි. ගසේ වැදුණ වේගවත් පහරත් බිම වැටීමත් හේතු කොට ගෙන තද බල වේදනාවෙන් පසු වූ මම තැළී ගිය දෑත් අහසට ඔසවා වැතිර ගතිමි. “මූ මැරුණද මන්දා… කාලකණ්ණි සත්තු… පව් දෙන්න ඇවිල්ලා.” මේ මිනිහා කොහේ මකබෑවුණාද මන්දා” බිරියට හොඳටම කේන්ති ගොසිනි. ඇයට මේ සියල්ල පැහැදිලි කිරීමට ක්‍රමයක්ද නැත. නැවත යමක් කියන්නට ගියහොත් මගේ “බක බක” හඬට කේන්ති ගන්නා ඇය කොසු මිටෙන් තළා මා මරා දමන්නට ද ඉඩ ඇත. එහෙයින් අධික හිත් අමාරුවද කායික වේදනාව ද විඳ දරා ගෙන නිහඬව සිටියෙමි.

නැඟෙනහිරින් පායා එන හිරු කොහොඹ ගස මුලට තදින් දැනේ. තද රශ්මිය දරාගත නොහී මම ගසේ මුලෙහි සෙවණ වැටී ඇති පැත්තට ඇදුණෙමි. එහෙත් වැඩි වේලාවක් එම ඉරියව්වෙන් රැඳී සිටීමට නොහැකි විය. මගේ පිට සම තදින් වියළෙන්නට විය. එහෙයින් නැවත බිත්ති කණ්ඩිය දිගේ බඩ ගෑ මම බිත්තියේ මුඳුනත් වහල සෙවණත් අතර රැඳුණෙමි.

මා අතුරුදන් වීමේ පුවත අසල්වැසි ඥාතීන් වෙත පැතිර යාමට වැඩි වේලාවක් ගත වී නැත. රැස් වූ පිරිසෙහි ඇතැමෙක් තවෙකකුට කනට ළං වී යමක් කියති. සමහරුන්ගේ ඇස් ගෙඩි හා මුහුණු පිම්බී ඇත. බිරියගේ සොහොයුරියක් තේ වත් කොට පැමිණ සිටින පිරිසට සංග්‍රහ කරයි. “ඕකුන්ට ඔච්චර තේ ගිල්ලවන්න ඕනෑ නැහැ” බිරියගේ තවත් සොහොයුරියක් සංග්‍රහ කරන සොයුරියට බැණ වැදුණාය. “ඒ වුණාට අයියා හිටියා නම් කොහොමද මේ කට්ටියට සලකන්නේ… එහෙනම් තේ හදලා ඉවරයක් නෑ…” කිසිවකු මා සෙවීමට වෙහෙස ගන්නා බවක් නොපෙනේ. උදෑසන තේ කෝප්පයවත් හරියට නොලත් දියණිය බඩ අතගාමින් කුස්සියට පැමිණ බිරියට සෙමින් යමක් කීවාය. “දැන් ඉතින් කාපල්ලා මගේ මාලු” දියණිය නිහඬව කල්පනාවේ වැටී එතැනින් ඉවත් වූවාය.

නිවෙසේ සිදුවන අලකලංචිය දෙස බලා සිටි මට මැඩි ආත්මයක් ලැබීමෙන් ලද වේදනාව අමතක වී ගිය ද මා තුළ ඇති වූයේ විමතියකි, පිළිකුලකි. කිසිවකුට මා සෙවීමේ අවශ්‍යතාව හෝ ඒ සම්බන්ධ උත්සාහයක් හෝ පෙනෙන්නට නැත. මා මට දෙව්ලොව යාමට තිබූ අවස්ථාව අහිමි කර ගත්තේ පවුලේ වගකීම් ගැන සිතා නොවේද? දෙවියා මට දුන් වරමින් ප්‍රයෝජන ගැනීමට මා පමා වූයේ පවුලේ වගකීම් ගැන සිතන්නට වූ බැවිනි.

