Monday, April 27, 2026
Epaper
Home කෙටි කතාවදෙලොවක් අතර

දෙලොවක් අතර

by Shanaka Lakehouse

මද්දහනය නිමා කරමින් සන්ධ්‍යා කාලය එළඹෙමින් පවතින නිසා මෙතෙක් වෙලා ගිනියම් වූ මහමඟ මඳින් මඳ සිසිල් වෙමින් පවතී. හමන සුළඟේ ද යම් සිසිලසක් රැඳී ඇත්තා සේය. බසයෙන් බැසගත් අනුලා බොරලු පාර දිගේ නිවෙස වෙත පා එසවූයේ ගත වූ දැඩි තෙහෙට්ටුවකිනි. වරින් වර සාරි පොට ගෙන මුහුණේ නැඟි දාබිඳු පිස දමමින් ඇය ගමන් කළේ පණ නැති රූකඩයක් සේය. මේ වෙලාවේ වැඩි සෙනඟක් නැති නිසා පාරේ ද ඇත්තේ දැඩි පාළු ස්වභාවයකි. බයිසිකලයක් හෝ ට්‍රැක්ටරයක් පැමිණියේ නම් අනුලාට හැතැම්මක් විතර දුර පයින් යන්න සිදු නොවේ. එහෙත් ඇගේ අවාසනාවට තවම එවැන්නක් මුණ නොගැසුණි.

ඉඳහිට හමුවෙන්නකු, නිවෙසක වැට අයිනේ සිටින්නකු සමඟ මඳක් නතරව ආගිය තොරතුරු කතා කරමින් සෙමින් සෙමින් ඇය නිවෙස වෙත ළඟා වුවාය. ඉඳහිට හමන සුළඟේ ශබ්දය හැර වෙනත් කිසිම හඬක් නැති පරිසරයේ ගෘහය ද නිශ්චලත්වයට පත්ව ඇත්තා සේය. අනුලා නිවෙසට ගොඩව කෙටි බරාඳයේ පුටුවක හිඳ ගත්තේ ගෙතුළට කර පොවා ‘ලොකු දුව’ යැයි හඬගාමිනි.

එසැණින් දොරින් මතු වූ තරුණියගේ අත වතුර වීදුරුවක් ද විය.

‘මොකද මේ දොරවල් ඇරලා දාලා කෝ පොඩි දෙන්නා.’

වතුර වීදුරුව අතට ගන්නා ගමන් අනුලා විමසුවාය.

‘ටී වී බලනවා මාත් එතැන හිටියේ අම්මේ. කොහොමද දැන් තාත්තට?’

‘ඒ වගේම තමයි තාම සිහිය නැහැ. වියදම් කරන් යන එකත් අපරාදේ. කෑම එක වෙන ලෙඩෙකුට දුන්නා.’

සුසුමක් හෙළමින් අනුලා සාරි පොටෙන් පවන් සලන්නට විය.

‘මොකද ඉතින් ඩොක්ටර් කියන්නේ?’

‘ඉක්මනට සිහිය එයි කියලා තමයි කියන්නේ. බලමුකෝ…… මට මේ ගමන එපා වෙලා දැන්. පොඩි දුරක් ද? බස් කීයක යන්න ඕනේ ද? ස්වල්ප වියදමක් ද?’

අම්මාගේ කතාවට හූමිටි තබමින් සිටියා මිස අමාලි උත්තර බඳින්න නොසිතුවාය.

‘සමහර දුර අය උදේ ඇවිත් හවසත් බලලමයි යන්නේ. අපට එහෙම කරන්න බැහැනේ. හවස් වෙන කොට ටවුමේ ඉඳලා බස් නැහැනේ.’

අමාලි අම්මාගේ විඩාපත් මුහුණ දෙස බලා සිටියේ අනුකම්පාවෙනි. උදේම නැඟිටලා කෑම උයාගෙන නවයට විතර ගෙදරින් පිටත් වෙන ඈ, බස්වල තෙරපෙමින්, පයින් ඇවිදිමින් ආපසු එන විට සවස් වෙයි.

‘පව් අම්මා’

‘දවසක් ඇර දවසක් යන්නකෝ අම්මේ.’

