උපන්දින සාදයට ඇත්තේ තවත් දින කීපයකි. එදින ලස්සනට ඇඳපැ, ඳිය යුතුය. යහළු යෙහෙළියන් සියයකට අධික පිරිසක් පැමිණෙතැයි දුලානි කීවාය.
සුදු පැහැ මල් වැලෙන් හැඩවුණ තද නිල් පැහැති සාරිය කදිමට ගැළපේයැයි ඇය සිතුවාය.
. “හවසට ඇඳල බලල අඩුපාඩුවක් තිබ්බොත් හදා ගන්නවා. ” ඇයටම කියා ගනිමින් කාර්යාලයට යෑමට ලක ලැස්ති වූවාය.
ගේට්ටුව ඉදිරියේ නතර වූ මෝටර් රියෙහි නලාව නාද විය.
” අද මෙයා කලින්ම ඇවිල්ල වගේ ” සිතූ ඇය කඩිමුඩියේ බෑගයද රැගෙන මිදුලට බැස්සාය.
“එන්න එන්න. අද පොඩ්ඩක් කලින් යන්න වුණා. අප්පච්චිගේ වැඩ රාජකාරී දන්නෙ නැද්ද ඉතින්”
යෙහෙළිය කීවාය.
උදෑසන කාර්යාල ගමනට පහසුකම දුලානිගෙනි. දිනපතා ප්‍රවාහන පහසුකම දුලානිගේ අප්පච්චි විසින් ඇය වෙත සලසා තිබිණි. එහෙත් හවස ගමනට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. “කතා බස් එකක් දාගෙන” බස් එකේ ගමනට දෙදෙනා එක් වන්නේ ඉතා සතුටිනි.
කොහොමද දුලා පාටියේ වැඩ ටික.”
“මූලික වැඩ ටික නම් හරි. ඔන්න ලස්සනට ඇඳලා එන්න ඕෙන”
හිස සලමින් කීවේ දුලානිය.
“ඇයි මම ලස්සන නැද්ද ඉතින්.”
බොරු තරහක් මවමින් ඇය මිතුරිය දෙස බැලුවාය.
“ලස්සනයි…. ලස්සනයි. ගොඩක් ලස්සනයි. මම විහිළුවක් කළේ ඉතින්” දුලානි කීවාය. යුවතියන් කාර්යාලය අසලින් බැස්ස වූ රවීන්ද පිටත්ව ගිය අතර මිතුරියෝ කාර්යාලයට ගියෝය.
ආකර්ෂණා සැඳෑ යාමයේ ඇඳුම් අල්මාරිය එකින් එක ඇද්දාය. උදෑසන තීරණය කර තිබූ නිල් පැහැති මල් සාරිය ගත වටා දවටමින් හැඩ වැඩ බැලුවාය. සුදු මුතු පබලු මාලය ඊට කදිමට ගැළපේ යැයි ද සිතුවාය. ඔහු එදාට කුමක් අඳීවිද? ඇය සිතනවාත් සමඟම ලැබුණේ ඔහුගෙන් ඇමතුමකි.
“මං ඔයා ගැන හිතුවා විතරයි හරියට ටෙලිපති වගේ .”
“අනිද්දා නේද දුලානිගෙ පාටි එක? ”
“ඔව් මම හිතුවේ ඔයාට අමතක වෙලා කියලා. ඔන්න ලස්සනට අඳින්න.”
“හෙට හවසට යමු දුලාට තෑග්ගක් ගන්න.” ඔහු කීය.
අරවින්දගේ පොකට්ටුවට මේ දවස්වල අපලය. කොච්චර නම් වගකීම්ද? ඔහුට සිතෙයි. ලබන සතිය වන විට කුඹුරට කෘමි නාශක යෙදිය යුතුය.
“එක අතකට මේ සමාගම්කාරයෝ බීජ හදන ගමන්ම ඒවට ලෙඩත් හදනවා. එවුන් පොහොසත් වෙන්න තමා මේ සියලු කෙරුවාවන්. අපේ මිනිස්සුත් ඇති පදම් කුඹුරට තෙල් බෙහෙත් නාවනවා. මේක නම් මහා කරුමයක්.” ඔහු සිතුවේය.