වහලයේ තහඩු රත් වීම නිසා තද රශ්මියක් ඇඟට දැනේ. බිත්තියත් තහඩුවත් අතර පැවති සමීපකම නිසා බිත්ති කණ්ඩිය පෝරණුවක් මෙන් දැවෙයි. වෙනත් සුදුසු තැනක් සෙවීමට වෑයම් කළ මට නාන කාමරයේ සිසිලස සිහි විය. බිත්ති කණ්ඩිය දිගේ බඩ ගා ගිය මම සිවිලිම අතරින් රිංගා නාන කාමරයට වැදුණෙමි. පිඟන් ගඩොල් මත සිසිලස ගත නිවා දමයි. මා සිටින පිඟන් ගඩොලට විරුද්ධ දෙසින් නාන කාමරයේ කැඩපත මට පෙනේ.

කැඩපතින් මට මගේ රුව පෙනේ. කිඹුල් පිටක් වැනි ගොරහැඩි මුහුණ මත වූ දෙනෙත් පින්ග් ‍ෙපාං බෝල දෙකක් වැනිය. මහා බඩ ගෙඩිය දෙපසින් වැහැරුණ අත්පා දිරාපත් කේඬෑරි අතු රිළි වැනිය. කදිම ප්‍රිය මනාප සිරුරක් හිමිව තිබූ මගේ පියකරු ආත්මභාවය මෙතරම් ජුගුප්සාජනක මැඩි ආත්මභාවයකට පත් කළ පුද්ගලයා දේවතාවකු වූයේ කවර පවකින්දැයි මම කල්පනා කළෙමි. දෙව්ලොව යාම කෙසේ වෙතත් මා මෙතෙක් භුක්ති විඳි විසිතුරු මනුෂ්‍ය ආත්මභාවය යළි ලැබීමට නම් මා කළ යුත්තේ කිමෙක්දැයි මට මහත් ගැටලුවකි. මා වැනි මනුෂ්‍යයකු මැඩියකු බවට පත් කළ දෙවියා තව දුරටත් දෙව් සැප ලබන්නේ පව් රැස් කරමින්දැයි මම දස අතේ කල්පනා කළෙමි.

එක් වරම නාන කාමරයේ දොර ඇරුණාය. ඒ මගේ දියණියයි. මම ඇයට සත්‍යය පැහැදිලි කළ යුතුය. මගේ රූපය දැක ඈ බියපත් වුව හොත් ඇයට තනිපංගලමේ මට වූ ඇබැද්දිය පැහැදිලි කිරීමට නොහැකි වෙයි. එහෙයින් මම ඇයට “දුවේ” යයි ඇමතීමි. මා මුවින් පිට වූයේ “බක බක” හඬමය. “ඊයියා ගෙම්බෙක්…” කියාගෙන නාන කාමරයෙන් එළියට පැන්න ඇය ලිස්සා බිම වැටුණාය. මම ඇය අල්ලා ගැනීම පිණිස හැකි වෙර යොදා ඇය අසලට පැන්නෙමි. ඇගේ කෑමොර ගැසීම තවත් වැඩි විය. මිදුලේ සිටි නෑයෝ හා අසල් වැසියෝ එතැනට දුවගෙන ආවෝය. “මේ ගෙම්බා ආපහු ඇවිල්ලා මගේ ඇඟටත් පැන්නා.” හොඳටම කේන්ති ගොස් සිටි බිරිය “මැඩියෙක් දැක්කහම ඔච්චර මොර දෙන්න ඕනෑද?” කියමින් දියණියට දෙකක් ගැසුවාය. “බය වෙච්ච ළමයට ගහලා හරියනවය” තවෙකෙක් කියති.

“අනේ පුතේ… මේ මැඩියා අල්ලලා කොහේට හරි ගෙනිහින් දාන්න. මේ වෙච්ච විපත්තිය මදිවට මැඩි කරදරයක්” කී ඇය අසල නිවැසි ළමයකුට ඇවිටිලි කළාය. අසල් වැසි දරුවා පොල් කටුවක් ගෙනැවිත් එක්වරම මගේ මුළු ඇඟම වැසෙන සේ වසා පොල් කටුව යටින් කාඩ්බෝඩ් කැබැල්ලක් යවා පොල් කටුවත් කාඩ්බෝඩ් කැබැල්ලත් අතර මා සිර කොට ඔසවා ගත්තේය. “ආ… හරි… හරි… ඔහොම්මම ගෙනිහිල්ලා ඈතකට ගෙනිහින් විසිකරන්න” යි කී බිරිය ජයග්‍රාහී ගමනින් කුස්සිය දෙසට ගියාය. මා දඟලා එළියට පනින්නට උත්සාහ කළද වැරෙන් අල්ලා ගෙන සිටි ළමයාගේ ග්‍රහණයෙන් මිදෙන්නට මම අපොහොසත් වීමි.