‘එහෙම හරියන්නේ නැහැනේ දුවේ. සිහිය ආවද කියලා දැනගන්න ඕනෙනේ. කෑවේ නැතත් එක වේලකට හරි කෑම ටිකක් ගෙනියන්න ඕනේ.’

සුසුමක් හෙළමින් අනුලා ගෙමිදුල දෙස බලා සිටියේ අරමුණකින් තොරවය.

‘අම්මේ දැන්මම කනවද?’

දියණියගේ හඬින් කල්පනාවෙන් මිදුණු අනුලා,

‘මම නාලම එන්නම්. ඉස්පිරිතාලේ ඉඳලා ඒ මදිවාට බස්වල හිරවෙලා එපාවෙනවා.’

‘එහෙනම් මම අම්මට තේ එකක් හදන්නම්. වතුර නටනවත් ඇති.’

රාත්‍රියට උයාපිහා අහවර කළ අනුලා බරාඳයේ හිඳ ගෙමිදුලේ සෙල්ලම් කරන බාල දරුවන් දෙදෙනා දෙස බලා සිටියත් සිතේ අනේකවිධ පැටලීම්ය.

‘කිව්වේ නම් මගේ සල්ලි…. මගේ සල්ලි කියලා. දැන් ඔය විඳවන්නේ, එයා නම් බීලාවත් විඳෝනවා. ඒත් අපි.’

අනුලාට සැමියා ගැන තරහක් උපදින්න වැඩි වෙලාවක් ගත නොවීය.

ඇසුණු කෑලකෝලහලයක් නිසා අනුලාගේ නෙත් ගෙමිදුලට යොමු විය.

කොහේදෝ සිට පැමිණි ලොකු පුතාගේ බයිසිකලයේ එල්ලී පොඩි දෙන්නා කෑගසද්දී එය එහාට මෙහාට රැගෙන යමින් ඔවුන් අවුස්සමින් ඔහු සිනහ වෙයි. මිදුලේ මල් කඩමින් සිටි අමාලි ද එදෙස බලමින් සිනහ වෙන අයුරු දුටු අනුලාගේ ද මුවඟ ද සිනහවක් ඇඳුණත් ක්ෂණයකින් එය මැකී යමින් හඬ අවදි විය.

‘මොකෝ ඒ සැරේ තුවාල කරගන්න හදනවද? තාත්තා ළඟට වෙලා ඉන්න බැරියැ.’

අම්මාගේ කෑගැසීම ඇසුණු නුවන් බයිසිකලය පොඩි දෙන්නාට පවරා නංගිට ළං විය.

‘මොකද තද වෙලා තියෙන්නේ? තාත්තට අමාරු ද?’

‘ගිහින් අහගන්නවා අම්මගෙන්. මෙතැන විකාර කරනවා. අම්මා එනකොට ගෙදර හිටියේ නැහැනේ ඒකයි.’

නුවන් හීන්සැරේ ගෙට ගොඩ වී අම්මා ළඟ හිඳගනිමින් තාත්තාගේ තොරතුරු අසා ගෙතුළට යන්න සැරසෙද්දී,

‘ලොකු පුතා හෙට ඔයා යන්න තාත්තා බලන්න. මට මහන්සියි දවස ගානේ යන එක ලේසි නැහැනේ.’

‘බලමු…. බලමු’

‘බලන්න දෙයක් නැහැ ඔයා යනවා.’

අම්මාගේ තිර හඬින් මෙල්ල වුණු තරුණයා නිවෙස තුළට යත්ම අමාලි මල් වට්ටිය අම්මාගේ දෝතේ තැබුවේ බුදුන් වඳින්නටය. හතර වටින් ගලා එන සැදෑ අඳුර මැද අනුලා මල් වට්ටියත් ගෙන බුදු කුටියට පියවර එසවූවාය.

රෝහලට නොගියත් අනුලාට කරන්න දහසකුත් වැඩ ගොඩගැසී තිබුණි. වෙනදා උදෙන්ම උයාගෙන ගෙදරින් පිටවෙන ඇයට වත්ත පිටිය ගැන බලන්න වෙලාවක් නොතිබුණි. ගස් යට වැටුණු පොල් අතු, හනසු එකතු කරමින් ඇය වත්ත පුරා ඇවිද්දේ මැල්ලුමකට පලා ද කඩමිනි. ගෙමිදුලේ තැනින් තැන මතුව තිබුණු තණකොළ ද උදලු ගා ඉවත් කළ අනුලා තෘප්තිමත් විය. ඇය දැක පාරේ යන අසල්වැසියෙක්, හිතවතෙක් නතරව රෝගියාගේ සුවදුක් විමසූවෙන් කාලය ගත වෙනවාත් නොදැනුණි.