සැබැවින්ම රජරට ගොවීන්ට නොව මුළු රටටම මෙය වසංගතයක් වූවාට සමාගම්කාරයින්ට වසන්තයකි. ආසනික්, කොපර්, ග්ලයිපොසේට්, සින්ක්, කැඩ්මියම්, රසදිය වැනි අහිතකර දෑ පොළොවට එක් වීමෙන් මිනිසුන්ට මාරාන්තික වකුගඩු මෙන්ම පිළිකා රෝග වැලඳීමට මහත් බලපෑමක් ඇතිව තිබේ. මෙය රජරට ගොවි ජන පදිකයන්ට තදින්ම බලපා ඇත. තමා අද ඒ පවුලේ කුලකයකට අයිති නොවේදැයි හේ කල්පනා කළේය.
කෙසේ වෙතත් දිනයේ සාදයට යෑමට නම් තෑග්ග ගත යුතුය. තමා නිකමකු මෙන්ම පසුපසට වී සිටීම තරම් නොවේ. ආකර්ෂණාට බර පැටවීම තමාට මදිකමකි. ඔහු වැටුප් අත්තිකාරමක් ගන්නට සිතුවේ හවස ගමන තහවුරු කරමිනි.
ඔහුත් ඇයත් නුගේගොඩදී සුපුරුදු තැන හමුවූහ. කෝපි හලට ගොස් කෝපි එකකින් වෙහෙස නිවා අවශ්‍ය කාර්යයට පිටත්වූහ. කඩ වීදි පුරා තැන තැන ඇවිද ගිය ඔවුහු අවසානයේ අඳුර වැටෙන්නට මත්තෙන් තෑග්ගක් තෝරා ගත්හ.
අවුරුද්දේ මුල් කාර්තුවේම ළඟ ළඟම නිවාඩු ගැනීම නිසා අරවින්ද නිවාඩු ගැන සැලකිලිමත් විය. සාදය දිනයට කෙටි නිවාඩුවක් ගෙන එන්නම් යැයි ඔහු ආකර්ෂණාට කීය. ආකර්ෂණා වරුවක නිවාඩුවක් ගෙන බෝඩිමට පැමිණියාය. කොණ්ඩය හොඳින් වියළා ගතයුතු බැවින් කලින්ම නාන කාමරයට වැදුණාය.
යෙහෙළියට තිළිණ කරන්නට ගෙනා ත්‍යාගය පිළිවෙළට සහ ආකර්ශණීය ඇසුරුමකින් සැරසීය. “අරවින්ද සහ ආකර්ෂණාගෙන් සොයුරියවන් යෙහෙළියට සෙනෙහසිනි.” යන සුබපැතුමද ඊට බහාලන්නට අමතක නොකළාය.
මනාව රැලි තබමින් සීරුවට සාරිය ඇන්දාය. හැට්ටයෙන් වැසීගත් උඩු කය අනවශ්‍ය අයුරින් නිරාවරණය වී නැත. ඇය කවදත් පිළිවෙළට හා විනීතව ඇන්දාය. තනිකරලට ගෙතූ කොණ්ඩය පිට මැදට එක් කළේ සුදු පැහැති කුඩා මල් වැලද එහි ගවසාය. සුදු මුතු පොට ඇගේ ගෙලට ගෙනාවේ අමුතුම හැඩයකි. සාරියේ සුදු මල් වැලට සමානවම හිසෙහි ගැවසූ මල් වැලද කදිමට ගැළපී තිබුණි. නළලට සිහින් මොට්ටුවක් තැබූවේ නම් ඒ සුන්දර යුවතිය දමිළ යුවතියකැයි ඕනෑම කෙනකුට සිතෙනවාට සැකයක් නැත.
බලාපොරොත්තුවේ අවසන් හෝරාව එළැඹිණි. ගේට්ටුව අභියස නැවතී සිටින ත්‍රිරෝද රියට ඇය ගොඩ වූවාය. අරවින්ද ඇයට ඉඩ දෙමින් පාර්සලය ප්‍රවේශමට උකුල මත තැබීය.