එක්වරම පොල් කටුවද සමඟ මා උඩින් විසි වී යනු මට දැනුණේය. එතරම් දිග පිම්මක් කිසිදු මැඩියකුට පැනීමට නොහැකි වුවද මා තුළ හට ගත්තේ බියකි. වේගයෙන් ගිය පොල් කටුවේ ගුරුත්වයට හසු වූ මා බිමට වැටුණේ පොල් කටුව ගසක වැදුණ පසුවය. ගසේ වැදුණේ පොල් කටුව බැවින් ද මා වැටුණේ කසළ ගොඩකට බැවින් ද මට හානියක් සිදු නොවීය. මා ගුවනින් යනු බලා සිටි බිරියටත් දියණියටත් ඇති වූයේ මඳ අස්වැසිල්ලක් වුව ද “ඔය කොච්චර විසික් කළත් මැඩියා වැටෙන්නේ ගේ දිහා බලාගෙනමයි” අසල්වැසි කාන්තාවක් කීවාය. “ඉඳකින් විතරක් මූසල කතා” යි මුමුණමින් බිරිය ගෙට ගියාය.

මට කිසිදු හානියක් සිදු නොවීය. මගේ ඥාතීන්ට මට වූ සියල්ල අවබෝධ කර දීමට මඟක් ගැන සිතමින් මම යළිත් වරක් ගේ දෙසට පිම් කීපයක් පැන්නෙමි. මගේ හිතවත් ඥාතීහු ජංගම දුරකතන අතින් ගෙන මා ගැන දන්නා කියන නෑයින්ට සහ මිතුරන්ට කතා කොට මා පැමිණියේදැයි අසති. බිරිය ද දුරකතනයේ එල්ලී සිටියි. “දැන් අයියගේ පවුලේ කට්ටිය දැන ගත්තොත් විසුමක් ලැබෙන්නේ නෑ… ඒ ගොල්ලන්ටත් කල් ඇතුව කීවා නම් හොඳයි” බිරියගේ මල්ලී කීවේය. “ඒ මිනිස්සු අපිට දොස් කියයි… කල් මැරුවායි කියලා.”

“මූසල මෝඩ රංචුවක්” යයි සිතමින් මම තවත් පිම් කීපයක් ගේ දෙසට පැන්නෙමි. මල් පඳුරක් අස්සේවත් රැඳිය යුතුය. නැත්නම් මට ද විසුමක් නැත. මම තවත් පිම්මක් මල් පඳුර දෙසට පැන්නෙමි. අනපේක්ෂිත ලෙස එතැනින් ගිය බිරිය මගේ පිම්මට බාධාවක් වූවාය. මම ඇගේ ගෙල මත පතිත වීමි. ඇගේ ගෙලේ සුපුරුදු උණුසුමට මා තුළ ඇති වූයේ බලවත් ඇල්මකි. එහෙත් සැණෙන් කෑ ගසමින් ඇඟ ගසා දැමූ ඇය අතිශය කෝපයට පත්ව “මේකා මරලා දාන්න” කියමින් කුස්සියේ බරාදයට පැන්නාය. මා තුෂ්ණිම්භූතව ගේ දෙස බලා සිටියෙමි. “මෙච්චර විපත්තියක් වෙලා තියෙන වෙලාවේ ගෙම්බෙකුත් වද දෙන්න ආවා” කියමින් දොරපොල්ල අතට ගත් බිරිය දෑත් ඔසවා වැරෙන් පහරක් එල්ල කිරීමට සැරසුණාය. පසුපස ගාත් පොළොවේ තරයේ තබා ගත් මම පොලු පහරින් වැළකීම පිණිස ඉදිරි ගාත් වැරෙන් ඔසවා ගතිමි. “මොකදෑ” යි කී බිරිය අනෙක් ලෙයට හැරුණාය. මම ද අනෙක් ඇලයට හැරුණෙමි.

 

TEXT – විමල් ආරියවර්ධන (විශ්‍රාමික විදුහල්පති)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?