සැන්දෑ වෙත්ම අනුලාගේ නෙත් පාර දෙසට යොමු වී තිබුණේ රෝහලට ගිය පුතු රුව දකින්නයි. ඇගේ නොඉවසිලිමත්කම ඈව ගෙමිදුලේ එහාට මෙහාට කී වරක් රැගෙන ගියාද කියා ඇයවත් නොදනී. රෝහලට නොගියාට සිතෙන් ඇය පසුතැවෙයි. සිහිය ඇවිත් ද, පුතාව අඳුරගත්ත ද, කෑම කෑව ද, ප්‍රශ්නවලට විසඳුම නුවන්ගේ පැමිණීමයි. අමාලි ද නිවෙසේ සිට මවගේ ඉරියව් දෙස බලා සිටියේ සොහොයුරාට සිතෙන් දොස් පවරමිනි. ‘වෙනදා මේ වෙන කොට අම්මා නම් ඇවිත්. එයා යන්න ඇති කොහේ හරි රස්තියාදුවක.’

සැදෑ අඳුර ද කෙමෙන් කෙමෙන් ගලා එන්නට විය. අනුලාගේ සිත තදින්ම නොසන්සුන්ය.

‘මොකක් හරි කරදරයක් ද? මේ ළමයට පණිවිඩයක් දෙන්න බැරිද?’

‘අනේ මන්දා මේ දරුවා ඇයි මෙච්චර පරක්කු.?’

‘අම්මේ අයියා හවසත් බලලා එන්න හිටියද දන්නේ නැහැනේ.’

‘අපි බය වෙනවා කියලා හිතන්න එපායැ.’

‘මට බය මොකක් හරි කරදරයක් ද කියලා.’

අම්මාගේ වදනින් අමාලිගේ සිත ද ගැස්සුණි. තැවුල් සිතින් බලාපොරොත්තු නෙතින් අම්මත් දුවත් අඳුර දෙස බලා සිටිද්දී නිවෙසට ඇදෙන රුව දැක දෙදෙනාම ගෙමිදුලට බැස්සේ නොඉවසිල්ලෙනි.

‘කොහොමද පුතේ තාත්තට සිහිය ඇවිත් ද?’

‘ඔහේ නැහැ හිටිය විදිහමයි.’

අනුලාගේ මුවින් දිගු සුසුමක් පිට විය.

‘ඇයි පරක්කු වුණේ? අම්මයි මමයි බයේ හිටියේ.’

‘ඒ මොකද? මට හිතුණා හවසත් බලලා එන්න.’

‘හා හා කමක් නැහැ….. යමු ගෙට පුතාට මහන්සිත් ඇති.’

‘බලන්නත් දුකයි. කොහොම හිටිය තාත්ත ද? අනේ මන්දා ඩොක්ටර්ස්ලා වැඩි දවසක් බලන එකක් නැහැ වගේ.’

තරුණයාගේ සෝබර හඬින්, හදවතේ නැඟි වේදනාවෙන් අනුලාගේ දෙනෙත් තෙත් විය.

ජයසේන දෑස් විවර කර වටපිට බැලුවත් හතර වට ඝන අන්ධකාරය පමණිදෑසට හසු වූයේ. කෙතෙක් උත්සාහ කළත් කිසිවක් හඳුනා ගැනීමට අපොහොසත්ව ඔහේ පාවෙමින් සිටින ජයසේනට දැනෙන්නේ පුංචි එළියක්වත් නැති අඳුරු අගාධයක සිරව සිටින්නා සේය. කොච්චර දැඟලුවත් අතපය ගැසුවත් මින් එළියට යන්න මඟක් නැත්තා සේය. විපරම් කළත් පුංචි කවුළුවක්වත් සොයා ගන්න නොහැකිව ජයසේන සුසුම්ලන්නට විය. කෙතෙක් උත්සාහ කළත් සිදු වූ කිසිවක් මතකයට නඟා ගන්න නොහැකිව පැටලී සිටින ඔහු වෙර යොදා හඬ නඟා තෙරක් නොපෙනෙන කළුවර අගාධයේ සිරව බේරාගන්නැයි මොර දුන්නත් ඇසෙන කෙනෙක් නැතිවා සේය.