ඇගේ හැඩ බලමින් කට පුරා ඉහිරුණ හිනාව අතරින් “ෂා මාරම ලස්සනයි.” කීය.
“ඔයත් අද හරිම ස්මාර්ට්” ඇය කීවාය.
කළුතර බෝධිය වැඳීමට ආසාවක් තිබුණත් ඇඳුම් පැලඳුම් මෙන්ම අවස්ථාවද සලකමින් ආශාව මැඩගත්තාය.
බෝ සමිඳු අබියස රිය නවතා පඬුරක් දමන්නට දෙදෙනා අමතක නොකළෝය.
ඔවුන් ටැන්ජරින් හෝටලයට ළඟාවන විට හවස පහට ආසන්න වී තිබුණි. හිරු සෙමෙන් සෙමෙන් මුහුදේ ගිලෙන්නට ආසන්නය. එ් දසුන ආකර්ෂණාගේ සිත් ඇද ගත්තාය. පිවිසුම් දොර අසළදී දුලානි ඔවුන් පිළිගත්තාය. අරවින්දට අතටඅත දෙමින්
“කපල් එකම මාරම ලස්සනයි ආ…” කීවාය.
“දුලා ඔයත් හරිම ස්වීට් අනේ” ඇයද ප්‍රතිඋත්තර දුන්නාය.
“තව වෙලාව තියෙනවනේ ඔයාලා උඩට යන්න.”කීය. පසන් ද ඒ මේ අත ඇවිදිමින් අවශ්‍ය දෑ පිළිබඳ සොයා බලමින් ඇය අසළින්ම විය.
සුවදායක පහන් සංගීතයක් පසුබිමෙන් නැඟෙයි. කලාවකට ඇති විචිත්‍රවත් දැල්වෙන විදුලි බුබුළු පැහැය ඇසට සහනයකි. තවමත් ඇත්තේ අමුත්තන් කීපදෙනෙකි. පැයක් හමාරක් වෙලාව ඇති බැවින් යුවල වෙරළ පසින් වූ මේසයක පුටු දෙකක් මෑත්කර ඉඳගත්හ. ආකර්ෂණා විසල් තිරය මෑත් කළාය. ඈතින් පෙනෙන මුහුදු තීරය ශාන්තය. රන්වන් පැහැය තවමත් මැකී ගොස් නැත.
රජ සමය සිහිගැන්වෙන පිළිවෙළට හැඳ සිටි කාර්යමණ්ඩලයේ අයෙක් පැමිණ පිළිගැනීමේ පානයක් මේසය තබා හිස නමමින් පිටව ගියේය. මිශ්‍ර පලතුරු රස බිඳෙන් බිඳ තොල ගාමින් ” ඒ කුර්තාවට ඔයා හරි ලස්සනයි.” කීවාය.
අරවින්ද මේ මොහොතේ ජීවත් වන්නට විය. පවතින වගකීම් හමුවේ කැමැති පරිදි සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකියාවක් නොවේ. එහෙත් ආකර්ෂණාට අවශ්‍ය වූයේ ප්‍රකාශිත ෙප්‍ර්මය තව දුරටත් සඟවා තැබීමට නොවේ. වර්තමානය මෙන්ම ඇය අනාගතය ගැන ද සිහින මැව්වාය. එම සිහින යථාර්ථයක් කිරීමට ඇයට වුවමනා විය. ජීවිතය කිසියම් තැනක හිරවී ඇති සෙයක් ඇයට දැනුණාය.
බිඳෙන් බිඳ අඳුර ගලමින් තිබේ. අඳුර අතරින් යාන්තමට අඩ සඳක සේයාව මතුවෙනු ඈතින් දිස්වේ. ඔහු ඇගේ දෑත් සිය දෑත් මත පැටලීය. ඒ දෑත් සියුම්ය. බොහෝ දේ කියන්නට තිබුණත් එකදු වදනක් හෝ දෙදෙනාගේ මුවින් පිටනොවුණි.
තවත් කොටසක් ලබන සතියට