වෙහෙසට පත්ව ජයසේන හතිලමින් අන්ධකාරය දෙස තියුණු දෑස් යොමු කළත් අඳුර පමණි. කයේ ශක්තිය ද ක්ෂය වෙමින්, ක්ෂය වෙමින් යයි. දෑස් ද නිලංකාරය. සිරුර ද රිදුම් දෙයි. හුස්ම ද හිර වන්නා සේය. තමාව අගාධයේ පතුලටම ඇදී යන්නා සේ දැනුණත් අප්‍රාණික දෑතින් අල්ලා ගන්නවත් කිසිවක් හසු නොවුණි. මින් ගොඩ ඒමක් නොමැති බව දුර්වලව යන ජයසේනට වැටහුණි.

දුබල මනසේ නොයෙකුත් මනෝ රූප මැවෙන්නට වූයේ තව තවත් ඔහු ව්‍යාකූල කරමිනි. ජයසේන අගාධය තුළ ඔහේ පාවෙමින් සිටියේ ගොඩ එන්න දඟලන්න ශක්තියක් නැති නිසාය. අප්‍රාණික සිරුරත්, දුර්වල මනසත් ඔහු කෙමෙන් කෙමෙන් මරණය කරා රැගෙන යමින් තිබුණි. බිරිය, දරුවන් වරින් වර මැවුණත් ජයසේන සිටියේ විකල් මනසිනි. අඳුරට හුරු වූ නෙත් හදිසියේම දුටුවේ පුංචි එළියකි.

ජීවත් වීමේ පුංචි බලාපොරොත්තුවක් ඇතිව ජයසේන හැකි වෙර ගෙන අත්පා ගසා සිරුර ක්‍රියා කරන්න උත්සාහ දැරීය. දැඩි වෙහෙසකින් පසු එය සාර්ථක වූයෙන් ඔහු අගාධයේ මතු වූ පුංචි එළිය දෙසට බඩගාන්නට විය. දුෂ්කර ගමනකින් පසුව කුඩා සිදුර ළඟට ජයසේනට ළඟා වෙන්න හැකි විය. විඩාපත් සිරුර තවදුරටත් ඔසවා ගත නොහැකිව අඩපණව ගිය ඔහු සිදුරෙන් එළිය බැලීමට උත්සාහ දැරීය. අඳුරට හුරුව තිබූ දෙනෙත් එළියට හුරුවෙන්න මඳ වේලාවක් ගත වුවද සෙමෙන් සෙමෙන් ඇස් විවර කර බැලුවත් හිස් අවකාශය මිස කිසිවක් නෙතට හසු නොවීය.

‘ජයසේන….. ජයසේන ඇස් අරින්න.’

තමා අවට නැඟෙන හඬවල් දුබල දෙසවනට යන්තම් ඇසෙද්දී ඔහු වෙර ගෙන විවර වූ දෙනෙතින් අවට බලන්නට උත්සාහ දැරීය. හාත්පසම ඇති එළිය මැදින් තමා වෙත නැඹුරු වූ අපැහැදිලි රූප දෙස ජයසේන බලා සිටියේ තෝරා බේරා ගත්‍රීමට අපහසුවෙනි.

‘ජයසේන කොහොමද දැන්? ඇඟපත රිදෙනව ද?’

කාරුණික හඬක් සමඟ වෛද්‍යවරයකුගේ රුව මඳක් පැහැදිලි වූ නෙතින් හඳුනා ගත් ජයසේනට,

‘ජයේ….. ජයේ ‘

සිහින් ඉකිබිඳුමක් සමඟ නැඟි හුරුපුරුදු හඬ දෙසට හිස හරවත්ම අනුලා ඔහුගේ හිස අසල මුහුණට නැඹුරුව මුමුනයි. සුරතින් ජයසේනගේ හිස පිරිමදින ඈ නෙතඟින් වැටුණු කඳුළක තෙතමනය ඔහුගේ මුහුණට දැනුණි

 

TEXT – අමිතා පද්මකුමාරි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?